May 17, 2024

බස්නාහිර හා වයඹ සන්ධාන මන්ත‍්‍රීවරුන් ජනපති හමුවෙයි - මහ ඇමති ධූරයට යෝජනා රැසක් 

September 07, 2015

බස්නාහිර සහ වයඹ පළාත් සභා දෙකෙහි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රිවරුන් අද(07) පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය. 

මෙම සාකච්ඡාවේදී මේවන විට අදාළ පළාත් සභා දෙකෙහි පුරප්පාඩු වී ඇති ප‍්‍රධාන අමාත්‍ය ධුර දෙක සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.  

බස්නාහිර පළාතේ නිදහස් සන්ධාන මන්ත‍්‍රිවරුන් ජනාධිපතිවරයා හමුවන්නේ අද පස්වරු 3ට හමුවීමට නියමිතයි. 

පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප‍්‍රසන්න රණතුංග පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසුව එම ධුරය හිස්වූ අතර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධුරය සඳහා මන්ත‍්‍රීවරුන් 6 දෙනෙකු සුදුසුකම් සපුරා ඇති බව වාර්තා වේ. ඔවුන් අතරින් පළමු තැන පළාත් සභා අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාට හිමිව තිබේ. ඊට අමතරව බස්නාහිර පළාත් සභාවේ සභාපති ලෙස කටයුතු කරන සුනිල් විජේරත්න, පළාත් අමාත්‍යවරුන් වන රංජිත් සෝමවංශ සහ උපාලි කොඩිකාර මෙන්ම පළාත් මන්ත‍්‍රිවරුන් වන හෙක්ටර් බෙත්මගේ සහ ඉසුරු දේවප‍්‍රිය යන මහත්වරුන්ද මෙම තනතුර සඳහා සුදුසුකම් ලබා ඇති බව වාර්තාවේ.  

මේ අතර වයඹ පළාත් සභාව නියෝජනය කරන සන්ධාන මන්ත‍්‍රිවරුන් ජනාධිපතිවරයා හමුවන්නේ අද පස්වරු 4 ට හමුවන බව එම ආරංචි මාර්ග පවසයි. පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දයාසිරි ජයසේකර මහතා මහ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවට තේරී පත්වීම නිසා එම ධුරය හිස් විය. වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ධුරය සඳහාද නම් කිහිපයක් යෝජනා වී ඇති අතර එහි ප‍්‍රමුඛස්ථානය හිමිවන්නේ වයඹ පළාත් සභාවේ සභාපති ධර්මසිරි දසනායක මහතාටයි.

ඊට අමතරව පළාත් අමාත්‍යවරුන් වන ඩී.බී. හේරත්, ගුණදාස දෙහිගම සහ සන්ධ්‍යා රාජපක්ෂද මෙම තනතුර සඳහා සුදුසුකම් සපුරා ඇති බව වාර්තා වේ. 

Rate this item
(0 votes)
Last modified on Monday, 07 September 2015 15:21