March 28, 2024
Main

Main (651)

ඩුබායිහිදී අත්අඩංගුවට ගත්  පාතාල නායක  මාකදුරේ මධුෂ්  සමඟ  සිටි පිරිසෙන් පුද්ගලයින් අට දෙනකු මේ වන විට නිදහස් කර ඇතැයි  පොලිස් ආරංච් මාර්ග පවසයි.
 
 ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු   එරට  පොලීසිය විසින් ඔවුන්  සියලු  දෙනා රුධිර පරීක්ෂාවකට යොමු කර තිබු අතර එහිදී මත්ද්‍රව්‍ය ශරීර ගත වී නොමැති බවට තහවුරු වු පුද්ගලයින් 08 දෙනකු මෙලෙස නිදහස් කර ඇති  බව එම ආරංචි මාර්ග පවසයි.
 
එසේම ඉදිරි දින දෙක ඇතුළතදී  සියලුම පිරිස පරීක්ෂාවට ලක් කිරීම් අවසන් වනු ඇතැයිද  රුධිර පරික්ෂාවේ කිසිදු වෙනසක් නොවේ නමි ඔවුන් නිදහස් වනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
 
නිදහස් කෙරුණු පිරිස අතර කාන්තාවන් කිහිප දෙනකු සිටින බවද එම ආරංචි මාර්ග පවසයි.

ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ යෝජනාව අද(07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත. 

පක්ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඊයේ ( 06) රාත‍්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.

ජාතික ආණ්ඩුවක් පිහිටුවිම සඳහා වු යෝජනාව අද දිනයේ  විවාදයට ගැනිමට ඊයේ පස්වරුවේ රැස්වූ පක්ෂ නායක රැස්විමේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යෝජනා කර තිබුනි.

ඒ අනුව එම යෝජනාව  අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ද  ඇතුළත් කර තිබිණි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සියලු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබුණේ අද පාර්ලිමේන්තුවට පැමිණ යෝජනාවට පක්ෂව අනිවාර්යෙන්ම ජන්දය භාවිතා කරන ලෙසයි.

කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුව ඇරඹු අවස්ථාවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාවට දැනුම් දුන්නේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වන යෝජනාව මීලඟ සැසියට යොමුකරන්නැයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන් බවය

 

 

 

 

ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇමති, රාජ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමති තනතුරු සංඛ්‍යාව වැඩි කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබේ.

ඊයේ පස්වරුවේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී මේ බව ප්‍රකාශයට පත්වූ බව  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය

ඔහු වැඩිදුරත් පැවසුවේ විපක්ෂයේ විරෝධය නොතකා ජාතික ආණ්ඩුව යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා බවය.

ජාතික ආණ්ඩුවක් බිහි කර අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට යෝජනාවක් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයා වෙත භාර දුන්නේ පසුගිය පළමුවැනිදා ය.

 

 

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ මිනීමැරුම් රැසකට සම්බන්ධ නමගිය පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් තවත් පාතාල සාමාජිකයින් පිරිසක් සමග ඊයේ (05) අලුයම ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණා.


ඒ, එරට තරු 6  හෝටලයකදී මාකඳුරේ මදූෂ්ගේ දෙවැනි බිරිදගේ  පුත්‍රයාගේ උපන් දින සාදය සමරන අතරතුරදීය.


මෙහිදී පුද්ගලයින් 25 දෙනෙකු  හෙරොයින් සහ කොකේන් මත්ද්‍රව්‍ය සමගින් අත්අඩංගුවට ගැනින.


අත්අඩංගුවට ගැනුනු පිරිස


ඔවුන් අතර සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මදූෂ් , කෙසෙල්වත්තේ දීනුක , අංගොඩ සුද්දා සහ රනාලේ චුට්ටා සහ  කංචිපාන ඉම්රාන් නමැති පාතාල සාමාජිකයින් සිටි බවට හදුනාගෙන තිබේ.

මදුෂ් - එදා, අද


මේ වන විට ඩුබායි රාජ්‍යයේ සිටින මෙරට ආරක්ෂක අංශ සදහන් කලේ මෙම සාදයට  නමගිය පාතාල නායකයින් වන අංගොඩ ලොක්කා සහ කොස්ගොඩ සුජී ද පැමිණීමට නියමිතව තිබු බවය.


ඊට අමතරව ඩුබායි ආරක්ෂක අංශ සදහන් කලේ ජනප්‍රිය සිංහල ගායකයෙකු වන අමල් පෙරේරා  සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා මෙරට ජනප්‍රිය ටෙලි නාට්‍යයක ක්‍රිකට් පුහුණුකරුවකුගේ චරිතය නිරුපණය කල රයන් වැන්ඩස්ට්‍රෝයි ද අත්අඩංගුවට ගත් පිරිසට අයත් බවය.

 

මේ අතර අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට රියලැටි තරගයක් නියෝජනය කල බව කියන ගායකයින් 06 දෙනෙක් ද ඇතුලත් බව සදහන්ය.

 

අද පෙරවරුවේ ඩුබායි කලීජා ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කලේ අත්අඩංගුවට ගනු ලැබු පිරිස අතර රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙක්ද සිටින බවය.


“මමයි, පුතයි ගියේ සිංදු කියන්න”


අත්ඩංගුවට පත්වීමෙන් පසු  අමල් පෙරේරා ප්‍රකාශ කර ඇත්තේ තමන් සිය පුත්‍රයා සමග එම ස්ථානයට පැමිණියේ ගීත ගායනයට බවය.


ඊට තමන්ට ගෙවීමක් කල බවද ඔහු පවසා තිබේ.

 

 

මධූෂ් අත්අඩංගුවට ගැනීමෙන් පසු ෆේස්බුක් රස කතා එකතුව (PHOTOS)

 

ඒකාබද්ධ මෙහෙයුමක්

 


මෙම මෙහෙයුම පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ සෘජු අධිකශ්ණය යටතේ විශේෂ කාර්ය බලකාය සහ ඩුබායි මෙට්‍රො පොලිසිය සමග ඒකාබද්ධව සිදු කෙරිණි.


කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීම හා එහිදී හසුකරගත් දෑ පිලිබඳ මූලික විමර්ශනය එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ නීතිරීති අනුව සිදුවීමට නියමිතය.


එරට නීති අනුව මත්ද්‍රව්‍ය සමග හසුවීම මරණීය දණ්ඩනයට යටත්වන වරදක් වන අතර ඉතා කෙටි කාලයකින් එම තීන්දුව ලබාදීමේ ක්‍රමවේදයක්ද පවතී.


මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර නිල් නිවේදනයක් (Blue Notice) නිකුත් කර තිබු අතර  ජනපති එරට සිටින ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත ඊයේ  දැනුම්දුන්නේ මාකදුරේ මධූෂ්ව වහාම ලංකාවට ගෙන එන ලෙසය.

 

අත්අඩංගුවට ගත් පිරිස මේ වනවිට ඩුබායිහි බන්ධනාගාර සිර මැදිරියක රඳවා ප‍්‍රශ්න කිරීම් සිදුවන බව එහි සිටින  උසස් පොලිස් නිලධාරියෙකු ඒෂියන් මිරර් වෙත සදහන් කළේය.


ඔහු පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ රුධිර සාම්පල ද ලබාගත් බවය .


අත්අඩංගුවට පත්වීමෙන් පසු සියල්ලන් හෝටල් කාමරයක ඉන්දවා ලබා ගත් ජංගම දුරකථන ඡායාරූප කිහිපයක් පහතින්

{gallery}madush:::0:0{/gallery}

2019ට අදාළ අය වැය විසර්ජන පනත් කෙටුම්පත අද (05) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම විසර්ජන පනත් කෙටුම්පතට පසුගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. ඒ අනූව අය වැය යෝජනා ලබන මාර්තු 5 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 2312ක් වන අතර  ආරක්ෂක අමාත්‍යාංශය සඳහා මෙවර වැඩිම මුදලක් වෙන් කර තිබේ. එය රුපියල් කෝටි 39,309ක්.

2019 අයවැය යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම(දෙවන වර කියවීම) මාර්තු මස 05 දින පැවැත්වේ. තුන්වැනි වර කියවීමේ විවාදය මාර්තු13 දින ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත .

2019 ජාතික අයවැයේ අවසන් ඡන්ද විමසීම 2019 අප්‍රේල් මස 04 දින සිදුකිරීමට නියමිතයි. 2019 වර්ෂය සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 17%කට වඩා වැඩි අගයක් දක්වා වර්ධනය කිරීම ප්‍රධාන අපේක්ෂාව වන අතර මෙම අයවැය ප්‍රධාන වශයෙන් කාර්ය සාධනය මත පදනම්වූ අයවැයක් ලෙස ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තු වේ.

යෝජිත ජාතික ආණ්ඩු අදහසට තමන් තරයේ විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා  අද (04) ප්‍රකාශ කළේය.

71 වැනි ජාතික නිදහස් දින උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය

."ආර්ථික සංවර්ධනය ඇති කිරිමට දේශපාලන නායකයින් ලෙස අපට නොහැකි වුණා. තවදුරටත් මන්දගාමී ආර්ථික වර්ධනයකට ජනතාව සූදානම් නෑ. ආර්ථික වර්ධනය සඳහ අධ්‍යාපනය 21 වැනි සියවසට ගැලපෙන ලෙස ස්ථාපිත කළ යුතුයි. නව ආර්ථික සංකල්ප ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි.

ආර්ථික වර්ධනය අතින් 21 වැනි සියවසේදි ආසියාව ඉදිරියෙන් තිබෙන හෙයින් එහි වාසිය ඇති කර ගත යුතුයි. 

ජාතික ආණ්ඩුවෙන් බොහෝ දේ ලබාගත්තා. නොකළ යුතු දේ කළා. බලයට පත්වූ ආණ්ඩුව ජනතා අපේක්ෂාවෙන් ඉටු කළේ නෑ.
ණය බර විරැකියාව වැඩිවෙලා. ප්‍රශ්ණ මුහුකුරා ගොස් තිබෙනවා. අපේ රටේ භාෂා තුනක් කථා කරනව. ඒ සියලු දෙනාම එකම මනුස්සයින්.

යුද්ධයෙන් පසුව වඩා නිදහස්ව ජනතාව කටයුතු කළේ පසුගිය  සිව් වසරේදීයි. අපි සිටින්නේ අලු වලින් වැසුණු ගිනි ගොඩකයි.

එක් මන්ත්‍රීවරයෙක් සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කොතරම් සදාචාරද ? . යෝජිත ජාතික ආණ්ඩුවට මා තරයේ විරුද්ධයි. ඇමති මණ්ඩලය 25 දක්වා සීමා වීම ජනතාවගේ ප්‍රාර්ථනාවයි. ජාතික ආණ්ඩුවකට යන්නේ ඇමති මණ්ඩලය වැඩිකිරීමටයි.‘

බ්‍රිගේඩියර්  ප්‍රියංක ප්‍රනාන්දු මහතාට බ්‍රිතාන්‍යය අධිකරණයක් මගින් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.
 
පසුගිය වසරේ නිදහස් උත්සවය අතරවාරයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයේ නිතර වූ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසකට තර්ජනාත්මක අයුරින් සංඥාවක් නිකුත් කල බවට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබිණි.
 
ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් අධිකරණය හමුවේ පසුගිය ජනවාරි 21 වැනිදා ඔහුට එරෙහිව පවරා තිබූ  නඩු විභාගයේදී  ප්‍රියංක ප්‍රනාන්දු මහතා වරදකරු කරමින් වරෙන්තු නිකුත් කර තිබුණි.
 
කෙසේවෙතත් පසුගිය (02) දිනයේදී එම අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව යලි කැදවා ඇති අතර ඒ  බ්‍රිතාන්‍ය , විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ කාර්යාලය බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ රාජ්‍ය තාන්ත්‍රීක වරප්‍රසාද පිළිබඳව තහවුරු කිරීමෙන් අනතුරුව යැයි ද එම තනාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.
 
කෙසේවෙතත් සියළු නීතිමය කරුණු පැහැදිලි කිරීම සදහා ලබන මාර්තු මස පළමු වැනිදා එම නඩුව යලි කැදවීමට ද තීරණය කර ඇති බවද තානාපති ආරංචි මාර්ග සදහන්  කළේය.
 
මේ අතර මෙම සිද්ධිය පිළිබඳව පසුගිය කාල වකවානුව තුළ රාජ්‍ය  තාන්ත්‍රික මට්ටමින් දැඩි කතාබහක් මතුවූ  අතර ඒ මෙම වරෙන්තු කැදවීම ශ්‍රී ලංකා රජයේ අනුදැනුමකින් තොරව සිදුවීම ගැන විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා මෙරට සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කැඳවා රජයේ ස්ථාවරය දැන්වීමට කටයුතු කළේය.

පසුගිය වසරේ නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවල " මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයට කළු පැල්ලමක් ඇති කරමින්" ඇතිවූ ගැටුම්කාරී තත්වයට සම්බන්ධ මන්ත්‍රීවරු 59 ක් පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතු බව, ඒ සඳහා පත්කළ විමර්ශන කමිටුව කතානායකවරයාට ලබාදුන් වාර්තාවේ සඳහන්වේ.

වාර්තාවෙන් චෝදනා ලත් මන්ත්‍රීවරු කව්ද?

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 54 කගේ,එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 4 දෙනෙකුගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුගේ නම් එම වාර්තාවේ සඳහන් වේ.

මෙම මන්ත්‍රීවරුන් 59 දෙනා අතරින් විවිධ චෝදනා යටතේ මෙම වාර්තාවේ වැඩිම වාරයක් නම සඳහන් වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ගේය.

චෝදනා 12 කට ඔහුගේ නම සඳහන් වී ඇති අතර ඉන් අනතුරුව වැඩිම චෝදනා එල්ල වී තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පද්ම උදයශාන්ත යන මන්ත්‍රීවරුන් දෙදෙනාටය.

කතානායකවරයා පත්කළ කමිටුවේ නිරීක්ෂණ අනුව, පාර්ලිමේන්තුවේ නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවල සිදු වූ කලහකාරී සිදුවීම් සහ ඊට වගකිව යුත්තන් ලෙස කමිටුව හඳුනාගෙන ඇති බවට වාර්තාවන මන්ත්‍රීවරුන් මෙසේය;

නොවැම්බර් 15

  • කතානායකවරයාගේ මයික්‍රෆෝනය කඩා දැමීම - පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම සහ ආනන්ද අලුත්ගමගේ
  • කතානායකවරයාට ජලය ගැසීම, කුණු බාල්දියකින් දමා ගැසීම, පොතකින් දමා ගැසීම - පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ
  • කතානායකවරයාට වතුර බෝතලයකින් දමා ගැසීම - පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ
  • කතානායකවරයාගේ අසුනට ජලය වත්කිරීම - පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර
  • පිහියක් වැනි යමක් අත දැරීම - පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම සහ රන්ජන් රාමනායක

නොවැම්බර් 16

  • කතානායකවරයාගේ පුටුවේ අසුන්ගැනීම - පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු
  • කතානායකවරයාගේ මේසය මත තිබු මයික්‍රෆෝනයකට හානි කිරීම, පුටුවක් පොලිස් නිලධාරීන් දෙසට විසිකිරීම, පොත් විසිකිරීම - පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු
  • පොලිස් නිලධාරීන්ට පහරදීම, ඔවුන්ට යම් දියරයක් දමා ගැසීම - පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර
  • පොලිස් නිලධාරීන් තල්ලුකර රාජකාරියට බාධා කිරීම, පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීම - පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න
  • සෙංකෝලය තබන මේසය පෙරළා දැමීම - පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම සහ රන්ජිත් සොයිසා
  • තමන්ගේ සපත්තුවෙන් යමක් ගෙන වතුර කෝප්පයක් සමග මිශ්‍ර කිරීම, ගාමිණී ජයවික්‍රම පෙරේරා හා විජිත හේරත් යන මන්ත්‍රීවරුන් දෙසට දියරයක් දමා ගැසීම - පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත

මෙම දින තුන තුළදී සිදු වූ දේපළ හානිය, බදු නොමැතිව රුපියල් 325,000ක් ලෙස තක්සේරු දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර ඇති බව ද අදාළ කමිටුව කතානායකවරයා වෙත ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම විභාග කිරීමේ විනිසුරු මඬුල්ලෙන් අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඉවත් වී තිබේ.

ඇය අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරුවරියද වෙයි. පුද්ගලික හේතු සඳහන් කරමින් ඇය එම පෙත්සම් විභාගයෙන් ඉවත් වි තිබේ. 

කොළඹ නාගරික මන්ත්‍රිනි ශර්මිලා ගෝනවල මහත්මිය මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කළේය. එය අද දිනයේදී විභාගයට ගනු ලැබීය.

රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය ඉදිරිපිටදී LTTE ක්‍රියාකාරිකයන් පිරිසකට සංඥා මාර්ගයෙන් මරණ තර්ජන සිදුකළ බවට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව යලි විභාගයට ගැනීමට ලන්ඩන් වෙස්මිනිස්ටර් අධිකරණය තීරණය කර ඇත.

පෙබරවාරි මස 01 වැනිදා සිට මෙම නඩුව විභාග කිරීමට නියමිත අතර බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය සිදුකළ කරුණු දැක්වීමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

බ්‍රිතාන්‍ය ප්‍රියංක ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නැයි කළ නියෝගය ද වෙස්මිනිස්ටර් අධිකරණය අහෝසි කර ඇත.