May 14, 2024

ගෝ්ඨා ඇතුළු නාවික හමුදාපතිවරුන් උසාවි ගෙන යාම ගැන ජනපතිගේ අප්‍රසාදය

කිසිදු අවස්ථාවක ආරක්ෂක අංශ දුර්වල කිරීමට සහ රණවිරුවන් අපකීර්තියට පත්වන සිදුවීම් සඳහා ඉඩ තැබීමට තමා කටයුතු නොකළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (12) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති “සත්විරු සංහිඳ” නිවාස හා ඉඩම් හිමිකම් ප‍්‍රදානෝත්සවය අමතමිනි.

හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු අධිකරණය හමුවට කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අප්‍රසාදය ප්‍රකාශ කර ඇත.

පසුගිය දිනවල හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙකු උසාවියට ගෙන යාමේ සිදුවීමට ද රටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමාට එකඟවිය නොහැකි බව හෙතෙම කියා සිටියේය.

'මීට සතියකට කලින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාවේ නාවික හමුදාපතිවරු තුන් දෙනෙක් උසාවියට අරගෙන ගියා. මම සම්පුර්ණයෙන් මගේ අප්‍රසාදය පළ කරනවා යුද්ධය කරපු නාවික හමුදාපතිවරු තුන් දෙනෙක් උසාවියට දක්කාගෙන යාම පිළිබඳව.' යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දේශපාලන න්‍යාය පත්‍ර මත ක්‍රියා කරන්නේ නම් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ජනාධිපතිවරයා මෙහිදී අනතුරු ඇඟවීය.

'මම විවෘතව මේ රටේ ජනතාවට කියනවා, මම ජනාධිපති වුණේ උසාවියට ටෙලිෆෝන් කෝල් දෙන්න නෙමෙයි. මම කිසිම වෙලාවක හමුදාව දුර්වල කරන්න කටයුතු කරන්නේ නැහැ. හමුදාව දුර්වල කරන්න මම ඉඩ දෙන්නෙත් නැහැ.' යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

 

රජයක් ලෙස මෙන්ම ජනාධිපතිවරයා ලෙස මාතෘ භූමිය වෙනුවෙනුත්, රටේ ජනතාව හා වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් පසුගිය මාස 18 ක කාලය තුළ තමා නොපිරිහෙළා ඉටු කළ බවද පැවසූ ජනාධිපතිවරයා තමන් බලය පිළිබඳ අනවශ්‍ය සිහින මවන පුද්ගලයෙකු නොවන බවත් රට වෙනුවෙන් තමන්ට පැවරුන වගකීම නිසි ලෙස ඉටුකර ඕනෑම අවස්ථාවක බලය අතහැරීමට තමා සූදානම් බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

Rate this item
(1 Vote)