May 21, 2024

"ආදරය" යන අකුරු හතරට සැබෑ අරුතක් දුන් ආදරණීය යුවළ (PHOTOS)

February 14, 2022

ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතරතුරදී රිය අනතුරකට ලක්ව පාදයක් අහිමි වූ තරුණියක් සමඟ විවාහ වූ තරුණයකු ආදරවන්තයන්ගේ දිනයේදී සිය විවාහ උත්සවය සමරනු ලබනවා.

මෙම තරුණ යුවළගේ ආදර කතාව ආරම්භ වී තිබෙන්නේ 2009 වර්ෂයේදී.

විවාහ උත්සවය සදහා ඇදුම් ආයිත්තම් රැගෙන එමින් සිටියදී මොවුන් දෙදෙනා 2016 වර්ෂයේ දී රිය අනතුරකට ලක්ව බරපතල තුවාල ලැබුවා.

මෙම අනතුරෙන් තරුණියට සිය දකුණු පාදය අහිමි වූ අතර එහෙත් ඇය විවාහ කර ගැනිම සදහා තරුණයාට එය බාධාවක් නොවීම විශේෂත්වයක්. 

අනතුරෙන් බරපතල තුවාල ලැබු තරුණිය සුවපත් වීම සදහා වසර කිහිපයක් ගතවුවා.

එම කාලය තුලදී මෙම තරුණිය රැක බලා ගනිමින් සාත්තු සප්පායම් කිරීමට තරුණයා කටයුතු කර තිබෙනවා.

ආදරය යන අකුරු හතරේ අරුත නියම අයුරින් තේරුම්ගෙන ඉතා සාර්ථක පවුල් ජිවිතයක් ගතකරන මෙම යුවළ වදුරඹ ඌරල පහල ප්‍රදේශයේ පදිංචි ධනුෂ්ක ලක්මාල් හා සුරංගි තක්ෂිලා සිරිමාන්නයි.

සැබවින්ම මෙම තරුණ යුවළ ප්‍රේමවන්තයන්ට හා ප්‍රේමවන්තයින්ට ආදර්ශමත් යුවළක්.

මෙහි කතානායකයා වන ධනුෂ්ක ලක්මාල් සිය ප්‍රේමය ගැන මෙසේ පවසා සිටියා,

"මමයි සුරංගියි අතර ප්‍රේම සම්බන්දතාවය ඇතිවන්නේ 2009 වර්ෂයේ. මිතුරෙකු මාර්ගයෙන් තමයි ඇය දැන හැදින ගන්නේ. දෙමව්පියන්ගේද ආශිර්වාදය අරගෙන 2016 වර්ෂයේ දි අපි විවාහ වීමට සුදානම් වෙනවා. විවාහ උත්සවය සදහා ඇදුම් අරගෙන එන විට තමයි රිය අනතුරකට ලක්වෙන්නේ. එම අනතුරෙන් සුරංගි බරපතල තුවාල ලබනවා. වෛද්‍යවරු කීවා ඇය සුවපත් කරන්න වසර තුන හතරක් ගත වේවි කියලා. සියලු බාධක ජය අරගෙන 2021 වර්ෂයේ දි අපි විවාහ වුණා. සුරංගි අනතුරට ලක් වීම ප්‍රේම සම්බන්ධතාවට හා විවාහ වීමට බාධාවක් වුණේ නැහැ. මට පුළුවන් ආකාරයට ඇය රැකබලා ගත්තා. මගේ ආදරය පිවිතුරු නිසා කිසි දිනක මා සුරංගිව අත්හැරියේ නැහැ."

මෙහි කතානායිකාව වන සුරංගි තක්ෂිලා සිරිමාන්න සිය ප්‍රේමය ගැන මෙසේ පවසා සිටියා,

"මාගෙයි ධනුෂ්කගෙයි ආදර කථාව පටන් ගන්නේ 2009 වර්ෂයේ දි. 2016 වර්ෂයේ දි ධනුෂ්ක හා මම රිය අනතුරකට ලක්වෙනවා. එම අනතුරෙන් මට මගේ දකුණු පාදය අහිමි වෙනවා. ධනුෂ්කත් අනතුරෙන් තුවාල ලබනවා. නමුත් අපි දෙදෙනාගේ ආබාධ තත්වය අපේ ආදරයට බාධාවක් වෙන්නේ නැහැ. රිය අනතුරෙන් මාගේ පාදය අහිමිවෙලා ආබාධ තත්වයට පත්වුනත් එයා මාව අත්හරින්නේ නැහැ. මාව හොදින් රැක බලා ගන්නවා. වසර 12ක් ආදරය කරලා 2021 වර්ෂයේ දි විවාහ වෙනවා. විශ්වාසය ආදරය රැකවරණය තියෙනවා නම්  විවාහය සාර්ථකයි. අපි දෙදෙනාට පුංචි පුතෙන් ඉන්නවා. අපි දෙදෙනාගේ ප්‍රශ්න අපි දෙදනා විසින්ම හොදින් තේරුම් අරගෙන සතුටින් ජිවත් වෙනවා. ආදරය බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ආදරයට විශ්වාසය තියෙන්න ඕන. අද සමාජයේ ඇතැමුන් රූපයට හා මුදල්වලට ආදරය කරනවා. එහෙම වූ විට තමයි ප්‍රශ්න ඇතිවන්නේ. දෙදෙනා තේරුම් අරගෙන ජිවත්වෙනවා නම් එතන පවුල් ජීවිතය සාර්ථකයි. ආදරය කරනවා වගේ නෙමෙයි විවාහ ජීවිතයට ඇතුලත් වූ විට. දරුවන් ලැබෙනවා නොයෙකුත් අභියෝග එනවා. නොයකුත් ප්‍රශ්න එනවා. දෙදෙනා තේරුම් අරගෙන එම ප්‍රශ්නවලට මුහුණ දෙනවා නම්  එකිනෙකාට ගරු කරගෙන ජිවත්වෙනවා නම්  එතන පවුල් ජිවිතය සාර්ථකයි. ආදරවන්තයින්ගේ දිනය එක් දිනයකට සිමා කරන්න බැහැ. ආදරය කියන අකුරු හතරේ ලොකු අර්ථයක් තියෙනවා. සැම දිනකම එකට ජිවත්වෙනවා නම් සතුටින් ඉන්නවා නම් එතන තමයි ආදරය තියෙන්නේ. වයසයට යනකම් එම ආදරය තියෙන්න ඕන."

(ගාල්ල - ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)
Last modified on Monday, 14 February 2022 12:09