May 06, 2024

'උතුරේ මහ ඇමතිගෙන් වැඩක් නෑ' - මාවෙයි සේනාධිරාජා මහ ඇමතිට දොස් කියයි

September 08, 2015

ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය හා ජාත්‍යන්තර මැදිහත්මක් මත යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇති අවස්ථාවක නැවත ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට උතුරේ මහ ඇමති විග්නේශ්වරන් නැවත ඉල්ලා සිටීම විහිළුවක් වන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

පාර්ලිමේන්තු ආසන දිනාගත් වන්නි මැතිවරණ කොට්ඨාශයේ මන්තී‍්‍රවරුන් පිළිගැනීමේ උත්සවය වවුනියාව ඉලංගෙයි තමිල් අරසු කචිචි පක්ෂ කාර්යාලයේදී ඊයේ (06) පැවැත්වු අවස්ථාවේ හෙතෙම මේ බව පැවසීය.

වැඩසටහන් අවස්ථාවේදි වැඩිදුරටත් අදහස් දැක්වු සේනාධිරාජා මහතා පැවසූවේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය මැදිහත්වීමෙන් නවනීදන්පිල්ලේ මහත්මිය ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ සේවය කරන අවස්ථාවේ යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීම් කොට ඇති අතර, ජාත්‍යන්තර රාජ්‍යයන්ගේ මැදිහත්වීම මත යුධ අපරාධ සම්බන්ධයෙන් වන වාර්තාවක් සකස් කිරීම සිදුකොට අදාළ වාර්තාවන් ඉදිරි මානව හිමිකම් සැසි වාරයන්හිදි ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේදි එළි දැක්වීමට නියමිත බවයි.

අදාළ වාර්තාව පරීක්ෂා කොට ඉදිරි පියවර ගැනීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය කටයුතු කරන අතර, නැවත යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙසට ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීම විග්නේශ්වරන් අවබෝධය නොමැතිවීමෙන් සිදුකළ කි‍්‍රයාවක් වන බවයි.

විග්නේශ්වරන් මහතා මහ මැතිවරණයේදි දෙමළ ජාතික සන්ධාන මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් සහභාගි නොවීමද ගැටළු සහගත තත්වයක් උදා කොට ඇති අතර, විග්නේශ්වරන් මහතාගේ අදාළ කි‍්‍රයාව හේතුවෙන් විග්නේශ්වරන් මහතා උතුරේ මහ ඇමති ධූරයට පත් කළ දෙමළ ජාතික සන්ධාන නායකයින් විග්නේශ්වරන් මහතා කෙරෙහි අප‍්‍රසාදයට පත්ව සිටින බවයි.

ඉදිරියේදි විග්නේශ්වරන් මහතාගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකයින් ඇතුලු දෙමළ ජාතික සන්ධාන නායකයින් තීරණක් ගත යුතුව පවතින බැව්ද හෙතෙම පැවසූවේය.

යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීම් කිරීමට ජනතා අත්සන් ලබා ගැනීමට සමස්ත ලංකා දෙමළ කොංග‍්‍රස් පක්ෂයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් වැනි නායකයින් කටයුතු කරමින් සිටීමද අනවශ්‍ය කි‍්‍රයාවක් වන අතර දෙමළ ජාතික සන්ධානය අදාළ වැඩපිළිවෙල මීට පෙර දියත් කොට අවසන් බැව්ද සේනාධිරාජා මහතා වැඩිදුරටත් පැවසීය.

වැඩසටහන් අවස්ථාවට වන්නි පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, උතුරු පළාත් සභා නියෝජිතයින්, ප‍්‍රදේශවාසීන් ඇතුලු විශාල පිරිසක් සහභාගි වි සිටියහ.

දිනසේන රතුගමගේ

 

Rate this item
(0 votes)