May 06, 2024

හැමෝම හිනාවුණ කැෂියර්වරියගේ වීඩියෝව පිටුපස ඇති කඳුළු කතාව

November 01, 2016

ඉන්දියාවේ බැංකුවක් තුළ මුදල් අයකැමිවරියක් ලෙස කටයුතු කරන කාන්තාවකගේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා සැරිසැරූ අයුරු ඔබත් දකින්නට ඇතුවාට සැකයක් නැහැ.

"ලොව වේගවත්ම කැෂියර්" යනුවෙන් විහිළුවට ලක් කොට පැතිරුණු මෙම වීඩියෝව මිලියන 13කට වඩා නැරඹුම්වාර ගණනක් සටහන් කර තිබුණා.

කෙසේ වෙතත් මේවන විට එය ෆේස්බුක් සමාජ ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

සෑම දෙනාම පාහේ මෙම වීඩියෝව නරඹමින් 'ෂෙයා' කරනු ලැබුවේ එහි දැක්වෙන බැංකුවේ සේවයේ යෙදී සිටින මුදල් අයකැමිවරිය අසාමාන්‍ය ලෙස මන්දගාමී ආකාරයෙන් හැසිරීම හේතුවෙන්.

බැංකුවෙන් සේවා ලබාගැනීමට ඇය වෙත පැමිණෙන පුද්ගලයින්ට විනාඩි ගණනාවක් ඇය දෙස බලා සිටින්නට සිදුවන අයුරු ද ඇයට නොදැනෙන පරිදි සැඟවී ගත් මෙම වීඩියෝවේ දැක්වෙනවා.

විවිධ පුද්ගලයින් සහ වෙබ් අඩවි මෙම අයකැමිවරියගේ වීඩියෝවට සිනාසුනා පමණක් නොව ඇයව ඉතා දරුණු ලෙස විවේචනය කරන්නට ද කටයුතු කර තිබුණා.

මෙරට ක්‍රියාත්මකවන වෙබ් අඩවි ද ඒ අතර තිබූ බව අප දුටුවා.

කෙසේ වෙතත්, කෝටි ගණනක් වූ සමාජ ජාල පරිශීලකයින් හට මනා විනෝද මෙවලමක් බවට පත් වූ මෙම වීඩියෝව පිටුපස ඇති සැබෑ පුවත නම් කිසිසේත් විනෝදය ගෙන දෙන්නක් වන්නේ නැහැ.

ප්‍රේම්ලතා ෂිංඩි නම් වූ මෙම ඉන්දීය බැංකු සේවිකාව මේ ආකාරයෙන් මන්දගාමී ලෙස සිය රාජකාරී කටයුතුවල නිරතවන්නේ තමන් සතු උඩඟු හැඟීමක් නිසා නම් නොවෙ යි.

කැපවීමෙන් රාජකාරී කටයුතුවල නිරතවන ඇයට හැකි උපරිම වේගය වන්නේ මෙම වීඩියෝවෙහි දක්නට ඇති වේගය යි.

එයට හේතුව ප්‍රේම්ලතා මුහුණ දුන් රෝගී තත්ත්ව කිහිපයක් බව යි වාර්තා වන්නේ.

දරුණු හෘදයාබාධ දෙකකින් දිවි ගලවා ගත් ඇය අංශභාග රෝගී තත්ත්වයෙන් ද පීඩා විඳ ඇති අයෙක්.

රෝගී තත්ත්වයෙන් පසු සේවයට පැමිණි ඇය තමාට හැකි අයුරින් රාජකාරියෙහි නිරතවන ආකාරය යි කිසියම් අයෙකු සැඟවී වීඩියෝගත කර තිබුණේ.

කිසියම් සිදුවීමක් පසුපස ඇත්තේ කුමක්ද යන්න හෝ එහි ගැඹුර පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකොට පුද්ගල ජීවිත විනෝද භාණ්ඩ බවට පෙරළා ගැනීම වර්තමාන සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් දැකිය හැක්කක් බවට පත් වී තිබෙනවා.

මෙම තත්ත්වය මෙරටට ද පොදු කාරණාවක්වන බව අන්තර්ජාලය තුළ සැරිසරන ඕනෑම අයෙකුට වැටහෙන්නක්.

එමෙන්ම මෙම තත්ත්වය දිගුකාලීනව දැඩි සමාජ ගැටළු නිර්මාණය කළ හැකි බවත් පැහැදිළියි.

කිසිදු අවසරයකින් තොරව ලබාගන්නා ඡායාරූප, වීඩියෝ ආදිය යොදාගෙන සමූහ වින්දනයක නිරතවන සමාජ ජාල පරිශීලකයින් මෙන්ම සමාජ මාධ්‍ය ගමන් ගන්නා මාර්ගයේම යන්නට උත්සහ දරන ඇතැම් ජනමාධ්‍යන් ද එම සමාජ ගැටළු නිර්මාණය කිරීමේ වගකිවයුත්තන්වන බව ද පැවසිය යුතුම යි.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 01 November 2016 17:24