May 06, 2024

'දේදුනු විප්ලවයේ' අයිතිකරුවන් අද දෙපසකට වී රට පාලනය කරනවා - ජානිපෙ

September 07, 2015

ජනවාරි 08 වැනිදා සිදු කළා යැයි කියන ඊනියා දේදුනු විප්ලවයේ අයිතිකරුවන් අද දෙපසකට වී රට පාලනය කරන බවත් එතැනින් නොනැවතී ඔවුන් පාර්ලිමේන්තුව ද දෙකට බෙදාගෙන පාලනය කිරීමට පියවර ගෙන ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

ඊයේ (06) බත්තරමුල්ලේ, ජයන්තිපුර පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා මේ බව පැවසී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේද පැවසීය.

“වත්මන් ජනාධිපතිවරයාත් දේදුනු විප්ලවයේ සෙසු අයිතිකරුවනුත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන්ට පටහැනිව යමින් එය ශක්තිමත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවාද මණ්ඩපයක් බවට පත්වීම වැළැක්වීමට කටයුතු කරන බව පෙනෙනවා. අපි මීට කලින් ඉතා පැහැදිලිව කීවා ‘කොටියට  ඕනෙ අපමණ අගයක්. ඒකට  ඕනේ මෛත‍්‍රී යුගයක්’ කියලා. දැන් කොටියාට ඕනේ අපමණ අගය නිර්මාණය වෙමින් තිබෙනවා.

එදා අපි ඉතා පැහැදිලිව කීවා, මේ අයගේ සැලැස්ම වන්නේ සම්බන්ධන් මහත්තයා විපක්‍ෂ නායක කිරීම කියලා. සම්බන්ධන් මහත්තයා විපක්‍ෂ නායක ධුරයට පත් කිරීමත් සමගම ඔහු විසින් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරයට ජවිපෙ අනුර දිසානායක මහත්තයා නම් කරයි කියලත් අපි පසුගිය මැතිවරණයේදී කීවා.

සම්බන්ධන් විපක්‍ෂ නායක වෙලා තිබෙනවා, ඕමන්තේ ආරක්‍ෂක මුර කපොල්ල වසා දමා තිබෙනවා, අධි ආරක්‍ෂිත කලාප, සාම්පූර් නාවික හමුදා කඳවුර ඉවත්කර තිබෙනවා. ඒ වගේම බරපතලම අපරාධ චෝදනා සහිතව සිටි කොටි සිරකරුවන් නිදහස් කළා. ඔන්න ඔය විදිහටයි කොටියාට අපමණ අගයක් ලබා දී තිබෙන්නේ.

පසුගිය මැතිවරණයේදී චම්පික රණවක, අනුර දිසානායක වැනි මහත්වරු රටේ ප‍්‍රධාන ප‍්‍රශ්නයට ගහලා නිකං පුහු ප‍්‍රශ්න මතු කිරීමට කටයුතු කළා. ඒ විදිහට ජනතාවගේ ඇස්වලට වැලි ගහලා මේ අය එකතු වෙලා ජනවාරි 08 මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති පුටුවට ගෙනාවා. ඒකට ඒ අය කීවේ දේදුනු විප්ලවය කියලයි. අද මේ දේදුනු විප්ලවය කළ අයට ‘සන්තෝෂම්’ දෙන්න ජනාධිපතිවරයා කටයුතු කරලා තියෙනවා.“

“දේදුනු විප්ලවයේ අයිතිකාරයෝ අද දෙපැත්තකට වෙලා මේ රට පාලනය කරනවා. ඒ විතරක් නොවෙයි අද දේදුනු විප්ලවයේ අයිතිකාරයන් පාර්ලිමේන්තුවත් දෙකට බෙදාගෙන පාලනය කරනවා. දේදුනු විප්ලවයේ අයිතිකරුවකු වන රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අද අගමැති ධුරය දරනවා. මනෝ ගනේෂන්, රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම්, චම්පික රණවක යන දේදුනු විප්ලවයේ අයිතිකරුවන් අද ඇමතිකම් දරනවා. තවත් දේදුනු විප්ලවයේ අයිතිකරුවකු වන ආර්. සම්බන්ධන් මහත්තයා අද විපක්‍ෂ නායක ධුරය දරනවා. නියෝජ්‍ය අමාත්‍ය වරප‍්‍රසාද සහිත විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරයට විපක්‍ෂ නායක සම්බන්ධන් මහත්තයා විසින් දේදුනු විප්ලවයේ ප‍්‍රබල අයිතිකරුවකු වන අනුර දිසානායක මහත්තයා නම් කොට තිබෙනවා. ඒ නිසා ඉතා පැහැදිලියි, අද පාර්ලිමේන්තුවේ වැදගත් තනතුරු සියල්ල දේදුනු විප්ලවයේ අයිතිකරුවන්ට ‘සන්තෝෂම්’ ලෙස ලබා දී තිබෙන බව.“ ඔහු වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(1 Vote)