May 15, 2024

ට්‍රම්ප් ලංකාවෙ චිත්‍රපටයක ඇත්තටම රඟපෑවාද? කවුරුත් නොකී සම්පූර්ණ කතාව (VIDEO)

මීලඟ අමෙරිකානු ජනාධිපති ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පිළිබඳව ලෝකයේම අවධානය මේවන විටත් පහව ගොස් නැහැ.

මේ උනන්දුව නිසාම ට්‍රම්ප් මහතාගේ අතීතය ගැනත් බොහෝ දෙනා සෙවීමට පෙළඹී සිටිනවා.

මේ ආකාරයෙන් ට්‍රම්ප් මහතාගේ අතීත කතා පුවත ඔස්සේ ගමන් කරද්දී හමුවන සුවිශේෂී අවස්ථා ගණනාවකින් එකක් ලෙස චිත්‍රපට ගණනාවක සුළු චරිතවලට රංගනයෙන් දායක වීම පිළිබඳ ජාත්‍යන්තර වෙබ් අඩවි වාර්තා කර තිබුණා.

ජාත්‍යන්තර වශයෙන් මෙන්ම මෙරට ද බාල මහළු භේදයකින් තොරව ජනප්‍රියට පත් වූ "Home Alone" චිත්‍රපටය ඉන් සුවිශේෂී අවධානයක් ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ට්‍රම්ප් මහතාගේ රංගන දායකත්වය ගැන සොයා බැලීමේ දී ඔහු ශ්‍රී ලාංකීය සිනමා ශිල්පියෙකුවන චන්ද්‍රම් රත්නම් මහතා විසින් සම නිෂ්පාදනයෙන් දායක වූ චිත්‍රපටයකට ද සුලු චරිතයකට නළුවෙකු ලෙස සහභාගී වී ඇති බව අනාවරණය වෙනවා. 

ශ්‍රී ලාංකීය චිත්‍රපටයක් නොවන එය 1989 වසරේ දී නිෂ්පාදනය වූ Ghosts Can’t Do It නම් වූ අමෙරිකානු චිත්‍රපටය යි.

මේ පිළිබඳව චන්ද්‍රම් රත්නම් මහතා මෙසේ අදහස් පළ කොට තිබුණා.

"මම සහ බෝ ඩෙරික් නිෂ්පාදනය කරපු Ghosts Can’t Do It ෆිල්ම් එකේ නළුවෙක් විදියට ට්‍ර‍ම්ප් වැඩ කළා. අපිට ඕන වුණා හොඳ බිස්නස්මන් කෙනෙක්ගෙ චරිතයක් කරන්න කෙනෙක්. ඔහු රඟපෑවේ ඒ චරිතයටයි. එයාගෙම චරිතයට කිව්වොත් හරි. මේ චිත්‍ර‍පටය වැඩි වශයෙන් රූගත කළේ මාලදිවයිනේ. නමුත් ඔහුගෙ රූගතකිරීම් තිබුණෙ නිව්යෝක්වල."

අප අතරින් සමුගත් ප්‍රවීණ රංගනවේදී හෙන්රි ජයසේන කලාකරුවාණන් ද මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

කෙසේ වෙතත් රත්නම් මහතා පවසන්නේ එම චිත්‍රපටයෙන් පසු ට්‍රම්ප් මහතා සමග සබඳතාවක් නොතිබූ බව යි.

එනමුත් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ තමන් ඔහුට සුබ පැතූ බවත්, ඉන් ජය ලැබූ අවස්ථාවේ ද ට්‍රම්ප් මහතාට සුබ පැතීමට අමතක නොකල බවත් රත්නම් මහතා පවසා තිබුණා.

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එලෙස රඟපා තිබුණේ Ghosts Can’t Do It නමැති අමෙරිකානු චිත්‍රපටයක වූ නමුත් මෙරට බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණේ මීලඟ ලෝක බලවතා ශ්‍රී ලාංකීය චිත්‍රපටයක රඟපා ඇති බවට යි.

කෙසේ වෙතත් බොහෝ අන්තර්ජාල මූලාශ්‍රවලට අනුව මෙම චිත්‍රපටය ඉතාමත් දුර්වල චරිත නිරූපනයන් සහිත අසාර්ථක නිර්මාණයක්වන බවට වාර්තා වෙනවා.

එමෙන්ම ඇතැම් ස්ථානවල සඳහන් වන්නෙ ලොව අසාර්ථකම චිත්‍රපට 100 අතුරින් අවසාන තැන හෙවත් 100වන ස්ථානය ලබන්නේ ද මෙම චිත්‍රපටය බව යි.

වීඩියෝ කිහිපයක් පහතින් > > >

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 November 2016 10:15