හෙට උදෑසන 5.00 සිට බලපැවැත්වෙන පරිදි බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) දිනයේ ඉවත් කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කෙසේවෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනාගත් පොලිස් වසම් 12ක් සහ අවදානම් බවට හඳුනාගෙන ඇති මහල්නිවාස සංකීර්ණ කිහිපයක් බාහිර සමාජයට පිවිසිය නොහැකි ආකාරයට හුදකලාවකට ලක් කිරීමට තීරණය කර ඇති බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
කොළඹ දිස්ත්‍රික්කය තුළ දැනට හමුවන කොවිඩ් ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් මෙම ස්ථාන තුළින් හඳුනාගන්නා බව යුද හමුදාපතිවරයා පැවසීය.
ඉකුත් නොවැම්බර් 02 වනදා උදෑසන බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කර තිබුණි.
මේ අතර කුරුණෑගල, කුලියාපිටිය, කෑගල්ල සහ මාවනැල්ල ප්‍රදේශවලටත් පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට උදෑසන 5.00 සිට ඉවත් කෙරෙන බවද සඳහන් කළේය.
මින් ඉදිරියේදි සියලුම රාජ්‍ය ආයතනය වල සුළු සේවකයන් පත්කිරීම අදාළ අමාත්‍යංශය බාර ඇමතිවරයාගේ අභිමතය අනුව කළ නොහැකි ලෙස චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
අමාත්‍යංශ වල රියදුරන්, කාර්යාල කාර්ය සහායකයන් සහ පිරිසිදු කරන්නන් යන තනතුරු සඳහා අවශ්‍ය සේවක පිරිස් මුදල් අමාත්‍යංශයේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකා දෙපාර්තමේන්තුව මගින් ලබාදීමට තීරණය කර ඇති බව එම අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කරයි.
අභ්‍යන්තර උසස්වීම් මගින් අදාළ පුරප්පාඩු පිරවීම සඳහා අවස්ථාව සලසා දී ඇත්නම් ඒ අනුව කටයුතු කළ යුතුය. අනෙකුත් සියලුම අවස්ථාවන්හිදී බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව මගින් අදාළ සේවා සපුරාගැනීමට කටයුතු කළ යුතු බව ලේකම්වරයා චක්‍රෙල්ඛයක් මගින් සියලු ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
පසුගිය කාලය පුරාම මෙම තනතුරු වලට පත්වීම් දෙන ලද්දේ අමාත්‍යංශය බාර ඇමතිවරයාගේ අභිමතය අනුව බව වාර්තා වේ.
පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයෙකු නිරෝධායනය කාලසීමාව අවසන් වී නිවස බලා යමින් සිටියදී මියගොස් ඇතැයි පුත්තලම පොලිසිය සඳහන් කරයි.
පුත්තලම සේවා මාවත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙකු පසුගිය 4 වැනිදා රාත්‍රියේ මෙසේ මියගොස් ඇති අතර මළ සිරුර ඔහුගෙන් නිවස ආසන්නයේ දී හමු වී තිබේ.
පුත්තලමේ ආපන ශාලාවක සේවකයෙකු ලෙස කටයුතු කරන ඔහුට එහිදී කොරෝනා ආසාදිතයෙක් හමුවූ බව හෙළි වීමෙන් පසු හෝටලයේ සියලු දෙනාම නිරෝධයට යොමු කර ඇත්තේ ඔවුන් සේවය කරමින් සිටි හෝටලයේමය.
පසුගිය 4 වැනිදා එම කාලය අවසන් කිරීමෙන් පසු නිවෙස බලා යමින් සිටි නමුත් ඔහු නිවසට පැමිණ නැති බව හෙලිවීමෙන් පසුව කළ සොයා බැලීම් වලදී නිවස අසල තිබී දේහය හමු වී ඇත.
දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.
මෙරට කොවිඩ් -19 ව්‍යාප්තිය මෙන්ම සිදුවන මරණ සම්බන්ධයෙන් ද රට යම් බැරෑරුම් ස්ථානයකට ගමන්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
සති දෙකක් වැනි කෙටි කාලයකදී කොවිඩ් මරණ 11ක් වාර්තාවීම අනතුරුදායක තත්ත්වයක් බව ඔහු සඳහන් කළේය.
එහිදී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,
"රට තුළ කොවිඩ් ව්‍යාප්තියේ පළමු අවස්ථාවේ මාස 9ටම මරණ සිදුවූයේ 13ක්. නමුත් මේ අවස්ථාවේ සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ මරණ 11ක් වාර්තා වී තිබෙනවා. මේ මරණයට පත්වුණු සමහර අය කොවිඩ් රෝගීන් කියලා අපි දැනගන්නේ මරණ පරීක්ෂණයේ දි. ඒ කියන්නේ සමහර අය ගෙවල්වලදි තමයි මරණයට පත්වෙලා තියෙන්නේ. මේක අපේ විශේෂ අවධානයට ලක්විය යුතු දෙයක්. අපිට ප්‍රායෝගිකව පේන්න තියෙන දේ තමයි මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් ඉදිරියේදී අපිට මීට වඩා වැඩියෙන් කතා කරන්න වෙයි. සමහර අයගෙ, PCR මුල් පරීක්ෂණයේදී නෙගටිව්වෙලා තිබ්ච්ච අයගෙ තමයි මරණයෙන් පස්සේ පොසිටිව් වෙලා තියෙන්නෙ. මේ මරණ ඔස්සේ ඉතා පැහැදිළිව පේන්නේ PCR පරීක්ෂණ නැවත නැවත සිදුකිරීමට ඇති අවශ්‍යතාවය. වයසක අය තමයි ගොඩක් මේ ගෙවල්වල මරණයට පත්වෙලා තිබුණේ. ඒකෙන් පැහැදිළි වන දේ තමයි සමාජයට ගිහින් නෙමෙයි ඒ අයට බෝ වුණේ. වෛරසය ගෙදරට ඇවිල්ලා. අවදානම් කණ්ඩායම් රැකබලා ගැනීමට ජනතාවට ලොකු වගකීමක් තියෙනවා." යනුවෙනි.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මේ වන විට කොවිඩ් අවධානම් කලාපයෙන් බැහැරවී ඇති බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය කුමාරි ජයසූරිය මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසූවේ මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අද පැවති රැස්වීමකදීය.
මේ වන විට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වසා දමා තිබූ ග්‍රාම සේවා වසම් තුන විවෘත කිරීමටද අදාල අංශ වෙත නිර්දේශ කළ බවද ඇය කියා සිටියාය.
කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී බල ප්‍රදේශ තුළ මෙම අවධානම තවමත් පවතින බවත් මිනුවන්ගොඩ ජනතාව නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේ නම්, ඇදිරි නීතිය ලිහිල් කිරීමට බලධාරීන්ට නිර්දේශ කළ හැකි බවත් ඇය කියා සිටියාය.
කොවිඩ් 19 දෙවන රැල්ල ආරම්භ වූයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිතවය. ඒ අනුව මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම සේවා වසම් 121 ක මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ 11000 කට අධික සංඛ්‍යාවක් කර තිබේ. ඉන් 680 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස හදුනා ගැනිණ. බ්‍රැන්ඩික්ස් ආයතනය ආසන්නයේ ඇති ගණිහිමුල්ල, පේරලන්ද හා හැලකන්දන ග්‍රාමසේවා වසම් වසා දැමිණි.
එම ගම්මානවල සියලු දෙනා පාහේ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර තිබේ.
ඒ අනුව ගණිහිමුල්ලෙන් 48 දෙනෙකුත්, පේරලන්දෙන් 32 කුත්, හැලකන්දෙන් 16 දෙනෙකුත් කොවිඩ් ආසාධිතයන් ලෙස හදුනාගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිණිය මෙහිදී කීවාය.
පෑලියගොඩ මත්ස්‍ය අලෙවි සැල හා සම්බන්ධ වූ පුද්ගලයන්ගෙන් මිනුවන්ගොඩ ආසන්නයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු පමණක් ආසාධිතයන් ලෙස වාර්තා වූ බවද ඇය මෙහිදී කියා සිටියාය.
ඔක්තොම්බර් 03 වැනිදා සිට මේ ගත කරන්නේ 04 වැනි සතිය බවත් මිනුවන්ගොඩ ජනතාව ස්වයං විනයකින් කටයුතු කරන්නේ නම් ඇදිරි නීතිය ඉවත් කළ හැකිව තිබෙන බවත්, ජනතාව ඒ පිළිබදව දැඩි අවධානයක් යොමු නොකරන නිසා පවතින ඇදිරි නීති තත්ත්වය ලිහිල් කිරීමට නොහැකි වී ඇති බවත් වෛද්‍යවරිය මෙහිදී කියා සිටියාය.
මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය 37 වසරක රාජ්‍ය සේවයෙන් සමුගැනීම සඳහා මේ වන විට සුදානම් වන බවට වාර්තා වේ.
රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේ පිහිටි සිය කාර්යාලයේ පෞද්ගලික භාණ්ඩ මේ වන විට ඔහු ඉවත් කරමින් සිටින බව වාර්තා වේ.
පසුගිය දා සම්මතවූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පවතින මැතිවරණ කොමිසම අහෝසිවී පංච පුද්ගල නව මැතිවරණ කොමිසමක් පත්වීම සිදුවනු ඇත.
එමෙන්ම එම නව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ලෙසට මහින්ද දේශප්‍රිය මහතාට ආරාධනා ලබා තිබුණත් තමන්ට විවේකයක් අවශ්‍ය බව පවසා සිය ධුරයෙන් විශ්‍රාම යාමට ඔහු තීරණය කොට ඇත.
19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහු මෙම නොවැම්බර් මස අගදී ඔහුගේ ධුර කාලය අවසන් වීමට නියමිතව තිබිණි.
කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන් තිදෙනෙකු හා කලක් රාජකීය වෛද්‍යවරයා ලෙස හැඳින්වූ එලියන්ත වයිට් මහතා විසින් පැන් කල ගංගා වලට දැමීමේ දර්ශන ඇතුලත් වීඩියෝ පටයක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය වල ඉතා වේගෙන් සංසරණය වෙමින් තිබේ.
විශ්ව ශක්තියෙන් බල ගැන්වූ පිරිත් කල ගංගා වලට මුදා හැරීම යන මාතෘකාව යටතේ එම වීඩියෝ පටය නිර්මාණය වී තිබේ .
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ ගවේෂණයකදී එහි පසුබිම් කතාව සොයා ගැනීමට හැකිවිය .
විශ්ව ශක්තියෙන් බල ගැන්වූ පිරිත් කල ගංගාවලට මුදා හැරීම එලියන්ත වයිට් මහතාගේ අදහසකි .
ඔහු මීට පෙර කොවිඩ් 19 පළමු රැල්ලක් ආ අවස්ථාවේදී ද පිරිත් කළ පැන් කල ගංගා වලට මුදා හැර තිබේ .
මෙවර ද ඔහු විසින් පිරිත් කොට සකස් කරන ලද පැන් කල තුනක් පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් වෙත ගංගාවන් වෙත මුදා හැරීම සඳහා ලබා දී තිබෙන අතර ඒවා ගංගා වලට මුදා හරිද්දී ඒ අවස්ථාව වීඩියෝගත කර එම වීඩියෝ පට තමා වෙත එවන ලෙස ද උපදෙස් දී තිබේ .
එලියන් වයිට් මහතාගේ උපදෙස් මත පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සිය පැන් කළය කළු ගඟටත්, ප්‍රසන්න රණතුංග හා උදය ගම්මන්පිල යන මහත්වරුන් සිය පැන් කල 2 දෙක කැළණි ගඟට ස්ථාන දෙකක දී මුදා හැර ඒවා වීඩියෝගත කර ඒලියන්ත වයිට් මහතා වෙත යවා තිබේ .
පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරියගේ මෙම සිද්ධියට අදාළ වීඩියෝ පටය රූගත කර තිබෙන්නේ ඇයගේ ආරක්ෂක අංශ විසිනි.
එලියන්ත වයිට් මහතා අමාත්‍යවරුන් තිදෙනා විසින් එවන ලද වීඩියෝ පට තුනක් තමන් විසින් පැන් කලයක් මාදු ගඟට දමන වීඩියෝ පටයත් එකට එක්කොට තනි වීඩියෝවක් ලෙස සකසා තිබේ .
ඉන්පසු එලියන්ත වයිට් මහතා යහපත් චේතනාවෙන් යුතුව මෙම කටයුත්ත මාධ්‍ය හරහා ජනතාව වෙත දැනුවත් කිරීම සඳහා එක්තරා මාධ්‍ය ආයතනයකට ලබා දී තිබෙන අතර තාමත් හෙළි නොවූ ආකාරයකට එම වීඩියෝ පටය මව්රට සමාජ මාධ්‍ය ජාලය වෙත ලැබී තිබේ .
ඉන්පසු ඔවුන් එම වීඩියෝ පටය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙන අතර මේ වන විට එම සිද්ධිය සමාජයේ ඇගයීමට ලක් වීමට වඩා උපහාසයට ලක් වී තිබේ .
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා සහයෝගය දුන් ආණ්ඩුවේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් කැබිනට් අමාත්‍ය ධූර බලාපොරොත්තුවෙන් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි .
ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, එස්.බී.දිසානායක, මහින්ද සමරසිංහ යන මන්ත්‍රීවරුන් එම පිරිසට අයත් වේ .
මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයෙකු වූ මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ ආණ්ඩුවේ ජේෂ්ඨයන් වන තමන් විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කිසිදු බාධාවකින් හා ප්‍රශ්න කිරීමකින් තොරව සිය සහයෝගය ලබා දුන් බවත්, තමා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම තුළදී ආණ්ඩුව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන බවත් තමන් ද කැබිනට් මණ්ඩල අමාත්‍යධූරයක් බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීමෙන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වනු ඇති බවට පසුගිය කාලය පුරාම වාර්තා පළ විය.
සම්මත වූ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අනුව කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් 30ට සීමා වී තිබේ .
මේ වන විට කැබිනට් මණ්ඩලයට පත් කර තිබෙන්නේ සාමාජිකයන් 26 දෙනකු පමණක් වන අතර පුරප්පාඩු හතරක් තවමත් ඉතිරිව තිබේ.
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේදී ආණ්ඩුවත් සමග ඡන්දය දුන් සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය නිසා ඇති වී තිබෙන සමගි ජන බලවේගයේ තීන්දු තීරණ ගැනීමේ බලය පිළිබඳව ප්‍රශ්නය මේ වන විට නිරාකරණය වී තිබෙන බව දැනගන්නට තිබේ.
තමා පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් බවත් පක්ෂය හිමිකාරිත්වය තිබෙන්නේ තම ස්වාමි ස්වාමිපුරුෂයාට බැවින් තමාට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂයට නොහැකි බව ඩයනා ගමගේ මහත්මිය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කොට තිබේ.
දැනගන්නට තිබෙන ආකාරයට ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විනය පියවරක් ගැනීම අනුමත කළ ගත යුතු මධ්‍යම කාරක සභාවක් සමගි ජන බලවේගය සතුව තිබෙන බවත් එහි සාමාජිකයන් නම් කර තිබෙන්නේ පක්ෂයේ මහ ලේකම්වරයා වන රංජිත් මද්දුම බණ්ඩාර මහතාය.
රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් නම් කොට තිබෙන සමගි ජන බලවේගය මධ්‍යම කාරක සභාවට අයත් වන සාමාජිකයන් සමන්විත වන්නේ ඔහුගේ පවුලේ කිට්ටුවන්තයින්ගෙන් බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩයනා ගමගේ මහත්මිය කුමන කාරණා කිව්වත් ඇයට එරෙහිව විනය පියවරක් ගැනීමට සමගි ජන බලවේගයට කිසිදු බාධාවක් නොමැති බව එම පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි .
නිරෝධායන ඇඳිරිනීතිය පනවමින් බස්නාහිර පළාතෙන් පිටව යාමට ඇති අවස්ථාව අවම කිරීම සඳහා පොලීසිය ගත් ක්‍රියාමාර්ගය ඇතැම් පිරිස් හේතුවෙන් සීයයට සියයක්ම සාර්ථක කර ගැනීමට නොහැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
කෙසේ වෙතත් ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බස්නාහිර පළාතේ සිට පිටත්ව ගොස් හෝටල් ළැගුම්හල් සහ නවාතැන්පොළවල රැඳි සිටින පිරිස්වල තොරතුරු සෙවීමේ විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාව හැම විටම ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් කිසිවිටෙකත් ලෝක බලවතුන්ගේ බල අරගල වලට මැදිහත් නොවන බව දන්වමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ .
ජනපතිවරයා මෙම සටහන තබා තිබෙන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ හමුවීමෙන් පසුවය.
ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර ද්විපාර්ෂික ශික සම්බන්ධතාවය දියුණු කර ගැනීමට කටයුතු කරන බව ද ජනපතිවරයා වීසින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය සහ නිදහස භුක්තිවිඳිමින් සාර්ථකත්වයට පත්වනු දැකීමත් තිරසාර සංවර්ධනයක් අත්කර ගනු දැකීමත් තම රටේ අපේක්ෂාව බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසයි.
තම සංචාරයේදී දෙරට අතර වෙළෙඳාම සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ද ආරක්ෂක සහයෝගීතා සම්බන්ධයෙන් ද මෙරට බලධාරීන් සමග සාකච්ඡා කළ බව ඔහු පවසයි.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අමතමින් පොම්පියෝ මහතා පැවසුවේ අමෙරිකාව ශ්‍රී ලංකාව තුළ අයෝජන අවස්ථා පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන බවය.
"ප්රජාතන්ත්රවාදය ගරුකරන රටක් ලෙස අපිට තිබෙන්නේ එක හා සමාන දැක්මක්."
චීනයට ඇත්තේ වෙනස් දැක්මක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ශ්‍රී ලංකාව සැම විට නොබැඳි මිත්‍රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය.
‘කොවිඩ්-19’ වයිරසය හේතු කොටගෙන රට වසා දැමීමේ සූදානමක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ ඊයේ (26) පැවැති කැබිනට් රැස්වීමේදීය.
කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන්නේ නම් පමණක් අදාළ ප්‍රදේශවල සංචරණ සීමා ආදිය පැනවීමට සිදුවන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
කොවිඩ් වැළැක්වීමේ ජනාධිපති කාර්යසාධක බලකාය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ද තමා මේ පිළිබඳව සාකච්ඡා කළ බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා රට වසා තැබීමේ අවශ්‍යතාවක් මතුව නැති බව ද ප්‍රකාශ කර ඇත.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂයේ සමගි ජන බලවේගය විසින් සකස් කරන ලද විරෝධතා පාඨ ඇතුළත් මුඛ ආවරණ හා අත් පලදනා ඉල්ලූ කැබිනට් අමාත්‍යවරයෙකු පිළිබඳව සිද්ධියක් පාර්ලිමේන්තුවෙන් වාර්තා වේ.
විපක්ෂය විසින් තමන් සකස් කරන ලද විරෝධතා සටන් පාඨ ඇතුළත් ආවරණ හා අත් ආවරණ පැළඳ සිටි අවස්ථාවේ එතැනට පැමිණි රාජපක්ෂවරුන්ට ඉතාමත් සමීප කැබිනට් අමාත්‍යවරයෙකු "ඕක ඔබතුමන් පමණක් දාන්න එපා. අපටත් ඕක දාන්න දෙන්න. අපිත් ඔතන ඉන්නවා." යැයි ප්‍රකාශ කළ බව දැනගන්නට තිබේ.
එහෙත් ඡන්දය විමසන අවස්ථාවේ 20 වෙනි සංශෝධනයට පක්ෂව මෙම ඇමතිවරයා ඡන්දය දී තිබෙන බවද වාර්තා වේ.
මෙම සිද්ධිය ඒෂියන් මිරර් වෙත සඳහන් කළේ සමඟි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා විසිනි.
මෙම සිද්ධියට අදාළ අමාත්‍යවරයා කවුරුන්ද යන්න හෙළිදරව් කිරීම තිස්ස අත්තනායක මහතා ප්‍රතික්ෂේප කරන ලද්දේ අදාල අමාත්‍යවරයාගේ අමාත්‍ය ධුරයට යම් බලපෑමක් එල්ල වේ යැයි යන හේතුව නිසාය.
දනගන්නට තිබෙන ආකාරයට අදාල අමාත්‍යවරයා ඇල්වතුරත් නිවා දීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන තැනැත්තෙකි.
තිස්ස අත්තනායක මහතා මෙම හෙළිදරව් කලේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදීය.