May 18, 2024

නිදහස් පක්ෂ සංවත්සරයේදී ලොකු වෙනසක් 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වසර 64 ක් පුරාවට පවත්වන ලද සියලු සංවත්සර උත්සවයන්ට වඩා අභිමානවත් සහ විශිෂ්ට ලෙස එහි 65 වන සංවත්සර උත්සවය සැප්තැම්බර් 04 වනදා කුරුණෑගලදී පවත්වන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට සිය අනන්‍යතාවය තුළ පක්ෂය ගොඩනැගීමේ පූර්ණ නිදහස සහ අයිතිය තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා සම්මුතිවාදී ආණ්ඩුවක් තුළ දේශපාලන පක්ෂවල අනන්‍යතාවය කිසිසේත් දුර්වල වී නොමැති බවත් තම අනන්‍යතාවය තහවුරු කර ගනිමින් ඉදිරියට යාමට කිසිදු පක්ෂයකට බාධාවක් නොමැති බවත් ප‍්‍රකාශ කළේය.

හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (11) පස්වරුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ වැඩමුළුවකට එක් වෙමිනි.

‘‘සවිබල රටක් - තිරසාර හෙටක්” තේමාව යටතේ සියයට 25 ක කාන්තා නියෝජනය තහවුරු කරමු මැයෙන් වැඩමුළුව සංවිධානය කර තිබුණි.

එම අවස්ථාව ඇමතූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය යනු මෙරට කාන්තාවන් අභිෂේක කළ යුගය බවයි.

මේ රටේ සමස්ත මව්වරුන්ගේ මෙන්ම දියණියන්ගේ සහ සොහොයුරියන්ගේ යහපත උදෙසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යා යුතු බවද ජනාධිපතිවරයා පැවසීය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම තුළ දේශීය චින්තනය, අපේ සංස්කෘතිය සහ අපේකම්වලට ඉහළ වටිනාකමක් හිමිවන බව පැවසූ ජනාධිපතිවරයා ඒ තුළින් වඩා යහපත් සමාජයක් ගොඩනැගෙන බව ද කියා සිටියේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ආණ්ඩු කරන්නේ ඉතා පිරිසිදු චේතනාවකින් බව ද පැවසූ ජනාධිපතිවරයා පසුගිය රජය අපට භාරදුන් ආර්ථික අර්බුදය සහ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ චෝදනාවලට මුහුණදෙමින් ඒවා නිරවුල් කරගෙන රට ඉදිරියට ගෙන යන විට විවිධ ආකාරයේ චෝදනා එල්ල කරන බවද කියා සිටියේය.

 

Rate this item
(0 votes)