May 02, 2024

රාජපක්ෂගේ හිරිහැර සිහිකොට ෆොන්සේකා කඳුළු සලයි (VIDEO)

ඊයේ (07) රාත්‍රියේ හිරු රූපවාහිණී නාළිකාව තුළින් විකාශය වූ "සලකුණ" සජීවී වැඩසටහනට සහභාගි වූයේ හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ය.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී තමන්ටත් තම පවුලේ අයටත් විඳින්නට සිදු වූ වේදනාත්මක සිදුවීම් පිළිබඳ සිහිපත් කළ සරත් ෆොන්සේකා මහතා වැඩසටහන අතරතුර හදිසියේම සංවේදී වී හැඬුම්බර වනු දක්නට ලැබුණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙන අවස්ථාවට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන දෙපළම සහභාගී වී සිටි අතර වැඩසටහනේ නිවේදකයෙකු විසින් ෆොන්සේකා මහතාගෙන් විමසා සිටියේ හිටපු ජනාධිපතිවරයාත් ෆොන්සේකා මහතාත් සුහදව කතාබස් කිරීම පිළිබඳවයි.

එහි දී ෆොන්සේකා මහතා සඳහන් කළේ සුහද කතාබහකට රාජපක්ෂ මහතා උත්සහ ගත් නමුත් තමන් සහ රාජපක්ෂ මහතා අතර එවැන්නක් සිදු නොවුණු බවත් රාජපක්ෂ මහතා විසින් "කොහොමද සරත්" යැයි විමසූ විට එය ගණන් නොගෙන "වරදක් නෑ" යනුවෙන් සඳහන් කර නැවතත් වෙනතක් බලාගත් බවයි.

"කොහොමද සරත්" යන පැනයට තමන් හරිහැටි පිළිතුරු ලබා දුන්නා නම් එම පිළිතුර බොහෝ දීර්ඝ එකක් වන බවත් එවැන්නකට එම ස්ථානය සුදුසු නොවන නිසා "වරදක් නෑ" යනුවෙන් කෙටි උත්තරයක් ලබා දුන් බවත් ෆොන්සේකා මහතා පවසා සිටියේ ය.

එවිට වැඩසටහනේ නිවේදකයෙකු ප්‍රකාශ කළේ මෙම වැඩසටහන අතරතුර ඕනෑ තරම් කාලය ගෙන එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා වෙත දෙන්නට තිබූ දීර්ඝ පිළිතුර ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාගන්නා ලෙසයි.

එවිට සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ "කොහොමද" යනුවෙන් විමසීමට පිළිතුරු ලෙස 2010 වසරේ දී හමුදාපති ධූරයෙන් ඉවත් වූ දා සිට තම ජීවිතයටත් තම පවුලේ සාමාජිකයින්ටත් රාජපක්ෂ මහතා සිදු කරන ලද අසාධාරන, අමිහිරි, කටුක දෑ සියල්ල පිළිබඳව කියන්නට සිදුවන බව යි.

එම අමිහිරි අත්දැකීම් එකින් එක විස්තර කිරීමේ දී සරත් ෆොන්සේකා මහතාගේ දෙනෙත් නිරායාසයෙන්ම කඳුළින් තෙත් වී සංවේදී වී වරින් වර තම කතාව නවතා නිහඬව ද සිටිනු ද දක්නට ලැබිණ.

"සරත් ෆොන්සේකාගේ ඇස්වල කඳුළු කියන්නේ දුලබ සිදුවීමක් නේදැ"යි අවසානයේ නිවේදක මහතෙකු ඇසූ විට ෆොන්සේකා මහතා පිළිතුරු දුන්නේ,
"ඔව්! නමුත් ඒ කරපු නින්දිත වැඩ, නිවට බියගුළු වැඩ මතක් වෙනකොට අපිට වේදනාවක් එනවා" යනුවෙනි.

"සලකුණ" වැඩසටහනේ එම කොටසෙහි වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(4 votes)