May 18, 2024

විනය කැඩූ මන්ත්‍රීවරුන් ලඟදීම ශ්‍රීලනිපයෙන් දොට්ට

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තුළ රැඳී සිටිමින් පක්‍ෂය විනාශ කිරීමට ක්‍රියා කරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කොට ඇති බවත් ඒ පිළිබඳව ඉදිරි දින කීපය තුළ දැනගැනීමට හැකිවනු ඇති බවත් ශ්‍රීලනිප මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ පෙරේදා (09) යාපනය ඩෙල්ප් දූපතේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කාර්යාලයක්‌ විවෘත කිරීමේ උත්සවයකට එක්‌වෙමිනි.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් තරග කිරීමට අයදුම්පත් ඉදිරිපත් කොට සිටින මන්ත්‍රීධුර අපේක්‍ෂකයන් තෝරා පත්කර ගැනීමට හෙට (12) සිට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේදී සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීමට සැලසුම් කොට ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

“විනය ක්‍රියාමාර්ග ගැනීම වැනි කාරණා පක්‍ෂ අභ්‍යන්තර කාරණාවක්‌. පක්‍ෂයේ අභ්‍යන්තර කරුණු රට හමුවේ හෙළි කිරීම අවශ්‍ය නෑ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය වගේම අනිකුත් සියලුම දේශපාලන පක්‍ෂවලට පක්‍ෂයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කිරීමට සිදුවෙනවා. අප විසින් තීන්දු තීරණ ගත් පසු ඒවා හරිද වැරදිද කියල ඕනෑම කෙනෙකුට කතා කළ හැකියි. ඒ ගැන පසුව ඕනම කෙනෙකුට ප්‍රශ්න කළ හැකියි. ඔය ගොඩනැගීමට යනවයි කියන කිසිම බලවේගයකට අපි බිය නැති බවත් මා ප්‍රකාශ කරනවා“ යෑයි ද දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)