October 20, 2020

මංතීරු නීතිය කඩ කරන්නන්ට එරෙහිව අද සිට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස් රථ වාහන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පවසයි. 

එමෙන්ම, මංතීරු නීතිය ක්‍රියාත්මක වන මාර්ගවල තදබදය අඩු කිරීමේ අරමුණින් සංඥා ලාම්පු හෙවත් ට්‍රැෆික් ලයිට් පිළිබඳ සමීක්ෂණයක් ද අද සිදුකරන බව ඔහු පැවසීය.

පසුගිය 14 වනදා සිට යළි ආරම්භ කළ මංතීරු නීතිය පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වාත්, පස්වරු 4 සිට රාත්‍රි 8 දක්වාත්, කොළඹ සහ තදාසන්න ප්‍රධාන මාර්ග 4 ක් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වේ.

ආරම්භක සති දෙක තුළ මංතීරු නීතිය පිළිබඳ රියදුරන්ට අවශ්‍ය දැනුවත් කිරීම් හා අවබෝධය ලබාදීම සිදුකරනු ලැබුවේ එම නීතිය උල්ලංඝනය කරන්නන්ට දඩ පත්‍රිකා නිකුත් කිරීමකින් තොරවයි.

මංතීරු නීතිය අද (21) දිනයේ සිට දැඩිව ක්‍රියාත්මක වුවද නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දඩ නියම කිරීමක් හෝ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කිරීමක් සිදුනොකරන බව නාගරික රථ වාහන කොට්ඨාසය පවසයි.

කෙසේ වෙතත් මංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරන් කැඳවා දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව එම කොට්ඨාසය පැවසීය.

කොළඹ සහ අවට මාර්ගවල රථ වාහන තදබදය අඩු කිරීමේ වැඩපිළිවෙළක් ලෙස හඳුන්වා දුන් මංතීරු නීතිය පසුගිය සතිය පුරා පෙරහුරු වැඩසටනක් ලෙස ක්‍රියාත්මක කෙරුණි.

උදෑසන 6 සිට උදෑසන 9 දක්වාත් පස්වරු 4 සිට රාත්‍රි 8 දක්වාත් හයිලෙවල් මාර්ගය, නුවර පාර, ගාලු පාර සහ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය යන මාර්ගවල මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

මංතීරු නීති පිළිබඳ දැනුවත් කෙරෙන පුවරු මාර්ගවල ප‍්‍රදර්ශනය කළ පොලිස් කාන්තාවන් එම රාජකාරියෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් වෙත ඊට අදාළ උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

මේ අතර, කොළඹට ඇතුළු වන සියලු ත‍්‍රීරෝද රථ සහ යතුරුපැදි, මාර්ගයේ වම්පස තීරුවේ පමණක් ධාවනය කිරීමේ පෙරහුරුවක් අද පැවැත්වේ.