May 02, 2024

මනාප ලැයිස්තුවට පිටින් පළාත් සභා මන්ත්‍රීවරු එපා - කැෆේ 

September 08, 2015

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් වූ පළාත් සභා සභිකයින්ගේ පුරප්පාඩු පිරවීම සඳහා කටයුතු කිරීමේ දී අදාළ ලැයිස්තුවල ඉදිරියෙන්ම සිටින පුද්ගලයින් පත් කිරීමට පක්ෂ නායකයින් විසින් කටයුතු කළ යුතුව ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

පළාත් සභා මන්ත්‍රීවරු ගණනාවක්ම මෙවර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස තේරීපත්වීම හේතුවෙන් පළාත් සභා ගණනාවක මන්ත්‍රී ධුර පුරප්පාඩු වූ බවත් එම පුරප්පාඩු සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීම ඉදිරියේ දී සිදු කිරීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කරයි. එජනිස, එජාපය, දෙමළ ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම මන්ත්‍රීවරුන් පත් කරනු ඇති බව එම සංවිධානය පවසයි. 

දිස්ත්‍රික් ගණනාවක පළාත් සභා මන්ත්‍රී ධුර සඳහා පුද්ගලයින් නම් කිරීමේ දී දේශපාලන පක්ෂ විසින් මනාප ලැයිස්තුව නොතකා කටයුතු කිරීමට උත්සාහ දරමින් සිටින බවත් පළාත් සභා පනතේ විධිවිධානවලට මෙම තත්ත්වය අනුකූල වුව ද මෙම තත්ත්වය පක්ෂ අභ්‍යන්තර ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය බලවත් ලෙස ප්‍ර‍ශ්න කිරීමට ලක් කරන බවත් හෙතෙම සඳහන් කරයි.

ජනතා අපේක්ෂාවන් වෙනුවට පක්ෂ නායකත්වයේ අභිලාෂයන් මෙහි දී ක්‍රියාත්මකවීම නියෝජිත ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය නොතකා හැරීමක් බව එම සංවිධානය පෙන්වා දෙයි.

මනාප ලැයිස්තුවේ පහතින් සිටින ඕනෑම පුද්ගලයෙකු පළාත් සභා පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර සඳහා පත් කිරීමට පක්ෂ ලේකම්වරුන්ට හැකියාව ඇති බවත් මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීමට අවස්ථා ගණනාවක දී මෙරට සිවිල් සංවිධානවලට සිදු වූ බවත් ඔහු සඳහන් කරයි.  

පරාජයට පත් වූ පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමේ ක්‍රියාවලියේ පළාත් සභා ව්‍යවහාරයවන්නේ මනාප ලැයිස්තුවෙන් පිටත පුද්ගලයින් පුරප්පාඩු ඇතිවන අවස්ථාවන්හි දී මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීම බව තෙන්නකෝන් මහතා පවසයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 September 2015 13:56