May 20, 2024

ළමා ආරක්ෂණ අධිකාරියෙන් පණිවිඩයක්

1929 දුරකතන අංකයට ළමා ආරක්ෂණ අධිකාරියේ විෂය පථයට අදාළ නොවන ඇමතුම් රැසක් ලැබෙමින් පවතින බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.

දෛනිකව 1929 දුරකතන අංකයට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇතත් ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ විෂය පථයට අදාළ නොවන ඇමතුම් බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙයි.

පසුගිය දිනෙක අදාළ දුරකතන සේවයට පැමිණිලි 1290 ක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 1202ක්ම අදාළ නොවන දුරකතන ඇමතුම් බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.

ඒ අතර පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ගැටලු, ඉඩම් පිළීබඳ ගැටුලු, මූල්‍යාධාර ලබාගැනීම, ජාත්‍යන්තර පාසල්වලට ගාස්තු ගෙවීමට අදාළ ප්‍රශ්න, නිවාස ප්‍රශ්න මෙන්ම උපකාරක පන්තිවලට ගාස්තු ගෙවීමට අදාළ ගැටළු ද වූ බව ළමා ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙයි.

මෙවැනි දුරකතන ඇමතුම් ළමා දුරකතන සේවයට ලැබීම හරහා සිදුවන්නේ සැබැවින්ම සිදුවන ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාර ගැනීම සඳහා ඇති අවස්ථාව මගහැරී යාම බව එම අධිකාරිය සඳහන් කරයි.

ඒ හේතුවෙන් ළමා අපයෝජනයන්ට අදාළ පැමිණිලි පමණක් 1929 දුකරතන සේවය හරහා ලබාදෙන මෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Rate this item
(0 votes)