May 15, 2024

ලංකාවේ ජනපතිවරයෙකුගෙන් ප්‍රකාශයක් ගත් පළමු අවස්ථාව මෙයයි - ලැසිල් ද සිල්වා 

September 25, 2015

ශ්‍රී ලංකාව තුළ දී විධායක ජනාධිපතිවරයෙකුගෙන් ප්‍රකාශයක් ලබාගත් ප්‍රථම අවස්ථාව හිටපු විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ගැනීම බව බරපතළ දූෂණ වංචා විමර්ශන කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසයි.

එම කොමිසමේ නිලධාරීන් හිටපු විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ළඟට යවා හෝ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හැකිවීම කොමිසම ලත් විශිෂ්ට ජයග්‍රහණයක් බව ඔහු සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) ඔස්සේ ප්‍රචාරය කිරීමට ගිවිසගත් දැන්වීම්වලට වඩා රුපියල් කෝටියකට අධික දැන්වීම් ප්‍රචාරය කිරීම වෙනුවෙන් ගෙවිය යුතු මුදල් නොගෙවීමෙන් එම ආයතනයට පාඩු කිරීමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමේ සිද්ධිය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේ ය.

කොමිසමේ නිලධාරීන් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගත්තේ හැකි ඉක්මනින් මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට යැයි ද සිල්වා මහතා පැවසී ය.

ඒ අනුව ස්වාධීන රූපවාහිනියට සිදු වූ පාඩුවට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට තම විමර්ශන නිලධාරීන්ට හැකියාව ලැබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

මෙම සිද්ධියට අදාළව මහජන සාක්කි කැඳවීමට පියවර ගන්නා ලෙස බරපතළ දූෂණ හා වංචා පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමට ද තමන් බලාපොරොත්තුවන බව ඒ මහතා පවසා සිටියේ ය.

මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මෙම පියවර ගැනීමට අදහස් කළ බවත්, කොමිසමට ලැබෙන පැමිණිල්ලකට අදාළව විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව එම විමර්ශනය සම්බන්ධයෙන් මහජන සාක්කි විමසන ලෙස කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීම සාමාන්‍ය ක්‍රමවේදය බව පෙන්වා දුන් ලැසිල් ද සිල්වා මහතා එම ක්‍රමවේදය අනුගමනය කරමින් මෙම ඉල්ලීම් කිරීමට අදහස් කරන බව ද පැවසී ය.

මහජන සාක්කි කැඳවන ලෙස කරනු ලබන ඉල්ලීමෙන් අනතුරුව සාක්ෂි කැඳවීමට කොමිසමේ සභාපතිවරයා තීරණය කරනු ලැබුවහොත් ඉන්පසු මෙහි සාක්ෂි විමසන බව ද ලැසිල් ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 September 2015 09:07