May 18, 2024

පක්ෂ සමුළුවට නොයන අයට වැඩ වරදියි

පක්ෂ සම්මේලනයට සහභාගි නොවන පුද්ගලයින් සම්බන්ධයෙන් පක්ෂ විනය කමිටුව කලින් සාකච්ඡා කරගත් පරිදි තීන්දු තීරණ ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීන්දු වී තිබේ.

මෙම මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ(30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිළ නිවසේදි පැවැත්විණි. රාත්‍රි 07.00ට පමණ ආරම්භ වූ මෙම මධ්‍යම කාරක සභා රැස්වීම රාත්‍රී 9.00 ට පමණ අවසන් වී ඇත.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා නියෝජිතයන් මෙම රැස්වීමට එක්ව සිටි අතර, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පමණක් මෙම සාකච්ඡාවට සහභාගි වී සිටි බව වාර්තා වේ.

ඊයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නියෝජිතයන්ට සඳහන් කර ඇත්තේ පක්ෂ සමුළුව සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනා කැපවීමෙන් වැඩ කළ යුතු බවයි. 

මේ අතර ශ්‍රීලනිප සමුළුව පැවැත්වෙන දින කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගනයට පැමිණීම සඳහා මාර්ග 05 කින් අවකාශ සලසා ගැනීමට එහිදී තීරණය වී තිබේ. 

දැනට සංවර්ධන කටයුතු සඳහා තාවකාලිකව වසා දමා ඇති දඹුල්ල - කුරුණෑගල මාර්ගය එදිනට පමණක් විවෘත කරමින් ඇතිවන මාර්ග තදබදය වලකා ගැනීමටද ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීන්දු වී ඇත.

 

Rate this item
(0 votes)