May 14, 2024

චෝදනා ගැන ජනපති හම්බන්තොටදී පිළිතුරු දෙයි

ඇතමුන් චෝදනා කරන පරිදි තමන් ජනාධිපති ධූරයට පත් වූයේ රට කැඞීමට, රට බෙදීමට හෝ ආරක්ෂක අංශ දුර්වල කිරීමටවත්, බුදු දහමට හිමි තැන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කර දැමීමටවත් නොව රටේ නිදහසත් ස්වාධීනත්වයත්, ඓතිහාසික උරුමයත් උපරිමයෙන් ආරක්ෂා කරමින් නිදහස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ලෙස රට ගොඩනැගීමට බව ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ඉතිහාසය විසින් තමාට පැවරූ වගකීම් රැසක් පවතින අතර යුගයක, යුග මෙහෙවරක් ලෙස එම වගකීම් හෘද සාක්ෂියට අනුවම ජනතාව වෙනුවෙන් ඉටු කරන බවද ජනාධිපතිවරයා  අවධාරණය කළේය.

හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ  (11) පස්වරුවේ හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ‘අමරවිරු පියමග‘ උත්සවය අමතමිනි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 25 ක් පිරිම නිමිත්තෙන් උත්සවය සංවිධානය කර තිබුණි.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ජනතාවට තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම් නිසි ලෙසම ඉටු කිරීම දේශපාලඥයාගේ වගකීම බවයි. ජනතා මෙහෙවර වෙනුවෙන් මහින්ද අමරවීර මහතාගේ කැපවීම අගය කළ ජනාධිපතිවරයා එතුමාගේ ඉදිරි ගමන් මග වෙනුවෙන් සිය සුභාශිංසන පළ කළේය

දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සහ මහා දර්ශනයන් පිළිබද කථා කිරීමට පෙර තම දෙපා ළග තිබෙන ගැටළු හදුනාගෙන කටයුතු කිරීම දේශපාලනඥයින්ගේ වගකීම බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ජනතාව අතරට ගොස් ඔවුන්ගේ දෛනික ජිවිතයේ ගැටලූ සොයා බලා ඒවාට විසදුම් ලබාදීම සියලූ මහජන නියෝජිතයින්ගේ වගකීම බවද කියා සිටියේ ය.

අද වියළි කාලගුණ තත්ත්වයත් සමග ලක්ෂ ගණනක් ජනතාව පානීය ජල හිඟයෙන් පීඩා විදින අතර තම ප‍්‍රදේශවලට අයත් සියලූ ගම්මානවලට ගොස් එම ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමට දේශපාලනඥයින් කටයුතු කළයුතු බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

රෝහණ පුරවරයෙන් බිහි වූ දේශපාලන නායකයෙකු වන මහින්ද අමරවීර මහතා සිය දේශපාලන ගමන් මග ආරම්භ කලේ 1991 වර්ෂයේදී ය. ඒ තංගල්ල, අගුණකොළපැලැස්ස ප‍්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්ව එහි සභාපති වශයෙන් තේරි පත් වෙමිනි.

1993 වසරේ පැවති දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ වැඩිම මනාප ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් දකුණු පළාත් සභා මන්තී‍්‍රවරයෙකු ලෙස තේරි පත් වූ ඔහු 1994 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස තේරි පත්වීමෙන් පසු එදා මෙදා තුර පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු, නියෝජ්‍ය ඇමතිවරයෙකු මෙන්ම කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස අඛණ්ඩවම සිය ජනතා මෙහෙවර ඉටු කරමින් සිටි.

මැති ඇමතිවරු ඇතුථ ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

Rate this item
(1 Vote)