October 20, 2020

පොල් සංවර්ධන මණ්ඩලය සමග එක්ව ජංගම අලෙවි රථ මගින් පොල් ගෙඩිය රුපියල් 70.00කට අද (18) සිට අලෙවි කරන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

 ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (17) හෝමාගමදීය.

අයහපත් කාලගුණය හේතුවෙන් පොල් නිෂ්පාදන විශාල ලෙස පහත වැටී ඇතැයි කී ඇමැතිවරයා ඒ හේතුවෙන් පොල් මිල තරමක් ඉහළ ගොස් ඇති බව කියයි.

‘රටේ බඩුමිල අඩු කරන්න ප්‍රාතිහාර්ය විසඳුම් නැහැ. වෙළෙඳ ඇමැතිවරයාත් ලෝකේ එක සත්වයෙක් පමණයි. මුළු ලෝකෙම වරායවල් වහනකොට ගුවන්තොටුපොළවල් වහනකොට ලංකාවේ බඩුමිල ඉහළ යනවා. බඩු මිල ඉහළ යනවා කියලා අනිත් රටවල්වල ගුවන්තොටුපොළවල් වරායවල් අරින්න ලංකාවේ වෙළෙඳ ඇමැතිට බැහැ.’ යැයි බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කරුණු දක්වා සිටියේය.

මේවන විට ජනතාවට එලොව පොල් පෙනී ඇත. ඒ සීඝ්‍රයෙන් වෙළෙඳපොලේ පොල් මිල ඉහලයාම හේතුවෙනි. ඉතා කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක වෙළෙඳපොල මිල රුපියල් 80ට වැඩි මිලකට අලෙවි වේ. ව්‍යාපාරිකයින් පවසන්නේ පොල් ඵලදාව අඩුවීමෙන් වෙළෙඳ පොලට ලැබෙන පොල් ප්‍රමාණය අඩුවීමෙන් පොල් මිල ඉහල ගොස් ඇති බවයි.

මහ බැංකු වාර්තා අනුව සියයට 18කට ආසන්න ප්‍රතිශතයකින් පොල් ඵලදාව පහත වැටී ඇති අතර මෙලෙස පොල් පලදාව පහත වැටීමට හේතු කිහිපයක්ම බලපා ඇත. ඉන් එකක් වන්නේ වගා හානිවීම්ය. ඊට ප්‍රධාන වශයෙන් කෘමි උවදුර බලපා තිබේ. තවද වන අලින්, වදුරන් සහ දඩු ලේනුන් කරන වගා හානිය. එහෙත් මෙලෙස වෙළෙඳපොළට එන පොල් ඵලදාව අඩු වීමට මිනිසාගේ සෘජු මැදිහත්වීමෙන් සිදුකළ කටයුත්තක් ද බලපා ඇත. එනම් පොල් ඉඩම් කට්ටි කිරීම හෝ සම්පූර්ණයෙන් වගා රහිත තත්ත්වයකට පත් කිරීමය.

මිනිසාගේ කප්රුක ලෙස හඳුන්වන පොල් වගාවෙන් වසරකට සාමාන්‍යයෙන් හොඳ ඵලදාවක් ඇති ගසකින් ගෙඩි සියයක් පමණ ලබාගත හැකිය. අක්කරයක තිබිය යුතු පොල් ගස් ගණන 70කි. අක්කරයක ඉඩමකින් පොල් වගා සහිත බිම් කට්ටි කර විකිණීම මගින් වසරකට පොල් ගෙඩි 70000ක් පමණ මේ අනුව අහිමි වෙයි. පොල් කර්මාන්තකරුවන්ගේ සංවිධානය පවසන්නේ වසරකට පොල් ඉඩම් අක්කර 10000ක් පමණ කට්ටි කර විකුණන බවයි. එවිට දළ වශයෙන් අපට අහිමි වන ගෙඩි ගණන 7000,0000කි.

කෙසේ වෙතත් 2010 වසරේදී එවකට රජය විසින් පොල් ගස් කැපීම තහනම් කිරීමේ නීතියක් හඳුන්වා දුන්නේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ ලිඛිත අවසරයක් නොමැතිව පොල් ගස් කැපීම දඬුවම් ලැබිය හැකි වරදක් බව සඳහන් කරමිනි. එහෙත් 2010 වසරේ පැනවූ එම නීතිය කවුරුත් ගණනකට නොගත් බවක් පෙනෙන්නට නැත. ඒ තවමත් පොල් ඉඩම් කට්ටිකර විකිණීම හිතුමතේට සිදුවන බැවිනි. වසරින් වසර පොල් ඉඩම් කට්ටි කර විකිණීම 2010 වසරේදී 4000ත් 5000ත් වූ අතර මේ වනවිට අක්කර 10000ක් තරම් ප්‍රමාණයට ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් අනුමැතියකින් තොරව කැබලි කිරීමට අවසර ලබා දෙන අක්කර 10ක පොල් ඉඩම් උපරිම සීමාව අක්කර 5ක් දක්වා අඩු කිරීමට රජය පියවර ගෙන ඇත. පොල් ඉඩම් කැබලි කිරීම විශාල වශයෙන් සිදුවන බැවින් එම ඉඩම් කැබලි කිරීම පාලනය කිරීමේ අරමුණින් රජය විසින් මෙම පියවර ගෙන ඇත.

පොල් ඉඩම් කට්ටි කිරීමට අමතරව පොල් වගාවට දැඩි ලෙස හානි වන්නේ වන අලි, දඩු ලේනා, වදුරන්ගෙනි. මෙලෙස සතුන්ගෙන් වගාවට වන හානියේ බරපතලකම වන්නේ මෑතකදී එක් දිනකදී විශාල පොල් ඉඩමක පීදෙමින් තිබූ පොල් ගස් 1000ක් වන අලින් විසින් විනාශ කිරීමය. දඩු ලේනුන් සහ වදුරන් පොල් ගෙඩිවලට සිදුකරන හානිය විශාලය. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ කැලෑ කැපීම තුලින් එම වන සතුන් ගම් වැදීම සහ වගා ඉඩම්වලට පැමිණීමත් නිසාය. 

අද වන විට දඔුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පොල් ගෙඩියක මිල රුපියල් 70ත් 100ත් අතර මිලකට අලෙවි වේ. මීගොඩ ආර්ථීක මධ්‍යස්ථානයේ පොල් ගෙඩියෙක මිල 50ත් 100ත් අතර වේ.

මෙරට වසරක ඒක පුද්ගල පොල් පරිභෝගනය පොල් ගෙඩි 109ක් පමණ වේ. එක් වසරකට පොල් ගෙඩි මිලියන 2000ක සංඛ්‍යාවක් අවශ්‍ය වේ. නමුත් මේ වනවිට වෙළෙඳපොළට අවශ්‍ය විදිහට පොල් ප්‍රමාණය ලබා දීමට නොහැකි වී තිබේ. මෙලෙස පොල් ඉඩම් කට්ටි කර විකිණීම හේතුවෙන් වෙන පොල් ගස්වල විනාශය නිසා වසරකට පොල් ගෙඩි 1000ක පමණ හිඟයක් මතුවී තිබේ. මේ වනවිට පොල් ඉඩම් හෙක්ටයාර් 21616 පමණ රටට අහිමි වී ඇතැයි වාර්තාවල දැක්වේ.

පොල් ඉඩම් කට්ටි කිරීමට අවශ්‍ය නීති රෙගුලාසි පැනවීම, පොල් වගාවට දැඩිව හානි සිදුකරන සතුන්ගෙන් එම වගාව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සැකසීම, කෘමි උවදුර මැඩලීමට අවශ්‍ය සහය පොල් වගා කරුවන්ට ලබා දීමට බලධාරීන් ක්‍රියා කිරීම වැනි පොල් ඵලදාව ඉහල නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගතහොත් අනාගතයේදී මෙරටට අවශ්‍ය පොල් ඉල්ලුම සපුරා ගත හැකිය.

මෙරට තුළ අලෙවි කරන බොහෝ පොල්තෙල්වල තත්ත්වය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා මහජන පරීක්‍ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එබැවින් අලෙවි ස්ථාන එක්දහස් හයසියයකින් ලබාගත් පොල්තෙල් සාම්පල්වල තත්ත්වය පරීක්‍ෂා කිරීමට පියවර ගත් බවද එම සංගමයේ ලේකම්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේය.

පසුගිය දිනවල සිදුකළ වැටලීම්වලට අනුව පොල්තෙල් සිඳීම සිදුකරන ස්ථානවල තිබූ ප්‍රමිතියෙන් තොර කොප්පරා හා පොල්තෙල්වලට විවිධ ද්‍රව්‍ය කවලම් වී තිබීම යන කරුණු මත ව්‍යාපාරිකයන් හැටදෙකකට මේ වනවිට නඩු පවරා තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

පොල්තෙල් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් බවට පත්ව තිබෙන බවත්, මේ නිසා අලෙවි කිරීමට තබා තිබෙන පොල්තෙල්වල තත්ත්වය පිළිබඳ අඛණ්ඩව සොයා බලන බවත් ලේකම්වරයා පැවසීය.

විවිධ රටවල නිෂ්පාදනය කරන තත්ත්වයෙන් බාල ෆාම් ඔයිල් මෙරටට ගෙනැවිත් පොල්තෙල්වලට කලවම් කර, පිරිසුදු පොල්තෙල් යැයි පවසා අලෙවි කිරීම සිදුවන බවට තහවුරු වී තිබෙන බවද ‍ඒ මහතා පවසා සිටියේය.

මීට අමතරව තත්ත්වයෙන් බාල පොල්තෙල්වල තත්ත්වය උසස්කිරීම සඳහා ඩයි වර්ග කලවම් කිරීම පිළිබඳ වාර්තා වන බවත්, දැනට ලබාගෙන තිබෙන සාම්පල්වල තත්ත්වය පිළිබඳ වාර්තා ලැබුණු පසු අදාළ සාම්පල් ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වී තිබුණොත් ආහාර පනතට අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ලේකම්වරයා සඳහන් කළේය.

පොල්තෙල් මිලදී ගැනීමේදී එයට ආවේණික සුවඳ පිළිබඳ ජනතාව අවධානය යොමුකළ යුතු බවත්, මීට අමතරව පොල්තෙල් රන්වන් පැහැ ගත යුතු බවත් හෙතෙම පැවසීය.

තද කහ පැහැයෙන් යුතු පොල්තෙල් ඇත්නම්, ඒ පිළිබඳ ජනතාව අවධානය යොමුකළ යුතු බවද ඔහු පවසා සිටියේය.

ප්‍රමිතියෙන් තොර පොල්තෙල් අලෙවි කරන ස්ථාන පිළිබඳ තොරතුරු 011-2635675 දරන දුරකථන අංකයට ලබාදිය හැකි බවද මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසීය.