October 20, 2020

තමා ගංජා වැවීමට ඉඩ නොදෙන බව නිතිය හා සාමය කටයුතු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

ඒ වෙළඳ කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ගංජා වගාව නීත්‍යනුකුල කර එම නිෂ්පාදන අපනයනය කිරීමේ විදේශ විනිමය ඉපයිය හැකි බවට කර තිබෙන ප්‍රකාශයක් මුල් කොට ගෙන සමඟි ජන බලවේගයේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

ගංජා වගාවේ වාණිජ පැත්ත බන්දුල ගුණවර්ධන මහතාගෙන් අසා දැනගන්නා ලෙස දැනුම් දුන් රාජපක්ෂ මහතා ගංජා වැවීමට තමා ඉඩ නොදෙන බව සඳහන් කළේය.

කතානායකවරයා නොදැන පාර්ලිමේන්තුව තුල කන්සා වගාව සම්බන්ධයෙන් ලියවූ පොතක් පාර්ලිමේන්තුවේ බෙදා හැර තිබෙන්නේ කෙසේ දැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කතානායකවරයාගෙන් විමසා තිබේ.

එම පොත තමන්ට නොලැබුණු මුත් තමන් එම පොත සොයා ගත් බව සඳහන් කල පතිරණ මන්ත්‍රීවරයා එම පොතේ පිදුම ආනන්දය ලබන්න මැයෙන් සඳහන්ව තිබු බවද පෙන්වා දෙයි. ඉන් අදහස් කරන්නේ ගංජා ගසන්න දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරන ලදී.

එම පොත ගැන බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා දන්නේ දැයි පතිරණ මහතා වැඩිදුරටත් ප්‍රශ්න කල අතර මේ පොත පිළිබඳව තමන් සොයා බලන බව කතානායකවරයා සභාවට දැනුම් දෙන ලදී.

9 වන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව ලබන 6 වනදා සිට ආරම්භ කරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. 

ඒ අනුව, 6 වැනිදා සිට 23 වනදා දක්වා කෝප් කමිටුව රැස්වීමට නියමිතය.

සීමාසහිත ලංකා ගල් අගුරු සමාගම පළමුවෙන්ම කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව ඇත.

2009 වර්ෂයේ සිට නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා සීමා සහිත ලංකා ගල් අඟුරු සමාගම මගින් සිදුකරන ලද ගල් අගුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති විශේෂ විගණන වාර්තාව මත පදනම්ව එහි නිලධාරින් එදිනට කැඳවා ඇත.

මේ අතර, මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සිදුකර ඇති විශේෂ විගණන වාර්තාව අවධානයට ලක් කිරීම සඳහා ඔක්තෝම්බර් 20 වනදා මාර්ග සංවර්ධන අධිකාරිය, අදාළ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ද කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

එමෙන්ම, ඔක්තෝම්බර් 23 වනදා පොල් සංවර්ධන අධිකාරිය කෝප් කමිටුව වෙත කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය පැවසීය.

මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

දැනට ඉදිරිපත් කර ඇති 20 වැනි සංශෝධනයට අඩංගු නොවන 7 වැනි උප ලේඛනයේ දිවුරුම හෙවත් “රටේ ඒකීයභාවය පිළිගන්නා“ යන කොටස නැවත ඇතුළත් කිරීම ඉන් ප්‍රධානම සංශෝධනයක් වන බව රජයේ ආරංචි මාර්ග පැවසීය. 

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සංඛ්‍යාව තිදෙනෙකු ලෙසත්, එහි මෙතෙක් සඳහන් නොවූ ඝණපූරණය සාමාජිකයන් දෙකක් ලෙසත්, නව වගන්තියක් ඇතුළත් කිරීමටත්, තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගැනීමටද නව සංශෝධන ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් වේ.

මැතිසබය තෝරාපත් කරගත් පසු එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන කාලය නිශ්චය කෙරෙන සංශෝධනය මෙම සංශෝධනවලට එක් කෙරෙන සිව්වැනි සංශෝධනය වේ.

දැනට ප්‍රකාශිත ව්‍යවස්ථා කෙටුම්පතෙහි සඳහන් වන්නේ මැතිසබය තෝරා පත්කර වසරකට පසු ජනාධිපතිවරයාට එය විසුරුවා හැරිය හැකි බවයි. එය යහපාලන රජය 19 වැනි සංශෝධනය ගෙන ඒමට පෙර ක්‍රියාත්මක වූ විධිවිධානයමය. එහෙත් එම කාලසීමාව වසරක් නොව වසර 2 1/2 ක් විය යුතු යැයි රජයේම ප්‍රබල පාර්ශ්ව ගණනාවක් සඳහන් කර ඇති බැවින් එම කරුණ සිව්වැනි සංශෝධනය ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.

සෙසු වගන්ති සංශෝධනය කිරීමක් ගැන මෙතෙක් සාකච්ඡා වී නොමැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයටත් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමටත් ප්‍රකාශ කර තිබුණේ පසුගිය ජනාධිතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් තමන් ජනතාවට පොරොන්දු වූ ලෙස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුලින්ම අහෝසි කළ යුතු බවය.

ඒ සඳහා රජයට ජනතාව මැතිසබයේ 2/3ක ජනවරමක් ලබාදී ඇති බැවින් තමන්ගේ එකම අරමුණ එම ජනතා අභිලාෂය ඉටුකිරීම බවත් ජනපතිවරයා ප්‍රකාශ කර තිබිණි. 

නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 08 දෙනෙකු සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව සී.ඒ චන්ද්‍රපේම මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස පත්කර තිබේ.

මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර ඇති අතර අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් රවිනාථ ආරියසිංහ මහතාය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ හිටපු සභාපතිවරියක වූ මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ධුරයටත් ආචාර්ය පාලිත කොහොන මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපති ධුරයටත් පත් කර තිබේ.

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එස්. අමරසේකර මහතා පත්කර ඇති අතර හිටපු නාවික හමුදාපතිවරයෙකු වන විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිස්චන්ද්‍ර ද සිල්වා මහතා ඇෆ්ගනිස්ථාන තානාපතිවරයා ලෙසත් සංජිව් ගුණසේකර මහතා ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසත් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. 

ඔවුන්ගේ යෝග්‍යතාව පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව මෙම අනුමැතිය ලබාදී ඇත.

පාර්ලිමේන්තුව හමුදාවේ අනුඛණ්ඩයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"එතුමා ජනාධිපතිවරණයේදී කෙලවා ගත්තා වගේම මගේ භාෂාවෙන්ම මම කියනවා." යැයද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"විභාග දෙපාර්තමේන්තුව යවා එතුමාගේ සහ මගේ සුදුසුකම් පරීක්ෂා කරන්න" යැයි චාමර සම්පත් මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

"එයා හිතාගෙන ඉන්නේ මේක අනුඛණ්ඩයක් කියලා. මේක හමුදා අනුඛණ්ඩයක් නෙමෙයි. මේක පාර්ලිමේන්තුව. හමුදා අනුඛණ්ඩයක් ලෙස තමා අණදෙන්නේ" යැයිද මන්‍ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී්‍ය.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පල කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

‘වඩේ කාරයා පලයන් යකෝ යන්න’ යනුවෙන් ෆොන්සේකා මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.

යහපාලන ආණ්ඩු කාලයේ කොලොන්නාවට තමුන්නාන්සේ කල දෙයක් නැති බව නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

ඔහු එහිදී තමුන්නාන්සේ යනුවෙන් හැදින්වුයේ කොලොන්නාව ආසනය නියෝජනය කරන සමඟි ජන බලවේගයේ මරික්කාර් මන්ත්‍රීවරයාය. 

යහපාලන ආණ්ඩු සමයේ අවශ්‍ය මුදල් වෙන් කර ගත්තේ නම් මෙවැනි ප්‍රශ්න ඇති නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා මරික්කාර් මන්ත්‍රීවරයා අමතා ප්‍රකාශ කරන ලදී.

ගොඩහේවා මහතා මෙම ප්‍රතිචාරය දැක්වුයේ මරික්කාර් මහතා ඔහුගෙන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සහ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා අදහස් කරමින් සිටියදී මෙම තත්ත්වය ඇති විය.

‘වඩේ කාරයා පලයන් යකෝ යන්න’ යයිද ෆොන්සේකා මහතා එහිදී බැන වැදුණේය.

විපක්ෂයේ ඉන්න එක්කෙනෙක් වට කරන්න ආණ්ඩුවේ ඉන්න තුන්දෙනෙක් දාන්න පුළුවන් බව ඊයේ (22) ආණ්ඩුවේ ඇමති වරයෙක් ප්‍රකාශ කරන අයුරු තමන් දුටු බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

අට පාස් නැති වුන අය‍ට තුනෙන් දෙක හරියට ගැන ගන්නට බැරි බවත් එක්කෙනෙකුට තුනක් දානවා නම් ආණ්ඩුවට හතරෙන් තුනක් තිබිය යුතු බවද ෆොන්සේකා මහතා පෙන්වා දෙයි.

එවැනි තර්ජන වලින් විපක්ෂය බිය නොවන බව පෙන්වා දෙන ෆොන්සේකා මහතා තමාට ආණ්ඩුවේ ඉදිරි පෙළ සිටින සියල්ලන්ම තනියෙන් එක පාරට ගත හැකි බවද ප්‍රකාශ කරයි.

ආණ්ඩුවේ තුන් වන පේලියේ සිටින දයාසිරි ජයසේකර මහතා කරාටේ දන්නා බැවින් ඒ පේලියේ වගකීම අපේ පැත්තේ සිටින කළු පටි ශුරියෙකු වන ඩයනා ගමගේ මන්ත්‍රීතුමියට භාර දෙන බවද ඔහු සඳහන් කළේය.

පොදු ව්‍යාපාර කාරක සභාව (COPE) සම සභාපතිත්වය විපක්ෂයට ලබා දෙන ලෙස සමඟි ජන බලවේග මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.

කෝප් සභාපති ධුරයට මහාචාර්ය චරිත හේරත් මහතාව ඊයේ (22) පත් කරන බව ආණ්ඩු පක්ෂය දැනුම් දී තිබේ.

එම ඉල්ලීමට කතානායකවරයා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන ලදී.

පතිරණ මහතා මෙම ඉල්ලීම කරනු ලැබුවේ අද (23) පාර්ලිමේන්තුව අරම්භයේදීය.

Page 1 of 7