October 31, 2020

රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා පාස්කු ඉරු දින ත්‍රස්තවාදී සිද්ධියට ඍජුවම සම්බන්ධයක් නොමැති බැවින් ඔහුව නිදහස් කළ බව නීතිය හා සාමය කටයුතු පිළිබඳ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

රියාජ් බදියුදීන් නිදහස් කළා යැයි සඳහන් කළාට සිදුව තිබෙන්නේ ඔහුව මුදා හැරීමක් පමණක් බව ද ඒ පිළිබඳ විමර්ශන තවදුරටත් සිදු කරන බවද අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ඒ අනුව ඉදිරියේදී මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබෙන බවද රාජපක්ෂ මහතා සඳහන් කරන ලදී.

රියාජ් බදියුදීන් මහතා මානව හිමිකම් නඩුවක් පැවරූ වේ නම් මේ වන විටත් ඔහු ඇප ලබා ගෙන තිබෙන බවද ඇමැතිවරයා පෙන්වා දෙන ලදී.

කෙසේ වෙතත් රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පත්කර තිබෙන නව නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ විමර්ශන සිදුකරන බවද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන ලදී.

චමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෛත්‍රීපාල සිරිසේන මහතා අද දින (05) පාස්කු කොමිසමට සාක්ෂි දීම සඳහා පැමිණියේ පළමු වතාවටයි. ඒ අද දින (05) පැමිණෙන ලෙස පසුගිය සැප්තැම්බර් 22 වනදා ඔහුට කළ දැනුම් දීමට අනූවයි.

කෙසේ වෙතත් ඒ මහතා, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සාක්ෂි දෙනවිට ඊට සවන්දීම සඳහා මීට පෙර වාර කිහිපයක් පාස්කු කොමිසට පැමිණියේය.

මේ අතර, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දීම සඳහා හෙට (06) දින පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමට පැමිණීමට නියමිතය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව වනවිට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් දැඩි මානසීක පීඩනයකට ලක්ව සිටි බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද (24) පැවසීය.

පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ඊයේ තුන්වන දිනටත් සාක්ෂි විමසනු ලැබීය.

එහිදි ඔහු කියා සිටියේ 2018 වර්ෂයේ මුල් භාගය වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉස්ලාම් අන්තවාදය පිළිබඳ පොලීසියට විවෘත පරීක්ෂණ සිදු නොකරන ලෙස උපදෙස් දී තිබුණද, වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතනය, මාවනැල්ල බුදුපිළිම කැඩීම සහ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් පරික්ෂණ කරන්නැයි තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවය.

එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ඒ අනුව ඔබ ජනාධිපතිවරයාගේ නියෝගවලට පිටුපා තිබුණා නොවේද යන්නය.

“ඔව් මම පිටුපෑවා. ඇතිව තිබු තත්ත්වය මත මම ගොඩාක් අසරණ වෙලා හිටියේ. මොකද මම මගේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට කියන්නද, ජනාධිපතිවරයා මෙහෙම උපදෙස් දුන්නා කියලා. ඒ නිසා කිසිම කෙනෙක්ගෙන් උපදෙස් ගන්නත් බැහැ. සාකච්ඡා කරන්නත් බැරි තරමට මම අසරණ වෙලා හිටියේ " යනුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පිළිතුරු ලබාදුනි.

එහිදී පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළේය.

“පොලිස් මලල ක්‍රීඩා උත්සවයක් තිබ්බා. ඒකට පොලිස් නිලධාරින් 6000ක්, 7000ක් සහභාගී වෙනවා.  මම ඒකට සහභාගිවෙන්න කියලා එවකට ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කළා, මට බැහැ. මට බණ්ඩාරවෙල යන්න තියෙනවා. ලේකම්තුමා එක්ක කථාකරගන්න කිව්වා“ යනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.  

“පස්සේ මම ආරක්ෂක ලේකම්තුමාට කථා කළා. එතුමාත් මුලදි අදිමදි කරලා අන්තිමට උත්සවයට ආවේ පරක්කු වෙලා. පස්සේ එදා උත්සවය දවසේ ආරක්ෂක ලේකම්තුමාට Call එකක් ආවා. එතුමා මට කිව්වා ජනාධිපතිතුමා දැන් කථාකරයි කියලා. පස්සේ මටත් Call එකක් ආවා, තමුසේ කාගෙන් අහලද ඕවා කරන්නේ, තමුසේ කොහොමද ඔච්වර නිලධාරින් ගෙනල්ලා ඕවා කරන්නේ, ඔය මොකක්ද කියලා ජනාධිපතිතුමා මගෙන් ඇහුවා. මම කිව්වා සර් පොලිස් මලල ක්‍රීඩා උළෙල කියලා.“

"තමුසේ කාත් එක්කද, ඕවා තියන්නේ " කියලා ඇහුවා. සර් මම ලේකම්තුමාට කිව්වා කියලා පිළිතුරු දුන්නා.“කොහොමද ලේකම් ගේන්නේ ? ඇයි තමුසේ දන්නේ නැද්ද මට කියන්න ඕනේ කියලා යැයි ගොඩාක්  කේන්තියෙන් මගෙන් ප්‍රශ්න කළා.

මම “සමාවෙන්න සර්, මම සර්ට ආරාධනා කළානේ, සර් බැහැයි කියපු නිසානේ පරක්කුවෙලා හරි ආරක්ෂක ලේකම්තුමාව ගෙන්නගත්තේ කියලා බොහොම හෙමින් පිළිතුරු දුන්නා. කෙහෙල් මල කොහෙද මට කිව්වේ, මම බලාගන්නම්කෝ ලේකම්තුමා එක්ක, තමුසේ කරගන්නවාකෝ ඕවා කියලා ජනාධිපතිතුමා ෆෝන් එක කට් කළා“ යැයි පූජිත් ජයසුන්දර මහතා සාක්ෂි ලබාදුනි.

ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂිදෙමින් කියා සිටියේය. 

"මෙවැනි සිදුවීම් නිසා මම පුදුමාකාර මානසික පීඩනයකින් ස්වාමිනි හිටියේ, මට කාටවත් කියාගන්න විදිහක් තිබුණේ නැහැ. පාස්කු ප්‍රහාරය එල්ල වෙලා ජනාධිපතිවරයා මේකට වගකියන්න ඕනේ පොලිස්පතියි, ආරක්ෂක ලේකම් කියද්දි, එක දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙද්දිත් මම මාධ්‍යයට මුකුත් කිව්වේ නැහැ. අඩුම තරමේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලවාවත් මම මුකුත් කිව්වේ නැහැ. මොකද ඔහු රටේ විධායක ජනාධිපතිවරයා වගේම මගේ අමාත්‍යංශය භාර අමාත්‍යවරයා නිසා. විනයානුකූල නිලධාරියෙක් ලෙස මම කිසිම ප්‍රකාශයක් කළේ නැහැ. පළමු පාරට කතා කළේ පාර්ලිමේන්තු තේරිම්කාරක සභාවේදි, එත් අවසරය ඇතුව " යැයි පැවසූ හිටපු පොලිස්පතිවරයා ජනාධිපති කොමිසම හමුවේ හැගීම්බර වුණි.

අනතුරුව පූජිත් ජයසුන්දර මහතා මෙලෙස අදහස් පළ කළා.

"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ කොමිසම මේ වෙද්දි යම් කරුණු අනාවරණයක් කරගෙන තිබුණත්, හෙළිදරව් නොවූ බොහෝ කරුණු තියෙනවා මා සතුව කියන්න. මෙච්චර ප්‍රහාරයක් වෙලා මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රටේ ප්‍රධානියා කිව්වේ මොකක්ද..? මම දන්නේ නැහැ, මට කිව්වේ නැහැ, මම වගකියන්නේ නැහැ. වගකියන්න ඕනේ පොලිස්පති, ආරක්ෂක ලේකම් කියලා."

"ඉතිහාසයේ කිසිම අවස්ථාවක බුද්ධි තොරතුරු ගැන පොලිස්පති ජනාධිපති දැනුවත් කිරීමේ සම්ප්‍රදායක් තිබිලා නැහැ. ඊළගට බුද්ධි අංශ මෙතන සාක්ෂි දෙද්දි මම හිටියනේ. එයා කිව්වා රාජ්‍ය බුද්ධි අංශයට නිලධාරින් මදි, පහසුකම් මදි කියලා. නමුත් ආරක්ෂක අමාත්‍යංශයෙන් පුර්ණ පහසුකම්, වරප්‍රසාද ලැබුණේ රාජ්‍ය බුද්ධි අංශයට. අනිත් අයට වඩා පඩි වැඩි වුණෙත් එයාලට. නමුත් එක විෂය ක්ෂේත්‍රයයි ආවරණය කරන්න තිබ්බේ. ආරක්ෂක අමාත්‍යංශය කොයිතරම් නම් රාජ්‍ය බුද්ධි සේවයට රහසිගතව මුදල් දෙනවද ? විගණනයකටවත් ලක්වෙන්නේ නැහැ. කිසිම සීමාවක් නැහැ."  යනුවෙන් ඒ මහතා සාක්ෂිදුනි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමේ වගකීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැහැර හැරිය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට පෙර විදේශගත විමෙන් සිය වගකීම පැහැරහැරි බවය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (25) සාක්ෂි ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කියනේ නිලතලයක් විතරයි, මට ලබා දී තිබුණ ආයතන, ගැසට් එකෙන් වෙනම අමාත්‍යාංශයක් හැටියට තමයි වැඩකටයුතු කළේ. මගේ අමාත්‍යාංශයේ තිබුණේ. මම භාරව හිටියේ රණවිරු අධිකාරිය, ආරක්ෂක පාසල, ආරක්ෂක මාණ්ඩලික විද්‍යාලය,“ බව ඒ මහතා සඳහන් කළේය.

“පොලීසිය, බුද්ධි අංශය, ත්‍රිවිධ හමුදාව යන සියල්ල මගේ යටතේ ආවේ නැහැ, ඉතින් මට කියන්නට බැහැ රටේ ආරක්ෂාව මගේ අතේ, මම දෙවනියා හැටියට හිටියයි කියලා. මේ විෂයන් ගත්විට ආරක්ෂක ඇමතිවරයාට තමයි ඒ විෂයන් සියල්ලම තිබුණේ. ජාතික ආරක්ෂව තිබුණේ එවකට හිටපු ජනාධිපතිතුමාගේ අතේ. එතුමා ඒ අවස්ථාවේ දී විදේශගත වෙලා එතුමාගේ රාජකාරිය හරියට කළේ නැහැ කියලා මම හිතන්නේ,“ යනුවෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජෙවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

බොහෝ නීතිමය කටයුතු වලට මැදිහත් ව සිටින හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තරග කළ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා වීම විශේෂත්වයකි.

ඊයේ (22) දින අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර තිබෙන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූයේ මෛත්‍රී ගුණරත්න මහතා ය.

මෛත්‍රී ගුණරත්න මහතා එක්සත් ජාතික පක්ෂය සමග සිටිද්දි මෙන්ම වර්තමානයේ ද උග්‍ර රාජපක්ෂ විරෝධියකු ලෙස කටයුතු කරන බව ප්‍රකට කරුණකි.

අප්‍රේල් 21 පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර තිබෙන විශේෂ ජනාධිපති කොමිසන් සභාව හමුවේ එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව එල්ල වන චෝදනා මත පොදුජන පෙරමුණු ආණ්ඩුව ද යම් අපහසුතාවයකට පත්ව තිබෙන බව දැනගන්නට තිබේ.

ඒ මෛත්‍රිපාල සිරිසේන මහතා වත්මන් පොදුජන පෙරමුණු රජයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන නිසාය.

මෙම චෝදනා එජාපය කළේ නම් එය දේශපාලන වශයෙන් තිබෙන එදිරිවාදීකම් මත කරන ලද බව අනුමාන කළ හැකි මුත් එම චෝදනා ඔහු විසින් පත් කළ එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා වන හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් කිරීම මත යම් සත්‍යතාවයක් තිබෙන බවට බහුතර ජනතාව තුළ විශ්වාසයක් ගොඩ නැගී ඇති බව ආණ්ඩුවේ ස්ථාවරය වේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා තමාට එල්ල කරන චෝදනා අසත්‍ය බවට හිටපු ජනපතිගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කලද පොදුජන පෙරමුණ හෝ ඔහු නියෝජනය කරන ශ්‍රීලනිපය මේ සම්බන්ධයෙන් කිසිදු නිල නිවේදනයක් නිකුත් නොකිරීමට ප්‍රවේසම් වී තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තම පියා පෙර දැනුවත්ව සිටියේ යැයි මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකළ හිටපු අමත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (16) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසම හමුවේ කාදිනල් හිමියන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ඒ කාදිනල් හිමියන් ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත්ව සිටියේ ද යන්න පිළිබඳ විශේෂ විමර්ශනයක් කළ යුතු බවට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කිරීමත් සමග ය. මෙහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයාට මන්ත්‍රීවරයා හට දැඩි ලෙස අවවාද කිරීමටද සිදුවිය.

පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දුන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබද තම පියා පෙර දැනුවත්ව සිටියේ යැයි මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකළ හිටපු අමත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ය.

එහිදි සාක්ෂිදෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඉකුත් වසරේ පාස්කු ඉරුදින පළමු ප්‍රහාර මාලාව එල්ල වු අවස්ථාවේ තමන් ඇමතූ තම සහෝදරිය " මල්ලි අපි පල්ලි යන්න හිටියේ, කිංස්බරි හෝටලයට යන්න හිටියේ තාත්තා ඊයේ රෑ කතා කරලා කිව්වා යන්න එපා කියලා " යනුවෙන් සඳහන් කළ බවය.

එය එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දුන් පසු කොළඹට පැමිණි තමන් පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තම පියා හමුවී ප්‍රහාරය පිළිබඳ පෙර දැනුවත් වුයේ කෙසේදැයි විමසු විට " තමුසෙට වඩා ගොඩාක් දේවල් මම දන්නවා" යනුවෙන් පමණක් පියා පිළිතුරු දුන් බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු තම පියාට මෙම පෙර දැනුවත්කිරීම සිදු කළේදැයි සැක සහිත බවද මන්ත්‍රීවරයා පැවසුවේ ය.

මෙහිදී කොමිසමට කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කියා සිටියේ, පාස්කු ප්‍රහාරයට පෙර දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් නන්දලාල් නැමත්තකු සමග හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ පියා තත්ත්පර 356 ක දුරකථන සංවාදයක නිරත වී ඇතැයි දුරකථන දත්ත වාර්තා ඔස්සේ අනාවරණය වී තිබෙන බව ය.

වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට සහ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ සමාජික ආමි මොහිදින් නැමැත්තා සොයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පාසිකුඩා ගිය අවස්ථාවට මෙම නන්දලාල් නැමැති සැරයන්වරයා සම්බන්ධ වී ඇති අතර ප්‍රහාරයෙන් පසු ආමි මොහිදින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ දුරකතනයේ  තිබි සොයාගෙන තිබුනේද මෙම නන්දලාල් නැමැත්තාගේ ඡයාරූපයක් බව මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී මන්ත්‍රීවරයා කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසුවේ, කිසිදු අවස්ථාවක තම පියා තමන් අමතා පෞද්ගලිකව පල්ලිවලට යන්න එපා යැයි නොකී අතර ඔහු තම සහෝදරිය අමතා කී දෙය පාස්කු ප්‍රහාරය සිදුවු දින පැවති මාධ්‍ය හමුවක දී තමන් පැවසු බවය.

ඒ අනුව " මගේ පියා දැන් ඉන්නේ රෝහලේ, ඊයේ රෑ මට කතාකරලා කිව්වා මේ පල්ලියට එහෙම යන්න එපා මෙහෙම ආරංචියක් තියෙනවා කියලා. බුද්ධි අංශවල මේ තොරතුරු තිබිලා තියෙනවා. තාත්තා කතාකරලා කිව්වේ කොච්චිකඩේ පල්ලි එහෙම යන්න එපා කියලා. " යනුවෙන් තමන් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය මාධ්‍ය විසින් දේශපාලනිකව තමන්ට මඩ ගැසීමට අවභාවිතා කළ බවට මන්ත්‍රීවරයා චෝදනා කර සිටියේය.

එහිදී කොමිසමේ සිටි අභියාචනාධිකරණ විනිසුරුවරයා විමසා සිටියේ " ඔබ මාධ්‍ය හමුවේ නොකී දෙයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුනේද ?" යන්නය.

තමන් කී දේ පමණක් මාධ්‍ය ප්‍රචාරය කර තිබු බවත් තමන් විනාඩි 45 ක පමණ මාධ්‍ය හමුවක් පැවැත්වුවද මාධ්‍ය ප්‍රචාරය කරන ලද්දේ සිය පියා ප්‍රහාරය ගැන දැනසිටියා යැයි තමන් පැවසු කොටස පමණක් බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.

එවිට කොමිසමේ සමාජික විනිසුරුවරයා කියා සිටියේ, ඔබ විනාඩි 45 ක ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවද මාධ්‍යයට උපුටාගෙන විකාශය කළ හැක්කේ එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ ඇති උණුසුම්ම විනාඩිය නොවේ ද යන්නය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අගරදගුරු හිමිපාණන්  "අපේ මිනිස්සු මැරුණා, ඇමති පුතා බේරුණා. " යනුවෙන් පැවසීම තුළද තමන් විශාල වශයෙන් අපහසුතාවයට පත්වු බව මෙහිදී මන්ත්‍රීවරයා පැවසුවේ ය.

මෙම ප්‍රහාරය පිළිබද බොහෝ පාර්ශව පෙර දැනුවත්ව සිට ඇති බවට කරුණු අනාවරණය වී ඇති පසුබිමක පල්ලිය පමණක් කිසිවක් නොදැන සිටි බව තමන් විශ්වාස නොකරන බව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසුවේ ය.

මෙරට කතෝලික සභාවේ නායකයා සෑම වර්ෂයකම පාස්කු ඉරුදින උදෑසන දිව්‍ය පුජාවක් පවත්වන පසුබිමක, පසුගිය වසරේ පමණක්  කාදිනල් හිමිපාණන් එම දිව්‍ය පුජාව නොපවත්වන ලද්දේ උන්වහන්සේ ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත්ව සිටි නිසාද යන්න පිළිබද විශේෂ විමර්ශනයක් කළ යුතු බව හරින් ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසමට දැන්වීය.

මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයත් සමග නැගි සිටි කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වරයා ප්‍රශ්න කර සිටියේ " අගරදගුරු හිමිපාණන් සෑම වර්ෂයකම පාස්කු දේව මෙහෙය පවත්වන්නේ පාස්කු ඉරුදිනට පෙර සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රීයේ බවත්, පසුගිය වසරේද සිරිත් පරිදි අප්‍රේල් 20 වන දින මධ්‍යම රාත්‍රීයේ කාදිනල් හිමිපාණන් කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ එම දිව්‍ය පුජාව පැවැත්වු බවත් මම ඔබට යෝජනා කළහොත් එය පිළිගන්නේද ? යන්නය.

එහිදි හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, තමන් ඒ පිළිබද නොදැන සිටි අතර ඉහත කළ ප්‍රකාශය පදනම් විරහිත ව හුදෙක් මනසට ආ පමණින් සාක්ෂි නොමැතිව ප්‍රකාශ කළේ යැයි පිළිගන්නා බවය.

ඉන් අනතුරුව ජනාධිපති නීතිඥවරයා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් කොළඹ කතෝලික පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන මන්ත්‍රීවරයාගේ ඥාති පුත්‍රයකු පිළිබඳ විමසීමත් සමඟ මන්ත්‍රීවරයා නොසන්සුන් විය.

එහිදි නීතිඥවරයා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේ, අදාළ පාසලේ රගර් ක්‍රීඩා කණ්ඩායම ඉකුත් වසරේ පාස්කු ඉරුදින කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පුහුණුවීම් වල නිරත වීමටත්, පුහුණුවීමෙන් පසු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුරට යාමටත් යොදාගෙන සිට ඇති බවය.

නමුත් අදාළ කණ්ඩායමේ සිටින හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ඥාති පුත්‍රයා පමණක් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වු දින පුහුණු සැසියට සහභාගි වී නොමැති බව ජනාධිපති නීතිඥවරයා කොමිසමේ අවධානයට යොමු කළේ ය.

කෙසේ වෙතත් එම ප්‍රශ්නය විමසීම සම්බන්ධයෙන් දැඩි ලෙස ආවේගශීලි වු මන්ත්‍රීවරයා කොමිසම් සභාවේ විත්ති කුඩුවේ සිටම කාදිනල් හිමිපාණන් නියෝජනය කළ ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතාට එම ප්‍රශ්නය යොමු කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් දෝෂාරෝපනය කළේ ය.

මන්ත්‍රීවරයාගේ ආවේගශීලි හැසිරීමත් සමග කොමිසමේ සභාපති විනිසුරුවරයා මන්ත්‍රීවරයාට දැඩි ලෙස අවවාද කර සිටියේ, කොමිෂන් සභාව තුළ සාක්ෂිකරුවෙකු වන ඔබ නීතිඥවරයෙකුට අගෞරව වන ලෙස හැසිරීම කොමිසමට අගෞරව කිරීමක් සේ සලකන බවය.

ප්‍රහාරයක් ගැන ලැබී තිබූ අනතුරු ඇඟවීමේ තොරතුරු පසුදින බුද්ධි සම්බන්ධිකරණ රැස්වීමේදි සාකච්ඡාවට ගන්නැයි රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයාට දැනුම් දෙන ලෙසට එවක ආරක්ෂක ලේකම් දුන් උපදෙස ක්‍රියාත්මක කිරීමට අමතක වූ බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය.

ඒ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙරේදා (14) සාක්ෂිදෙමිනි.

හිටපු ජාතික බුද්ධි ප්‍රධානි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා පෙරේදා පස්වන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේ එවක රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සිසිර මෙන්ඩිස් මහතාට එවූ පූර්ව අනතුරු ඇඟවීමේ ලිපිය සම්බන්ධයෙන් පළමුවෙන්ම ප්‍රශ්න කෙරුණි.

Top Secret යනුවෙන් සඳහන් කළ අදාළ ලිපිය පසුගිය වසරේ අප්‍රේල් මස 8 වන දින පෙරවරුවේ තමන් ලද අතර එහි සහරාන් හෂීම් ප්‍රමුඛ ජාතික තවුහිද් ජමාත් සංවිධානය නුදුරේදිම එල්ල කළ හැකි ප්‍රහාරයක් පිළිබඳ සඳහන් වූයේයැයි මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඒ මහතා කුමන ආගම් භක්තිකයෙක්දැයි විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් සිසිර මේනඩිස් මහතා පැවසුවේ තමන් හොඳ බෞද්ධයෙකු වන අතර තම බිරිඳ රෝමානු කතෝලිකයකු වන බවය.

එවැනි පසුබිමක අප්‍රේල් 8 ලද තොරතුරේ වැදගත් පල්ලි ප්‍රහාරයේ ඉලක්ක විය හැකියැයි සඳහන් වු විට තමා ඒ සම්බන්ධයෙන් ගත් පියවර කුමක්දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේය.

"අප්‍රේල් 8 පෙරවරුවේ ලිපිය ලද වහාම ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හමුවීමට උත්සාහ ගත්තත් එය ව්‍යර්ථ විය. පස්වරුවේ හමුවෙන්න අවස්ථාව ලැබුණි. දේවස්ථානවලට ප්‍රහාර එල්ල විය හැකි බවට වූ විදෙස් තොරතුර පිළිබඳව එහිදී මා ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළේය.

"හෙට බුද්ධි සම්බන්ධිකරණ රැස්වීමේදි නිලන්තට මේක ගන්න කියමු කියලා ඔහු මා හට උපදෙස් දුන්නා " යනුවෙන් සිසිර මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

ඒ පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට දැනුම් දුන්නේ දැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එවිට ඒ මහතාගෙන් විමසීය.

"මට එය දැනුම්දීමට අමතක වුණා. නමුත්, ඔහු වෙත පළමුවෙන් ලද බුද්ධි තොරතුර සාකච්ඡාවට බඳුන්කිරීම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සතු වගකීමක් " යැයි සිසිර මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය.

මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මුල් බුද්ධි තොරතුර එලෙසින්ම ඔබට යොමු කිරීම හරහා ඔබෙන් යම් උපදෙසක් බලාපොරොත්තු වුණා නොවේද යන්නය.

"මම ජාතික බුද්ධි ප්‍රධානියා වුණාට ඔහු සිටියේ මා යටතේ නෙමෙයි. ඔහු සිටියේ ආරක්ෂක ලේකම් යටතේ. ඉතිං ඔහුට දෙන්න ඕන උපදෙස් මොනාද කියලා මම දන්නේ නැහැ. අනික රටේ බුද්ධි තොරතුරු සපයන ප්‍රධානතම ආයතනය භාරව ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඔහු. ඔහු කිසිදාක මගෙන් උපදෙස් ලබාගෙන නැහැ. " යනුවෙන් සිසිර මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය.

මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (15) 23 වන දිනටත් සාක්ෂි ලබාදීම සදහා ජනාධිපති කොමිසම හමුවට පැමිණි අතර එහිදි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසීය.

විදෙස් බුද්ධි අංශයකින් ලද පළමු බුද්ධි තොරතුරේ වැදගත් පල්ලි ප්‍රහාරයක ඉලක්ක බවට පත්විය හැකි බව සඳහන්ව තිබීමෙන් මිනිස්සුන් වැඩියෙන් ගැවසෙන කතෝලික දේවස්ථාන ඉලක්ක විය හැකි බව හැගී නොගියේදැයි ඔහු විමසූ විට ඊට පිළිතුරු දුන් ජයවර්ධන මහතා එවැන්නක් හැගීගිය බැවින් මෙම තොරතුර පිළිබදව තමා පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කළ බව ප්‍රකාශ කළේය.

මුල් තොරතුරේ Important Churches ලෙස වූ සඳහන ප්‍රසිද්ධ පල්ලි කියා සංශෝධනය කළේ ඇයිදැයි කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

එවිට ජයවර්ධන මහතා පැවසුවේ තමන් පරිවර්තනය කිරීමෙදි එවැනි වෙනස්කමක් සිදුව තිබුනද, මුල් විදෙස් බුද්ධි තොරතුරේ පිටපතක් තමන් ජාතික බුද්ධි ප්‍රධානියාට සහ පොලිස්පතිවරයාට යොමුකරන ලද ලේඛන වල ඇමිණූ බවය.

එමෙන්ම මෙම සමස්ථ ක්‍රියාවලියට මුල්වු සහරාන් හෂිම්, පාස්කු ප්‍රහාරයට පෙර කාන්තන්කුඩි පිපිරීමට සම්බන්ධ බව තමන් දැනුම්දුන්නේ යැයිද ඒ මහතා කියා සිටියේය.

අප්‍රේල් 4 බුද්ධි තොරතුරේ නුදුරේදිම ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වු කරුණු අදාළ නිලධාරින් වැදගත් කොට සැලකුවේනම් "කාන්තන්කුඩි බයිසිකල් පිපිරීමට සම්බන්ධව ඇත්තේ විදෙස් බුද්ධි තොරතුරේ නම සදහන් සහරාන්මද ?" යන්න තමාගෙන් ප්‍රශ්න කර දැනගැනීමට තිබූ බවත්, එහෙත් කිසිවෙකු ප්‍රහාරයට පෙර එවැනි සෝදිසියක් සිදු නොකළ බවත් ඔහු සඳහන් කළේය.

නැගෙනහිර මුස්ලිම් අන්තවාදයට එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ගේ පමණක් නොව ඒ.එල්.එම් අතාවුල්ලා මහතාගේ ද සහයෝගය ලැබුණු බව නැගෙනහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩ්වින් ගුණතිලක මහතා අනාවරණය කොට තිබේ.

ඒ තිදෙනාම 2015 වන තෙක් බලයේ සිටි මහින්ද රාජපක්ෂ රජයේ අමාත්‍ය ධූර දැරූ බවද ගුණතිලක මහතා පෙන්වා දී තිබෙයි.

එඩ්වින් ගුණතිලක මහතා මෙම කරුණු අනාවරණය කොට තිබෙන්නේ අප්‍රේල් 21 පාස්කු ඉරුදින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ගැන සෙවීමට පත් කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දෙමිනි.

ඒ.එල්.එම් අතාවුල්ලා මහතා මෙවර මහා මැතිවරණයේ දී ජාතික කොංග්‍රසය නියෝජනය කරමින් අම්පාර දිස්ත්‍රික්කයට තරගකොට පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින අතර ඔහු පාලක පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සන්ධාන ගත පාර්ශවයකි.

ආතවුල්ලා මහතා බොහෝ කලක සිට මහින්ද රාජපක්ෂ පාර්ශවයට සහයෝගය දැක්වූ අයෙකි.



යහපාලනය පිහිටුවීමට දායක වූ දේශපාලන නියෝජිතයින් පිරිසක්, සහරාන් හෂීම් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වන වීඩියෝ පටියක් පිළිබඳ තොරතුරු පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී පළමුවරට අනාවරණය වී තිබේ.

ඒ දේශපාලන නියෝජිතයකු එම කොමිසම හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේදීය.

ඊයේ රාත‍්‍රියේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබුණේ, මොහොමඞ් මුස්තෆා අබ්දුල් රහුමාන් නමැත්තායි.

ඔහු 2015 දී යහපාලනය ස්ථාපිත කිරීම සඳහා ගොඩනැඟු‍ණු ” යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ ” සංවිධානයෙන් 2015 වසරේදී මහමැතිවරණයට ඉදිරිපත්ව පරාජය වූ අපේක්ෂකයකු වේ. 

මෙහිදී යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂක මොහොමඞ් මුස්තෆා අබ්දුල් රහුමාන් සමඟ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රී සිබ්ලි ෆාරුක් යන අය පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව දියත් කළ සහරාන් හෂීම් සමග සාකච්ඡාවක නිරතවන වීඩියෝ පටයක් කොමිසම හමුවේ මෙහිදී දර්ශනය කර තිබේ.

මෙම වීඩියෝ පටයෙහි ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ හිටපු මන්ත‍්‍රී සිබ්ලි ෆාරුක් සහ සාක්ෂිකාර අබ්දුල් රහුමාන් මෙලෙස රැඳී සිටින අතර ඔවුන්ගේ ඉදිරියේ අසුන්ගෙන සිටින්නේ පාස්කු ප‍්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම් සහ ඔහුගේ සොහොයුරු ෂෙයින් මොහොමඞ් යන අයයි.

මෙම වීඩියෝ පටය විනාඩි 30කට ආසන්න කාලයක් රූගත කර ඇති අතර එම කොටස පමණක් සාක්ෂිකරු ඉදිරියේ කොමිසම විසින් දර්ශනය කර ඇති අතර ඔවුන් අතර මෙම සාකච්ඡාව දෙමළ බසින් සිදු වේ.

මෙම සාකච්ඡාවට අනුව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලාට අරාබියෙන් ලැබී තිබූ රියාල් මිලියන එකක පමණ මුදලක් සම්බන්ධයෙන් සහරාන් හෂීම් සහ සිබ්ලි ෆාරුක් සංවාදයක යෙදෙන අයුරු දැක්වේ.

අදාළ මුදල හිස්බුල්ලාගේ දේශපාලන කටයුතු සඳහා අරාබියෙන් ලැබෙන හෝ හිරා පදනම මඟින් ලැබෙන ඒවාද යන්න සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කරන ආකාරයක් එම වීඩියෝවේ වැඩිදුරටත් දැක්වේ. මෙහිදී සහරාන් හෂීම් ප‍්‍රකාශ කරන්නේ අරාබියෙන් එලෙස මුදල් හිස්බුල්ලාගේ කටයුතු සඳහා යොදා ගැනීම පිළිබඳව ගැටලූ‍වක් නොමැති බවයි.  

මෙහිදී මෙම හමුව සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය සාක්ෂිකරුගෙන් ප‍්‍රශ්න කළේ ”ඇයි ඔබ සහ සිබ්ලි ෆාරුක් සහරාන් හෂීම්ව හමුවුණේ? යනුවෙනි.

යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ අපේක්ෂක අබ්දුල් රහුමාන් එහිදී සාක්ෂි දෙමින් කියා සිටියේ ”මේ සාකච්ඡාව පැවැත්වුණේ සහරාන්ගේ කාර්යාලයේයි. මෙය දේශපාලන සාකච්ඡාවක්. 2015 මහමැතිවරණයට සතියකට පමණ ඉහතදී තමයි මෙම සාකච්ඡාව සිදුවුණේ" - යනුවෙනි.

Page 1 of 4