May 02, 2024

සන්ධාන ඇමති ධුර 4 පිළිබඳ අර්බුධයක්

September 08, 2015

කැබිනට්‌ මණ්‌ඩලයේ තවමත් පුරවා නැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට හිමි ඇමැති ධුර 4 සඳහා නම් 8ක් ඉදිරිපත් වී තිබීම නිසා ඒවාට සුදුස්‌සන් පත් කිරීම අර්බුදයක්‌ වී ඇතැයි සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එම නම් අට වන්නේ ඒ. එච්. එම්. ෆවුසි, සරත් අමුණුගම, ෆයිසර් මුස්‌තාපා, ගාමිණි විජිත් විජයමුණි සොයිසා, ඩිලාන් පෙරේරා, ආරුමුගම් තොණ්‌ඩමාන්, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන හා ඩග්ලස්‌ දේවානන්දා යන මහත්වරුන්ගේ නම් ය.

මේ අතරින් ඇතැමුන්ට එක්‌සත් ජාතික පක්ෂයේ පිරිස් වෙතින් විරෝධය පළවීම නිසා මෙතෙක්‌ අවසන් තීරණයක්‌ ගත නොහැකි වී ඇතැයි වාර්තා වේ.

සන්ධාන ලැයිස්‌තුවෙන් එක් මුස්‌ලිම් ඇමැතිවරයකු ද පත් කිරීමට නියමිත අතර ඒ සඳහා ඒ. එච්. එම්. ෆවුසි හා ෆයිසර් මුස්‌තාපා යන මහත්වරුන්ගේ නම් ඉදිරිපත් වී තිබේ. මොවුන් දෙදෙනාගෙන් පත් කළ හැකි වන්නේ එක්‌ අයකු පමණක් වන අතර ෆයිසර් මුස්‌තාපා මහතාගේ නම ඉදිරියෙන් ම තිබෙන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස්‌ දේවානන්දා මහතාගේ නම ද ඇමැති ධුරයකට යෝජනා වී ඇති නමුත් උතුරේ ප්‍රධාන දෙමළ පක්‍ෂයක්‌ එයට විරෝධය පළ කොට ඇතැයි පැවසෙන අතර ආරුමුගම් තොණ්‌ඩමාන් මහතාට ඇමැති ධුරයක්‌ දීමට ජාතික කම්කරු කොංග්‍රසය හා කඳුරට ජනතා පෙරමුණ විරෝධය පළ කොට ඇති බව පැවසේ.

සන්ධානයේ හිටපු ඇමැතිවරයකුගේ නම ද නව ඇමැති ධුරයක්‌ සඳහා යෝජනා වී තිබූ නමුත් පසුගිය රජයේ ඇමැතිවරයකුව සිටියදී ඔහු යටතේ තිබූ ආයතනයක සිදුවී ඇතැයි කියන මහා පරිමාණ වංචා කිහිපයක්‌ ගැන පරීක්‍ෂණ පැවැත්වෙන බැවින් ඔහුට එම ඇමති ධූරය නොලැබී යනු ඇතැයි වාර්තා වේ.

Rate this item
(1 Vote)