May 19, 2024

ටිරාන් අලස්ට ප්‍රතිකාර ගැනීමට රට යන්න අවසර දෙයි

September 03, 2015

රාඩා ආයතනයේ සිදු වූ බව කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සැකකරුවෙකු බවට පත්ව ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට විදෙස් ගතවීම තහනම් කරමින් නිකුත් කළ නියෝගය මාසයක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (03) කටයුතු කළේය.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා තමන්ට එක්සත් රාජධානියට යාමට අවශ්‍ය බව ටිරාන් අලස් මහතා අධිකරණයට දැන්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. 

ටිරාන් අලස් මහතාගේ නීතිඥවරු මෝසමක් මගින් ඔහුට ප්‍රතිකාර ලබාගැනීම සඳහා එක්සත් රාජධානියට යාමට අවසර ඉල්ලා සිටියහ.

ඒ අනුව ටිරාන් අලස් මහතාට සැප්තැම්බර් 10 සිට ඔක්තෝබර් 10 දක්වා විදේශ ගත වීමට තාවකාලිකව අවසර ලබාදුන්නේය.

මීට මාස කිහිපයකට පෙර අධිකරණය විසින් ඔහුගේ රට ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරනු ලැබීය. 2004 සුනාමි සමයේ උතුරු නැගෙනහිර නිවාස ඉදිකිරීම සඳහා පිහිටවූ ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ආයතනයේ (රාඩා) මුදල් ප්‍රතිසංවිධානයට දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි සභාපති වශයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරනු ලැබීය.

 

Rate this item
(1 Vote)