May 15, 2024

පරීක්ෂණ අවසන් වනතුරු අර්ජුන පත් නොකිරීමට අගමැතිගෙන් එකඟතාවක්

‍කෝප් කමිටුවේ පරීක්ෂණ අවසන් වනතුරු මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා නැවත එම ධුරයට පත් නොකර සිටීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පළකළ බව පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.

{module NLB}

අග්‍රාමාත්‍යවරයා සමග  පුරවැසියබලය හා සිවිල් සංවිධාන මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කළ බව ඔහු සඳහන් කළේය.

එහිදී වැට් බදු සංශෝධනය, දූෂණ වංචා විමර්ශන පරීක්ෂණ මෙන්ම ප්‍රධාන වශයෙන් මහබැංකු අධිපතිවරයාගේ භූමිකාව ගැන සාකච්ඡා කළ බව ඒ මහතා සඳහන් කළේය.

මහබැංකු අධිපතිවරයාට එරෙහි පරීක්ෂණ අවසන් වනතුරු ඔහු යළි පත්නොකරන බවට ගරු අග්‍රාමාත්‍යවරයා එම සාකච්ඡාවේදී තමන්ට පොරොන්දු වූ බවත් මේ ගැන දීර්ඝ සාකච්ඡාවක් කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අගමැතිවරයා ඉහත කාරණය ගැන යහපත් ප්‍රතිචාරයක් පළ කළ බවත්, සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුතුවේදී සිය බෑනාට වාසි සහගත වන ලෙසට මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කටයුතු කළ බවට දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන පසුගිය කාලයේදී දිගින් දිගටම චෝදනා කළේය.

විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය හමු පවත්වමින් මෙන්ම පාර්ලිමේන්තුවේදී ද මේ ගැන දිගින් දිගටම කතා කරමින් පෙන්වාදුන්නේ මහබැංකු අධිපතිවරයාගේ එම ක්‍රියාකලාපය හේතුවෙන් රුපියල් කෝටි ගණනක් රජයට අහිමි වන බවයි.

මේ නිසා ඔහු වහාම සේවයෙන් ඉවත් කළ යුතු බවට ඔවුන් දිගින් දිගටම රජයට බලපෑම් කරන ලදී.

කෙසේ හෝ ඔහුගේ සේවා කාලය මේ මස අවසානයේදී අවසන් වීමට නියමිතව ඇති අතර දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන ඉල්ලා සිටින්නේ මහබැංකු අධිපතිවරයා එම තනතුරට යළි පත් නොකළ යුතු බවයි.

මේ අතර ඔහුගේ පත්වීම යළි සිදුනොකරන ලෙසට බලකරමින් ලබන 24දා සිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සැලසුම්කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පසුගියදා මාධ්‍ය හමුවක්ද පවත්වමින් අවධාරණය කරන ලදී.

මහබැංකු අධිපතිවරයා තවදුරටත් එම තනතුරට පත් නොකළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ද ස්ථාවරයක සිටින බව පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය සරත් අමුණුගම මහතා ද ප්‍රකාශ කර තිබිණ.

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුවක් ලෙස කටයුතු කරමින් සිටියදී පක්ෂයක මතයක් පමණක් ඉදිරිපත් කිරීම නුසුදුසු බව නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එසේම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මාධ්‍ය හමුවකදී මහබැංකු අධිපතිවරයා යළි පත් කිරීමේ වරදක් නැතැයි ස්ථාවරයේ සිට අදහස් දක්වනු දක්නට ලැබිණ.

පසුගියදා ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා සඳහන් කර සිටියේ මහබැංකු අධිපති තනතුර තවදුරටත් අර්ජුන මහේන්ද්‍රන්ට ලබානොදෙනු ඇති බවත් ජනාධිපතිවරයා ද මේ ගැන යම් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි විශ්වාස කරන බවත්ය.

අර්ජුන මහේන්ද්‍රන් මහතා මේ තනතුරට පත් කරන අවස්‌ථාවේ සිටම ඊට තමා දැඩි සේ විරුද්ධ වූ බවත් දැන් විවිධ පුද්ගලයන් ඔහුට විරුද්ධ වන්නේ ඔහුගේ ක්‍රියා කලාපයන් දැකීමෙන් පමණක්‌ බවත් කී ඒ මහතා තමා ඔහු හඳුනන්නේ 2002 එජාප රජය සමයේ සිටම බැවින් ඔහු පත් කිරීමට දැඩිව විරුද්ධ වූ බවත් කියා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 June 2016 13:26