October 20, 2020

යහපාලන ආණ්ඩු කාලයේ කොලොන්නාවට තමුන්නාන්සේ කල දෙයක් නැති බව නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

ඔහු එහිදී තමුන්නාන්සේ යනුවෙන් හැදින්වුයේ කොලොන්නාව ආසනය නියෝජනය කරන සමඟි ජන බලවේගයේ මරික්කාර් මන්ත්‍රීවරයාය. 

යහපාලන ආණ්ඩු සමයේ අවශ්‍ය මුදල් වෙන් කර ගත්තේ නම් මෙවැනි ප්‍රශ්න ඇති නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා මරික්කාර් මන්ත්‍රීවරයා අමතා ප්‍රකාශ කරන ලදී.

ගොඩහේවා මහතා මෙම ප්‍රතිචාරය දැක්වුයේ මරික්කාර් මහතා ඔහුගෙන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සහ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා අදහස් කරමින් සිටියදී මෙම තත්ත්වය ඇති විය.

‘වඩේ කාරයා පලයන් යකෝ යන්න’ යයිද ෆොන්සේකා මහතා එහිදී බැන වැදුණේය.

පොදු ව්‍යාපාර කාරක සභාව (COPE) සම සභාපතිත්වය විපක්ෂයට ලබා දෙන ලෙස සමඟි ජන බලවේග මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.

කෝප් සභාපති ධුරයට මහාචාර්ය චරිත හේරත් මහතාව ඊයේ (22) පත් කරන බව ආණ්ඩු පක්ෂය දැනුම් දී තිබේ.

එම ඉල්ලීමට කතානායකවරයා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන ලදී.

පතිරණ මහතා මෙම ඉල්ලීම කරනු ලැබුවේ අද (23) පාර්ලිමේන්තුව අරම්භයේදීය.

අභිනව පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීන් සඳහා තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම කඩිනමින් ආරම්භ කරන බව මුදල් අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසයි.

මෙහිදී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීන් 79 දෙනාට මුලින්ම තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කෙරෙනු ඇතැයි ද ඉන් අනතුරුව සෙසු මන්ත්‍රීන් සියලු දෙනාට සති කිහිපයක් තුළ මෙම බලපත්‍ර නිකුත් කිරීම සිදුකෙරෙන බව ද වාර්තා වේ.

තීරු බදු සහන බලපත්‍ර ක්‍රමය යටතේ එක් මන්ත්‍රීවරයකුට රුපියල් ලක්ෂ 65ක පමණ බදු සහනයක් සහිත බලපත්‍රයක් හිමිවන අතර දැනට වාහන ආනයනය නතර කර ඇති නිසා මෙරටට ගෙන්වා ඇති වාහන හෝ ඉදිරියේදී වාහන ආනයන තහනම ඉවත්කළ විට හෝ මෙම බලපත්‍ර මගින් වාහන මිලදී ගත හැකිය.

ඒ සමඟ රාජ්‍ය සේවයේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ලාභීන්ටද එම බලපත්‍ර නිකුත් කෙරේ. රජයේ සේවකයන්ට එකී බලපත්‍ර යටතේ රුපියල් ලක්ෂ 36ක බදු සහනයකට යටත්ව වාහනයක් මිලදී ගත හැකිය.

මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය ලබන සඳුදා (07) ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කරයි.

ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් අද (04) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා කරුණු ඉදිරිපත් කළ අතර අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි පාර්ලිමේන්තු මහලේකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කරුණු ඉදිරිපත් කළේය.

සියලු පාර්ශව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙන්න ද නැද්ද යන තීරණය ලබන සඳුදා ප්‍රකාශයට පත් කරන බව ද නිවේදනය කළේය.

එමෙන්ම ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීම සඳහා අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දුව ලබන සඳුදා ප්‍රකාශයට පත් කරන බව ද විනිසුරු මඩුල්ල පවසා තිබේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආහාර පාන සඳහා වන පිරිවැය තක්සේරු කිරීම සඳහා විගණනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ එක් ආහාර වේලක් සඳහා රුපියල් 3,000 කට වඩා වැය වන බව පවසමින් අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සඳහා වූ වැඩමුළුවක් අතරතුර පාර්ලිමේන්තුවේ නිලධාරියෙකු කළ ප්‍රකාශය ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එක්ව විරෝධය ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව කතානායකවරයා මෙම විගණනය කිරීමට උපදෙස් දුන් බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශක ශාන් විජේසිංහ මහතා පැවසීය.

එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආහාර වේලක වියදම රුපියල් 296 ක් පමණ වන අතර එය වාර්තා වී තිබූ පරිදි රුපියල් 3000ක් නොවන බවත් නුදුරු අනාගතයේ දී පාර්ලිමේන්තුවේදී ආහාර සඳහා වන වියදම් පිළිබඳ සවිස්තරාත්මකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේ සමස්ත ආහාර පිරිවැය ගණනය කිරීමෙන් අනතුරුව එය 225 න් බෙදීමෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වැරදි ප්‍රකාශයක් සිදුකර ඇති බව කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ආහාර වේලක් සඳහා රුපියල් 3000 ක මුදලක් වැය වන බව පාර්ලිමේන්තු නිලධාරියෙකු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය.

පරිසර හානිය අවම කිරීමට ප්ලාස්ටික් ගෙන්වීම සීමා කරන බවත් ඒ සඳහා විකල්ප ක්‍රම හඳුන්වා දෙන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(28) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සැෂේ පැකට් සහ පිටරටින් විශාල වශයෙන් ගෙන්වන සෙල්ලම් බඩු නතර කිරීමට පියවර ගන්නා බවත් මුලින්ම සැෂේ පැකට් සීමා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සභාව අමතමින් එහි මේසය මත තිබූ ප්ලාස්ටික් කෝප්පය ගෙන පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ අපිටත් පරිසර හානියට බලපාන ප්ලාස්ටික් කොප්ප ඉවත් කර වීදුරු කොප්ප ගැනීමට නොහැකි වී ඇති බවය.

තමන් මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ අදාල නිලධාරීන්ගෙන් කරුණු විමසූ අවස්ථාවේ සඳහන් කළේ වීදුරු කොප්ප තැබීමට නොහැකි වී ඇත්තේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එම වීදුරු වලින් හානියක් සිදුවන ආකාරයේ හැසිරීමක් ඇතිවුවහොත් එය වලක්වා ගැනීමට ප්ලාස්ටික් කෝප්ප තබා ඇති බවයි.

රුපියල් තුන්දහසක් වටිනා කෑම වේලක් රුපියල් දෙසීයකට මන්ත්‍රීවරයකුට ලබාදෙන බවට දේශකයකු පැවැසීම හේතුවෙන් නවක මන්ත්‍රීවරුන් සඳහා පැවැති වැඩමුළුවේ ඊයේ (26) සවස දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

පාර්ලිමේන්තුවේ මුදල් අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ.එස්. උපනන්ද ඊයේ (26) සවස ආහාරපාන සහ ගෘහ පාලන සේවා සහ පහසුකම් යන මාතෘකාව ඔස්සේ සිය දේශනය කළේය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයකුගේ උදෑසන ආහාරය රුපියල් 100කට, දිවා ආහාරය රුපියන් 200කට සහ කෙටි ආහාර රුපියල් 50ක මුලකට ලබා දෙන බවයි.

මන්ත්‍රීවරයකුට රුපියල් 200ක මිලකට ලබා දෙන්නේ රුපියල් 3000ක් වටිනා ආහාරවේලක් බව ඔහු ප්‍රකාශ කළේය. ඒ අවස්ථාවේදී නවක මන්ත්‍රීවරුන් නොසන්සුන් වූහ.

රාජ්‍ය ඇමැතිනි සීතා අරඹේපොල – "අපි මේ දවස් දෙකේ ඔය කියන ආහාරවේල ගත්තා. මේ කෑම වේල රුපියල් 3000ක් වටිනවද?"

මන්ත්‍රීවරු – "ඔය කතාව පිටට කියන්න එපා 3000 කෑම එක 200ට දෙනවා කීවාම අපටත් ලජ්ජයි. ඕක සමාජගත කරන්න එපා."

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත – "අපිට පෙනෙන්නේ නෑ මේ කෑම වේල 3000ක් වටිනා කියලා. අපි කිසිම කෙනෙකුට කෑම එපා. අපිට පුළුවන් ගෙදරින් ගෙනැවිත් කන්න."

රාජ්‍ය ඇමැති සීතා අරඹේපොල – "මම හොයලා බැලුවා කෝ මේ තුන්දාහේ බු​ෆේ එක කියලා. මම හිතනාව වැරදි තැනකටද ඇවිත් ඉන්නේ කියලා. මේ මතය සමාජ ගතවූ නිසා තමයි මිනිස්සු පාර්ලිමේන්තුවට වයිර කරන්නේ.

සහකාර ලේකම් ටිකිරි ජයතිලක – මන්ත්‍රීවරුන් දෙසිය විසිපහෙන් කෑම එකක් කාපු නැති අයත් ඉන්නවා.

මන්ත්‍රීවරුන් – මේ වැදගත් වැඩමුළුව අන්තිමට මාධ්‍යවල යන්නේ ඔය කතාව. අපි ආසාවෙන් හිටියා මේ වැඩමුළුවේ. දැන් කනගාටු වෙනවා. හොඳ වෙලාවට පබ්ලික් මීඩියා ඇකුළගෙන ගිහින්. මෙතන නෑ. දවස් දෙකම ඉවරයි මේ වචනෙත් එක්ක.

නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල – මෙතැනදී අදහස් කළේ ආහාර වේලක පිරිවැය ගැන.

මන්ත්‍රීවරුන් – ඒ පිරිවැය වැරදියි. අපි ඕනේ නම් පිරිවැය හදලා දෙන්නම්. ඔය ක්‍රමය වැරදියි.

නීල් ඉද්ද​ෙවල – සාමාන්‍ය පාර්ලිමේන්තු දවසකට ආහාර ගන්නවා දෙදහසකට වඩා පිරිසක්. අයවැය දවසට තුන්දහසකට වඩා ආහාර ගන්නවා.

මන්ත්‍රීවරයෙක් – පාර්ලිමේන්තුවේ සියලුදෙනාට ආහාර දෙනවද?

නීල් ඉද්ද​ෙවල – ඔව්. පොලිසියට, බැංකුවට, තැපැල් කාර්යාලයට, විදුලි බල මණ්ඩලයේ අයට කෑම දෙනවා.

මන්ත්‍රීවරුන් – 225 දෙනාම එළියෙන් කෑම ගෙනවා නම් හොඳයි.

නියෝජ්‍ය ලේකම් – ඉදිරියේදී තීරණය කරමු.

මන්ත්‍රීවරු – මේ වගේ දෙයක් මාධ්‍යයට ගියොත් ඔක්කොම ඉවරයි. ගෙදරටවත් යන්න විදිහක් නැති වෙනවා. අපි ඉන්නේ අපහසුතාවයෙන් මෙච්චර කාලයකට අනුන් කාපුවත් අපේ පිටින් ගිහින් තියෙන්නේ. අපි පිටින් කෑම එක ගේන්නම්. කෑම එකේ රුපියල් දෙසීය අපේ වැටුප එකතු කරන්න.

නියෝජ්‍ය ලේකම් – දැන් විගණන අංශයෙන් පණිවුඩයක් ආවා. මාළු කෑම එක රුපියල් 950යි. එළවළු කෑම එක රුපියල් 629යි.

මරණ දඬුවම ලබා සිටියදී රත්නපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් මෙවර පාර්ලිමේන්තුව සඳහා සුදුසුකම් ලැබූ ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලීට, නීතිපතිවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමේ අවස්ථාව ලබා නොදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබීම හේතුවෙන් අදාල මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව හිමි නොවීමට ඉඩ තිබෙන බව වාර්තා වේ.

කෙසේවෙතත් ඔහුගේ නම නව පාර්ලිමේන්තුව සඳහා සුදුසුකම් ලැබූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනයේ සඳහන්ව ඇත.

ඔහු තමාට ලැබුණු මරණ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීමට ඔහුට අධිකරණයෙන්ද අවසර ලැබී තිබුණු බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබූ අතර එය පදනම් කරගෙන පාර්ලිමේන්තුවේ බලධාරීන් විසින් ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි බන්ධනාගාර බලධාරීන් වෙත දන්වා තිබූ බවටද මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේ වෙතත් ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමේ අවස්ථාව ලබා නොදිය යුතු බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වී මාස තුනක අදාල ධුරයේ දිවුරුම් දිය යුතු අතර එසේ නොමැති වුවහොත් ප්‍රේමලාල් ජයසේකරගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඔහුට පසුව රත්නපුර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ සිටින අපේක්ෂකයාට එම අවස්ථාව හිමි වනු ඇත.

නැවත ගණන් කිරීමකින්, පක්ෂ ප්‍රතිඑලය තබා, මනාප ප්‍රතිඑලය හෝ වෙනස් නොවන බවට මාගේ දේශපාලන ජීවිතයට ඔට්ටු අල්ලන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහතා පවසයි.

ඡන්ද 74,000 ක් නිවැරදි ගණන් කළ නොහැකි රාජ්‍ය සේවකයින් මාතලේ නොමැති අතර, පරාජිතයින් මැතිවරණ ක්‍රමය පිළිබඳ විශ්වාසය බිඳදැමීම සඳහා කටයුතු නොකළ යුතු බව මන්ත්‍රීවරිය සඳහන් කළාය.

ඇය මේ බව සඳහන් කරන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රතිඑල නැවත ගණන් කිරීමට සිදු කර ඇති ඉල්ලීම පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට යැවූ ලිපියකිනි.

එම ලිපිය පහතින්,

මහින්ද දේශප්‍රිය මහතා,

සභාපති,

මැතිවරණ කොමිෂන් සභාව,

රාජගිරිය.

 ප්‍රිය සභාපතිතුමනි, 

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රතිඑල නැවත ගණන් කිරීමට කර ඇති ඉල්ලීම සම්බන්ධයෙනි

අළුවිහාරේ රංජිත් ජිනතිස්ස හිටපු මන්ත්‍රීතුමා විසින් මාතලේ ඡන්ද නැවත ගණන් කරන ලෙස ඉල්ලීමක් කර ඇත. දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් මැතිවරණයකට ඉදිරිපත් වන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වෙන්නේය යන උපකල්පනය මත ය. මැතිවරණ දිනය, ඡන්ද ගණන් කිරීම සම්බන්ධයෙන් එම විශ්වාසය මා දන්නා තරමින් නම් මෑත ඉතිහාසයේ කිසිදු අවස්ථාවක කඩවී නැත. 

ඡන්ද 312,576 ක් නිවැරදිව ගණන් කර වාර්තා තැබීමට මාතලේ රාජ්‍ය සේවකයින්ට හැකි බව මම හොඳින්ම දනිමි.  රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇත්තේ නිසි ලෙස විභාග සමත්ව, ගණිතය ඇතුළු විෂයන් සමත්, උගත් පිරිසකි.  ඔවුහු රාජකාරි අත්දැකීම්වලින්, තම කුසලතාව වර්ධනය කර ගෙන ඇති පිරිසක් ද වෙති.  මනාප ඡන්ද 74,000 කට අඩු සංඛ්‍යාවක් ගණන් කර වගුගත කර, අතින් ද, ගණක යන්ත්‍ර මගින් ද, පරිගණක මෘදුකාංග මගින් ද, තහවුරු කර ගත් ප්‍රතිඑලයක් ලබාදීමට ඔවුන් සතු දැනුම ප්‍රමාණවත් වන්නේය යන්න මාගේ ද, මාගේ කාර්ය මණ්ඩලයේ ද විශ්වාසය යි. 

අප පක්ෂයේ ද, මා විසින් නම් කරන ලද ගණන් කිරීමේ නියෝජිතයින්ට ද ඡන්ද ගණන් කිරීම ක්‍රමවේදය, කාර්ය පටිපාටිය හා කාර්ය සාධනය පිළිබඳ ගැටළුවක් නැත. 

මාතලේගණන් කිරීමේ නිලධාරීන්, ගණන් කිරීම් සහායකයින් විසින් තේරීම් භාර නිලධාරිවරයා වෙතත්, මැතිවරණ කොමිෂන් සභාව වෙතත් ලබාදී ප්‍රකාශයට පත් කොට ඇති ප්‍රතිඑලය ගැන මම සෑහිමකට පත් වෙමි.

එක් පක්ෂයකින් මාතලේට 8 දෙනෙකු නාම යෝජනා දෙන අතර, නිතරගයෙන් පක්ෂයක් ජයගත්ත ද, අපේක්ෂකයින් තිදෙනෙකුට මන්ත්‍රීධූර හිමිවන්නේ නැත. පරාජයක සිත් තැවුල වසන් කර ගැනීම වෙනුවෙන්, මැතිවරණ ක්‍රමය පිළිබඳ විශ්වාසය බිඳ දැමීම විහිළු සහගත නමුත් අනුකම්පා කළ යුතු තත්වයකි.  ක්‍රමන්ත්‍රණයක් මඟින් ඡන්දය ජය පරාජය තීරණය වන්නේ නම්, මැතිවරණ කාර්යය පසෙකලා මේ රටේ සියළු දේශපාලන පක්ෂ හා අපේක්ෂකයෝ කුමන්ත්‍රණ පමණක් කරනු ඇත්තේය.

අකුරණ ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ දී, අධිකරණ නියෝගයකින් ඡන්ද නැවත ගණන් කළ බව දනිමි. නමුත්, නැවත ඡන්ද ගණන් කළ කිසිදු අවස්ථාවක ජයග්‍රාහී පක්ෂය හෝ මනාප ලැයිස්තුව වෙනස් වූ බවක් නම් මා දන්නා ඉතිහාසයේ නැත.  රාජ්‍ය නිලධාරින්, අධීක්ෂණ නිලධාරීන් හා පක්ෂ නියෝජිතයින් ඉදිරිපිට ඡන්ද ගණන් කිරීමේ දී දුෂණ සිදු නොවන්නේය යන විශ්වාසය මත, පසුගිය මැතිවරණ දෙකේදීම මම නිවෙසට වී විවේක ගැනීම පුරුද්දක් කොට ගතිමි.  ප්‍රතිඑල ප්‍රකාශ කරන අවස්ථාවේ දී ජය පරාජය දැන ගැනීමට එක්වූවෙමි. 2015 මෙන්ම, 2020 ද මා ජයග්‍රහණය කළේය.  ජයග්‍රහණයේ පරතරය පමණක් වැඩිවී ඇත. එදා තුන්වන ස්ථානයේ සිටි මම, මෙවර පළමු ස්ථානයට මාතලේ ජනතාව විසින් ඔසවා තබා ඇත.

මෙම මැතිවරණයේ දී, මැතිවරණ කොමිෂන් සභාව, මාතලේ දිසාපතිතුමා හා කාර්ය මණ්ඩලය, ගණන් කිරීමේ නිලධාරීන් හා කාර්ය මණ්ඩලය සිදු කළ ප්‍රශස්ත රාජකාරියට මම ගෞරව කරමි.  

ඡන්ද පෙට්ටියක් නිවැරදිව ගණන් කළ නොහැකි රාජ්‍ය සේවකයින් පිරිසක් මාතලේ ඇතැයි මා නොසිතන අතර, මම ද විශ්‍රාමිකයෙකු වන රාජ්‍ය සේවකයින් එවැනි අවමානයකට කිසි කළෙක ලක් නොවිය යුතු යැයි ද සිතමි. විශ්වාස කරමි.

ඡන්ද ප්‍රතිඑල නිවැරදි බවට ‘කෝටි 50 ට ලක්ෂ 50 ක් ඔට්ටු අල්ලන්නට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වරක් ඉදිරිපත් වූ බව මම අසා ඇත.  ඡන්දයට වියදම් කළ පසුව මා අත ඔට්ටු අල්ලන්නට කෝටි 50 ක් තබා ලක්ෂ 50 ක් වත් නැත.  නමුත්, නැවත ගණන් කිරීමකින්, පක්ෂ ප්‍රතිඑලය තබා, මනාප ප්‍රතිඑලය හෝ වෙනස් නොවන බවට මම මගේ දේශපාලන ජීවිතයට ඔට්ටු අල්ලන්නට සුදානම් ය.  පක්ෂ ප්‍රතිඑලය හෝ මනාප ප්‍රතිඑලය වෙනස් වී ජයග්‍රාහකයින් හා පරාජිතයින් වෙනස් වන්නේ නම්, මම කිසිදා නැවත කුමන හෝ ඡන්දයකට ඉදිරිපත් වන්නේ නැත.  මන්ද, තේරීම් භාර නිලධාරියාට, ගණන් කිරීමේ නිලධාරියාට, සහකාර මැතිවරණ කොමසාරිස්තුමිය හා ඇයගේ කාර්ය මණ්ලයට ඡන්ද ප්‍රතිඑල නිවැරදිව ලබා දිය නොහැකි නම් මැතිවරණයකට ඉදිරිපත්වීමෙන් ද එලක් නොවන බැවිනි.

ඡන්දයට වෙහෙස මහන්සි වූ සියළුම රාජ්‍ය නිලධාරීන්ටත්, දිනය පුරා වෙහෙසී ඡන්ද ගණන් කිරීමේ නිරත වූ, මාතලේ ගණන් කිරීමේ නිලධාරීන්ටත්, එයට සම්බන්ධ සියළු කාර්ය මණ්ඩලයටත්, සියළු තරාතිරමේ නිලධාරීන්ටත්, සහායකයින්ටත් පොදුවේ සහ තනි තනිව ස්තුතිය පුද කිරීම සඳහා මම මෙය අවස්ථාවක් කර ගනිමි.  

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාටත් එහි සාමාජිකයින්ටත්, කොමසාරිස් ජෙනරාල්තුමා ඇතුළු සියළුම අතිරේක, නියෝජ්‍ය, සහකාර කොමසාරිස්වරුන්ටත් මාගේ සුබ පැතුම් පිළිගන්වමි.

මෙයට විශ්වාසී,

රෝහිණී කවිරත්න විජේරත්න