May 07, 2024

TNA පක්ෂ 03ක් ජාත්‍යන්තර විනිශ්චය සභාවක් ඉල්ලයි

September 04, 2015

දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ 03 ක් විසින් මෙරට සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිශ්චය සභාවක් පත් කරන ලෙසට එක්සත් ජතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරමින් ලිපියක් යවා ඇත.

දෙමළ ජාතික සන්ධානයේ ප්ලොට්, ටෙලෝ සහ ඊ.පී.ආර්.එල්.එෆ් යන සංවිධාන විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු වෙතට අදාල ඉල්ලීම ඇතුළත් ලිපිය යවා ඇති අතර මේ සඳහා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම පක්ෂය වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් අදාල ලිපියට අත්සන් තබා නොමැත.

මේ අනුව අදාල ලිපිය මගින් අදාල දේශපාලන සංවිධාන විසින් ඉල්ලා ඇත්තේ යුද අපරාධ සම්බන්ධයෙන් මෙරට අභ්‍යන්තර පරික්ෂණයක් සිදු කිරීම කාලය අපතේ යැවීමක් බවත් එය ඵල රහිත බැවින් ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කළ යුතු බවටයි.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව සහ අපරාධ නීතිය පිළිබඳ බැලීමේ දී මානව අයිතීන් උල්ලංඝණය කිරීම් යුද අපරාධ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ සමූළ ඝාතන සම්බන්ධයෙන් ප්‍රතිපාදන නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (03) යාපනයේ දී දෙමළ ජාතික සන්ධානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

එහි දී වැඩිදුර අදහස් දක්වන සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා 

"ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව සහ අපරාධ නීතිය පිළිබඳ බැලීමේ දී මානව අයිතීන් උල්ලංඝණය කිරීම් යුද අපරාධ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ සමූළ ඝාතන සම්බන්ධයෙන් ප්‍රතිපාදන නැහැ. පරික්ෂණ සිදු කිරීමට ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමෙන් පරික්ෂණ වාර්තාවක් කඩිනමින් එළි දැක්වීමට නියමිතව තිබෙනවා. ඔවුන්ට විශාල පිරිසකගෙන් සාක්ෂි ලැබී තිබෙනවා. ඒ හුමුදා නිලධාරීන්ගෙන් සිවිල් වැසියන්ගෙන් හා වෙනත් පාර්ෂවවලින් වෙන්න පුලුවන් අපි දේශීය යාන්ත්‍රණයක්ට යොමුවන්නේ නම් අනිවාර්යෙන්ම මෙම හමුදා නිලධාරීන් හා සිවිල් වැසියන් නැවත සාක්ෂි ලබාදීමට ඉදිරිපත් වෙන එකක් නැහැ. ඒ මොකද මෙහි දී ඔවුන්ට කිසිදු ආරක්ෂාවක් ලැබෙන්නේ නැති නිසා. ඒ වගේම මේ කරුණු සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන්න මේ රටට ප්‍රමාණවත් පහසුකම් නැහැ. ඒ නිසා ඔවුන්ට වෙනත් රටවල සහය ගැනීමට සිදු වේවි ඉතිං ශ්‍රී ලංකාව තුළ දේශීය යාන්ත්‍රණයක් කිරීම කිසිදු පදනමක් නැහැ" යනුවෙන් සඳහන් කළේ ය. 

මේ අතර මෙරට යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කර යුතු බවට ඉකුත් 01 වැනිදා උතුරු පළාත් සභාව මගින් ද යෝජනාවක් සම්මත කරගනු ලැබී ය.

වන්නි රොමේෂ් මධූෂංඛ

Rate this item
(0 votes)