May 20, 2024

කොටදෙනියාව සිසුවා මානව හිමිකම් කොමිසමට - පොලිස් ලොක්කොත් එයි 

කොටදෙනියාව අකරන්ගහ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් නීති විරෝධීව පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බවට ලංකා ගුරු සංගමය ගොනු කළ පැමිණිල්ලේ වැඩිදුර විභාගයට සදහා සහභාගී වීමට එම පාසල් සිසුවා ද, ඔහු සමග නිදහස් වූ එක්දරු පියකු වන කැළුම් අත්තනායක ද අද (12) මානව හිමිකම් කොමිසමට පැමිණියහ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ අද පැමිණිල්ල විභාගයට ගැනීමට නියමිතය.

පෙත්සමේ වගඋත්තරකරුවන් වන කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති, එම පොලිසිය භාර සහකාර පොලිස් අධිකාරී සහ පොලිස්පති වෙනුවෙන් පොලිස් නීති කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ගාල්ලගේ මහතා ද කොමිසමට පැමිණි ඇත.

පැමිණිලිකරු වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ද, ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් ජගත් ආනන්ද මහතා ඇතුළු පිරිසක් ද පැමිණ සිටිති.

සේයා ඝාතකයන්ට දඩුවම් දෙන්නැයි ඉල්ලමින් අද පෙරවරු 10.30ට පමණ මානව හිමිකම් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පැවැත්විණි. 

Rate this item
(2 votes)