October 20, 2020

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරුණු දක්වමින් "හෙළ බොදු සවිය" සංවිධානයේ ප්‍රධාන අනුශාසක ඕමල්පේ සෝභිත නාහිමි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.

ගැසට් කර ප්‍රකාශයට පත් කර ඇති 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එළඹෙන 21වනදා  පාර්ලිමේන්තු විවාදයට යොමු කිරීමට නියමිතව තිබුණද ඒ සම්බන්ධයෙන් රටේ ශාසනික හා සමාජ මෙහෙවරේ විවිධාකාරයෙන් කැපවී සිටින භික්ෂුන් වහන්සේලාගේ අප්‍රසාදය මේවන විටත් පළ වී තිබෙන බවද උන්වහන්සේ එම ලිපියේ සඳහන් කරති.

මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදි ජනනායකයා වශයෙන් එකී අදහස් පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුකළ යුතු බවද උන්වහන්සේ එම ලිපියෙන් දන්වා සිටිති.

එම ලිපිය පහතින් දැක්වේ,

20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට රැගෙන නොයන ලෙසත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට මේ අවස්ථාවේ ප්‍රමුඛතාව ලබාදෙන ලෙසත් කතෝලික රදගුරු සම්මේලනය ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරන කතෝලික රදගුරු සම්මේලනය පවසන්නේ, ජනතා පරමාධිපත්‍ය සෑම විටම සුරක්ෂිත විය යුතු අතර 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතු බවයි.

සංවරණයකින් හා තුලනයකින් තොරව එක් පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගතවීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට අහිතකර බව එම සම්මේලනයේ මතයවී තිබේ.

කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හරහා ජනතාවගේ සැබෑ ජනමතය ප්‍රදර්ශනය නොවන බවයි.

සමස්ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් ලෙස රැස්වී නව ව්‍යවස්ථාවක් සකස්කිරීමට දායක විය යුතු බවත් එහිදී විවිධ අර්ථ කතන සිදුකිරීමට නොහැකි ආකාරයෙන් අඩුපාඩු සකස් කළ යුතු බවත් රදගුරු සම්මේලය නිකුත්කල නිවේදනයේ සඳහන් ය.

කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති , බදුල්ල රදගුරු අතිඋතුම් වින්ස්ටන් ප්‍රනාන්දු හිමිපානන් සහ මහලේකම් කොළඹ සහායක රදගුරු අතිඋතුම් ඇන්තනී ජයකොඩි හිමිපාණන්ගේ අත්සනින් මේ නිවේදනය නිකුත්කර තිබේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව අදහස් දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍ය වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

යෝජිත 20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල වැඩි කර තිබීම නුසුදුසු බවත් ජනාධිපතිවරයා හා පාලිමේන්තුව අතර බල තුලනයක් තිබිය යුතු බවද ලිපියේ සඳහන්ව තිබෙන බව දැනගන්නට තිබේ.

ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවශ්‍ය නම් ඔහුට ඔහු පුරවැසිකම දරන අන් රටේ පුරවැසිභාවය අහෝසි කොට ඒ සඳහා සුදුසුකම් ලැබිය හැකි බවද එම ලිපියේ සඳහන් කර තිබෙන බවද වාර්තා වේ.

මීට ටික දිනකට පෙර පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින්ද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණි.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ දී සංශෝධන කිහිපයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීම ආරම්භ වූ අවස්ථාවේ දී නීතිපති දප්පුල ද ලිවේරා මහතා මෙම දැනුම්දීම සිදු කර තිබේ.

මෙහි දී නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියේ, කාරක සභා අවස්ථාවේ දී සිදුකිරීමට නියමිත සංශෝධන අඩංගු ලේඛනයක් මෝසමක් මාර්ගයෙන් දැනටමත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවය.

අධිකරණය හමුවේ ගොනුකර තිබෙන අදාළ සංශෝධනය අඩංගු ලේඛනය තමන් වෙතට ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව අදාළ සංශෝධන අඩංගු ලේඛනවල පිටපත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් වෙත ද ලබාදීමට පියවර ගන්නා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ,  සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය මේ වන විටත් පැවැත් වේ.

විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු පෙත්සම් සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණි ලොකුගේ, මහාචාර්ය ජී.එල්.පීරිස්, නීතිඥ සාගර කාරියවසම්, පූජ්‍ය ඕමාරේ කස්සප, ඒම්.දයාරත්න, ඩබ්ලිව්.ඒ. ඩී.වීරතිලක, පී.ජී.බී.අබේරත්න යන අය විසින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර ඇත.

සමගි තරුණ බලවේගය නියෝජනය කරන රසික ජයකොඩි සහ නාගරික මන්ත්‍රීනි නීතිඥ ලිහිණි ප්‍රනාන්දු යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද ගොනු කළහ.

යෝජිත සංශෝධනයේ ඇතුළත් කරුණු ගණනාවක් මගින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 සහ 04 වගන්ති උල්ලංඝණය කෙරෙන බවට ඔවුන් සිය පෙත්සම් හරහා අධිකරණයට කරුණු ඉදිරිපත් කොට තිබේ.

සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකාණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර ඊයේ දවස තුළ පමණක් පාර්ශව 6ක් 20වැනි සංශෝධනයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කොට තිබිණි.

මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හමුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු බහුතරයක් දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අග්‍රාමාත්‍ය බලතල ඉවත් කරනවාද? එසේත් නැත්නම් අග්‍රාමාත්‍යවරයාට ද සැලකිය යුතු බලතල ප්‍රමාණයක් ලැබෙන අයුරින් ඊට සංශෝධන එකතු කර මෙම පනත් කෙටුම්පත සම්මත කරනවාද? යන මත දෙකෙහි එම මන්ත්‍රීවරුන් පිරිස හිරවී සිටියි.

20 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලබන්නේ දැනට තිබෙන 19 වන ආණ්ඩුකම ව්‍යවස්ථාව අහෝසි කිරීමේ තාවකාලික පදනමකින් බවත් ඉදිරියේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා බවටත් ආණ්ඩුවේ ප්‍රධානින් පැවසුවද නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට වසරකට වැඩි කාලයක් ගතවනු ඇති බව වාර්තා වේ.

20 ගෙන ඒමේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි වී 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බල ගැන්වෙන අතර ඉන් 19න් අග්‍රාමාත්‍යවරයාට හිමි වූ බලතල රැසක් ජනාධිපතිවරයා යටතට පත් වේ.

මේ නිසා විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී ජනපති හා අගමැති අතර බල තුලනයක් තිබිය යුතු බව එම මන්ත්‍රීවරුන්ගේ අදහස වේ.

අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ඉතා කෙටි කලකින් සම්මත කර ගැනීමෙන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් අනිවාර්යයෙන්ම සිදු වන බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

20 වන සංශෝධනයෙන් කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාවේ සීමාව ඉවත් වන බැවින් එය ප්‍රයෝජනයට ගෙන කලකිරීමෙන් සිටින ජේෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුටත් සුළු ජාතික හා සුළු පක්ෂ නියෝජිතයන් නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට හා රාජ්‍ය අමාත්‍ය ධුර දරන කිහිපදෙනෙකුටත් කැබිනට් අමාත්‍ය ධුර ලබා දීම ආණ්ඩුවේ අරමුණ වී තිබේ.

ඒ අතරම වත්මන් කැබිනට් මණ්ඩලයේ සිටින එක් අයෙකුගේ හෝ දෙදෙනෙකුගේ විෂයන් සංශෝධනය කිරීමට ද ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටියි.

එසේ වෙනසක් සිදු වන අමාත්‍ය ධුර අතර වයෝවෘද්ධ සාමාජිකයෙකු අමාත්‍ය ධුරයක් දරන විෂය පථයක් ද ඇතුලත් බව දැනගන්නට තිබේ.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව සොයා බලා ඊට එක්කළ යුතු නව යෝජනා හා සංශෝධන ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කළ මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒ සම්බන්ධයෙන් වූ සිය නිර්දේශයන් ඉදිරිපත් කොට තිබේ.

විගණන කොමිසම අහෝසි නොකිරීම, ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපතිධුරය හැර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පත් වීමට ඉඩකඩ සැලැස්වීම, ජනාධිපතිට එරෙහිව පුරවැසියෙකුට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබීම, අමාත්‍ය මණ්ඩල සීමාව පවත්වාගෙන යාම, ඒකීයභාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වූ ප්‍රතිඥාව එලෙසම තබා ගැනීම, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ගණන 5 දක්වා වැඩි කිරීම, ජනපති හා අගමැති කාර්යාල විගණනයට ලක් කිරීම යන නිර්දේශයන් එහි තිබෙන බව දැනගන්නට තිබේ.

මෙම නිර්දේශයන් යළිත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු නැති බව ජනපතිවරයා විසින් අදාළ කමිටුවට දන්වා ඇති අතර ඒවා විසි වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවන්හිදී ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ කමිටු වාර්තාව අද (16) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය දා අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කළේ ය.

ඊට පාර්ලිමේන්තුව නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව දෙනෙකු ද ඇතුළත් වේ.

එම කමිටුව පසුගිය 14 වනදා රැස්වූ අතර එහිදී ගනු ලැබූ නිගමන ඇතුළත් වාර්තාව ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දී තිබුණි.

ඒ අනුව අදාළ නිගමනයන් අද රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කර ගැනීමට හැකි බවත්, නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඊයේ (2) දන්වා තිබේ.

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව සිය මතය ඉදිරිපත් කරමින් නීතිපතිවරයා ඒ බව දැන්වූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

සිය මතය ප්‍රකාශ කරමින් නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ විසිවන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව යටතේ දැක්වෙන ජනමත විචාරණයකට අදාළ කරුණු කිසිවක් ඉදිරිපත් නොවන බවයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (5) අනු ව්‍යවස්ථාව ප්‍රකාරව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 2/3 ක ඡන්දයකින් සම්මත කර ගැනීමට හැකි බව ද නීතිපතිවරයා සිය මත ප්‍රකාශයෙන් දන්වා ඇත.