April 19, 2024

තවත් දරුණු අපරාධකරුවන් 33 දෙනෙකු බූස්සට යවයි - වෙන වෙනම සිරමැදිරිවල රඳවයි Featured

September 27, 2020

බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රැදවියන් 33 දෙනෙකු කඩිනමින් බූස්ස බන්ධනාගාරයට මාරුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර ආරංචි පැවසුවේ මාරු කිරීමට අවශ්‍ය රැදවියන් මේ වනවිට හදුනා ගනිමින් සිටින බවයි.

තවදුරටත් බන්ධනාගාර තුළ සිට විවිධ අපරාධ මෙහෙයවන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන පිරිස් පිළිබද අවධානයෙන් පසු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

බන්ධනාගාර තුළ සිට ජංගම දුරකතන භාවිත කරන රැදවියන් සම්බන්ධයෙන් ද තොරතුරු රැස් කරමින් සිටින අතර බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට හදුනා ගන්නා රැදවියන් එහි වෙන වෙනම සිරමැදිරිවල රඳවා තැබීමටයි තීරණය කර ඇත.

මේ වනවිටත් බූස්ස බන්ධනාගාරයේ සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රැදවියන් 46 දෙනෙකු මෙලෙස වෙන වෙනම රඳවා සිටියි.

වාරියපොල බන්ධනාගාරයේ සිටි ‘‘අඩා’’ නමින් හදුන්වන රැදවියාද මීට  දින කිහිපයකට පෙර බූස්ස බන්ධනාගාරයට මාරු කෙරිණි. ඒ, ඔහු එම බන්ධනාගාරයේ සිට විවිධ නීතිවිරෝධී කි‍්‍රයාවන් සිදුකරන බවට ලැබුණු තොරතුරු මතයි.

Last modified on Sunday, 27 September 2020 10:08