April 29, 2024

'තාජුදීන් පණපිටින් පිලිස්සී මියගිහින්' - අවසන් මරණ පරීක්ෂණ වාර්තාව

September 11, 2015

අමානුෂික අන්දමින් ඝාතනය කළ බව කියන රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් සම්බන්ධයෙන් කඩිනමින් පරීක්‍ෂණ පැවැත්වූ ආකාරයෙන්ම, ඊට අදාළ සාක්ෂි මත සැකකරුවන්ද නොපමාව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා රහස් පොලිසියට ඊයේ (10) නියෝග කළේය.

2012 මැයි 17 වැනිදා නාරාහේන්පිට පොලිස් වසමේ, පාර්ක් පාරේ ශාලිකා ක්‍රීඩාංගණය අසල මාර්ගයේදී රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් කාර් රථයක් තුළ සැකසහිත ලෙස පිලිස්සී මියයෑම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග පරිදි රහස් පොලිසිය සිදුකරන පරීක්‍ෂණයේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිසියේ නිලධාරීන් මෙතෙක් පැවැත්වූ විමර්ශනයේ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින්, මියගිය තාජුඩීන්ගේ සමීප ඥාතියකු සම්බන්ධව කිසියම් පුද්ගල කණ්ඩායමක් කාර් රථයකින් පැමිණ සැකසහිත ලෙස තොරතුරු සොයා බලා ඇති බව ඔහු විසින් වැල්ලවත්ත පොලිසිය වෙත පැමිණිලි කරනු ලැබ ඇතැයි අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.

මෙතෙක් සිදු කරන ලද විමර්ශනයට අදාළව තාජුදීන් විසින් භාවිත කරන ලද ජංගම දුරකතනයේ "එමි" අංකය ඔස්සේ දීර්ඝ ලෙස විමර්ශන සිදු කිරීමේදී අදාළ දුරකතනය ආගරපතන ග්ලාස්කෝවත්ත ප්‍රදේශයේ වර්ධරාජ් රාජ් භාරදී නොහොත් ආච්චි නමැත්තා භාරයේ තිබී සොයාගත් බව දන්වා සිටි රහස් පොලිසිය ඔහුට එම ජංගම දුරකතනය ඔහුගේ පියා වන පාණ්ඩියන් වර්ධරාජ් විසින් ලබා දී ඇතැයි දන්වා සිටියේය.

පාණ්ඩියන් වර්ධරාජ් කිරුළපන රොබට් ගුණවර්ධන මාවතේ උත්සව ශාලාවක සේවය කරන බවත්, ඔහු පාර අයිනේ බිම වැටී තිබී මෙම ජංගම දුරකතනය සොයාගෙන ඇති බව විමර්ශනයේදී අනාවරණය වූ බවත් රහස් පොලිසිය දන්වා සිටියේය.

මෙම විමර්ශනයට අදාළව එම දුරකතනය සම්බන්ධයෙන් විමර්ශන කළ යුතු බවත්, එම ජංගම දුරකතනයේ මතක ගබඩාවේ ඇති සියලුම දත්ත වැඩිදුර විමර්ශනය කිරීම සඳහා ලබා ගැනීමට අවශ්‍යව ඇති හෙයින් ඊට අදාළ නියෝගයක් ලබා දෙන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා, තාජුඩීන්ගේ ජංගම දුරකතනයේ මතක ගබඩාවේ ඇති ඡායාරූප, ඕඩියෝ හා වීඩියෝ දර්ශන, කෙටි පණිවිඩ, දුරකතන අංක නැවැත ප්‍රතිසංස්කරණය කර සී.ඩී. පටයක් සමඟ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක පාසලේ කළමනාකරු සී.එම්.බී. අත්තනායක මහතාට නියම කළේය.

මෙම සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහොමඩ් මිස්බා මහතා කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ "මෙම මරණය සම්බන්ධයෙන් හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා මාධ්‍යයට විවිධ දේ ප්‍රකාශ කර තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම නීති විරෝධී දෙයක්. අධිකරණය හමුවේ පවතින නඩුවක් ගැන පාර්ලිමේන්තුවටවත් එවැනි දේවල් ප්‍රකාශ කරන්න බැහැ. එයින් නඩුවට අගතියක් වෙනවා. හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා මෙම තාජුඩීන්ගේ මරණය ගැන මීට ඉහතදී මුල් පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඊට අමතරව අතුරු වාර්තාත් ඉදිරිපත් කර තිබෙනවා. අවසන් වාර්තාවක් ඔහු අධිකරණයට ඉදිරිපත් කර නැත්තේ එවැනි දෙයක් ඔහුගෙන් ඉල්ලා නොමැති නිසායි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේ‍යෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා කරුණු ඉදිරිපත් කරමින්, මේ නඩු සම්බන්ධයෙන් විවිධ කතා පැතිරෙනවා. එම නිසා මේ නඩුවේ ගොනුව අධිකරණයේ ආරක්‍ෂිත සේප්පුවේ තබන ලෙස ඉල්ලා සිටිනවා." යනුවෙනි.

මෙම නඩුවේ ප්‍රබල සාක්ෂිකරුවකු බව කියන තාජුඩීන්ගේ සමීප ඥාතියකුට බලපෑම් එල්ල වී ඇති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඒ පිළිබඳ විමර්ශනයක් කරන ලෙස රහස් පොලිසියට නියම කළේය.

මෙම මරණයට අදාළ මුල් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ වෛද්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වූ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා අධිකරණ නියෝග පරිදි එම මරණයට අදාළ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

එම වාර්තාවට අනුව රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ගමන්ගත් කාර් රථයෙන් ඔහු පිටතට ඇද දමා ඔළුවට සහ ශරීරයේ ස්ථාන රැසකට පහරදීම නිසා සිහි මුර්ජා තත්ත්වයෙන් පණ පිටින් සිටින විට වෙනත් පුද්ගලයකු විසින් තාජුඩීන් යළි කාර් රථයට දමා ධාවනය කිරීමේදී වාහනය මාර්ගයෙන් ඉවතට පැන ඇතැයි හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (10) දන්වා සිටියේය.

තාජුඩීන්ගේ ඔළුවට අතපයවලට එල්ල කරන ලද පහරවල් හේතුවෙන් ඔහු අකර්මණ්‍ය තත්ත්වයෙන් සිටි හෙයින් ඔහුට සිය මෝටර් රථය ධාවනය කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දෙන ආනන්ද සමරසේකර මහතා ඔළුවට සහ අතපයවලට සිදුවූ තුවාල ක්‍ෂණිකව මරණය ඇති කරන තුවාල නොවන බව සිය වාර්තාවෙන් දක්වා තිබේ.

තාජුඩීන් සිය වාහනය ධාවනය කිරීමට ඇත්තේ ශරීරයේ අධික මත්පැන් ප්‍රමාණයක් තිබියදී බවත් අදාළ අනතුරට ඔහු ලක්වීමට පෙර එනම් පැය 2කට පමණ පෙර මත්පැන් පානය කර තිබෙන බව දන්වා සිටින ආනන්ද සමරසේකර මහතා තාජුඩීන්ගේ ශරීරයේ තිබූ මත්පැන් ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අවස්ථාවක අදාළ අනතුර වී ඇති බවත්, එහෙත් නිතරම මත්පැන් පාවිච්චි කරන අයට අවසිහියෙන් වාහනය ධාවනය කිරීමේ හැකියාවකුත් තිබෙන බව දන්වා සිටී.

කෙසේ වුවත් රිය අනතුර වන විට තාජුඩීන්ගේ ශරීරයේ අනෙකුත් කොටස් (අතපය වැනි) අක්‍රිය වෙලා තිබී ඇති බවත් ඔහුට පහරදීම් සිදුවී ඇත්තේ වාහනය මාර්ගයෙන් ඉවතට යෑමට පෙර බව කිව හැකි යැයි දන්වා සිටින ආනන්ද සමරසේකර මහතා වාහනයේ ගින්න හටගත් අවස්ථාවේදී තාජුඩීන් මියගොස් නොසිටි බවත් ඔහුට එල්ල කරන ලද පහරවල් හේතුවෙන් අකර්මණ්‍ය වී සිටියත් ඔහු ගින්න ඇතිවීමට පෙර හුස්ම ගනිමින් සිට ඇතැයිද දන්වා සිටියේය.

වාහනයේ ඇතිවූ ගින්න හේතුවෙන් තාජුඩීන්ගේ රුධිරයේ කාබන් මොනොක්සයිඩ් වායුව අඩංගු වී තිබූ බවත් ඔහුගේ ශරීරයේ තිබූ බොහෝ තුවාල ගින්න නිසා හටගෙන තිබූ බවත් දන්වා සිටි ආනන්ද සමරසේකර මහතා තාජුඩීන් ගින්නට භාජන වීම නිසා සුළු කාලයක් ඇතුළත මියගොස් ඇති බවත් ඔහුගේ පපුවේ තුවාලයක් හටගෙන ඇත්තේ යම් කිසි වෘත්තාකාර දෙයකට (රථයේ සුක්කානම වැනි දෙයක්) තෙරපීම හේතුවෙන් බවද අධිකරණයට දන්වා සිටියේය.

තාජුඩීන්ගේ මෘත ශරීරය අධිකරණ නියෝග අනුව ඉකුත් මස 10 වැනිදා ගොඩගත් අතර ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතා ප්‍රමුඛ වෛද්‍ය මණ්ඩලයට අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ නියම කළේය.

අදාළ නඩුව ලබන ඔක්තෝබර් 22 යළි කැඳවීමට නියමිතය.

| මව්බිම

Rate this item
(2 votes)
Last modified on Friday, 11 September 2015 15:13