October 20, 2020

පාස්කු ඉරුදින අවාසනාවන්ත සිදුවීමෙන් පසු හුදෙක් පොලිස්පතිවරයා පමණක් එයට වගකිවයුතු බවට වන නිගමනයට අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියද කොමිසමේදී තමාගෙන් ප්‍රශ්න ඇසීම සිදුකරන බව පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.

එසේම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් තමන්ට වගවීමක් තිබුණද කිසිදු අවස්ථාවක වගකීම් පැහැර හැරීමක් සිදු නොකළ බවද හිටපු පොලිස්පතිවරයා කොමිසම හමුවේ සඳහන් කළේය.

අ.සො.ජ.- ප්‍රහාරයට පෙර දින රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් එවන ලද මේ ලේඛනයේ සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයන් රැසකගේ තොරතුරු විස්තරාත්මකව සඳහන් වෙනවා නේද ?

පූජිත් ජයසුන්දර- මම පිළිගන්නවා රාජ්‍ය බුද්ධි සේවය විසින් මීට පෙර එවන ලද සෑම බුද්ධි තොරතුරු ඇතුළත් ලේඛනයකටම වඩා මේ ලේඛනය තුළ ත්‍රස්තවාදින් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් වෙනවා සහරාන් ගැන. ඔහුගේ සහෝදරයන් වුණ රිල්වාන් සහ ෂෙයිනි ගැන.

මාවනැල්ල බුදු පිළිම කැඩීමට සම්බන්ධ වුණු සාදික් සහ ෂාහිඩ් සොහොයුරන් ගැන වගේම සිනමන් ග්‍රැන්ඩ් සහ ෂැන්ග්‍රීලා හෝටල් වලදී මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගත් දෙමටගොඩ ඊබ්‍රාහිම් සහෝදරයන් ගැනත් මේ ලේඛනයේ පැහැදිලි තොරතුරු තියෙනවා.

නමුත් මට ප්‍රශ්නයක් මෙච්චර සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලේඛනයක් ඇයි අන්තිම මොහොතෙම මට එව්වේ කියලා. මොකද මෙච්චර දවසක් වරින් වර රාජ්‍ය බුද්ධි සේවය මට එවපු තොරතුරුවල මෙච්චර සවිස්තරාත්මක තොරතුරු අන්තර්ගත වුණේ නැහැ. නමුත් මේක ඉතාමත් සුවිශේෂි ලේඛනයක් ලෙස මගේ අවධානයට යොමු වුණා. මොකද මෙච්චර දවසක් රාජ්‍ය බුද්ධි සේවය එවපු ලේඛනවල නොදැක්වුණ විදිහට පැහැදිලිව සෑම තොරතුරක්ම එකිනෙකට ගලපා තිබුණා.

අ.සො.ජ. – ඉතිං ඔබ ඕක සුවිශේෂි බුද්ධි ලේඛනයක් කියලා අවධානය යොමුකළා නම් ඒ සම්බන්ධයෙන් ගත්තු ක්‍රියාමාර්ගය මොකක්ද?

පූජිත් ජයසුන්දර – තොරතුරු කොච්චර සවිස්තරාත්මක වුණත් මේ 20 සවස එවපු ලේඛනයෙත් පැහැදිලිව සඳහන් වෙනවා වාර්තා වී ඇති බුද්ධි තොරතුරු පිළිබඳ තවදුරටත් විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා කියලා. ඒ කියන්නේ ඒ වෙද්දිත් රාජ්‍ය බුද්ධි සේවයට ස්ථිරතාවක් තිබුණේ නැහැ ප්‍රහාරයක් සිදුවෙන බවට විදෙස් බුද්ධි අංශයකින් කර තිබු පෙර දැනුවත් කිරීම ගැන.

අ.සො.ජ. – ඒ වුණාට ජයසුන්දර මහත්මයා 20 දහවල් ඔය බුද්ධි තොරතුරු ඇතුළත් ලේඛනය ඔබට එව්වාට පස්සේ සවස නිලන්ත ජයවර්ධන ඔබට කතා කරලා කිව්වා නේද හෙට හෝ ඊට පෙර ප්‍රහාරයක් වෙනවා කියලා?

පූජිත් ජයසුන්දර – ඔව් කතා කළානම් තමයි. ඒ වෙලාවේ කිව්වේ ‘‘ටුමාරෝ විල් බි ඩේන්ජර්ස් එනිතින්ග් විල් හැපන්ඩ්’’ (Tomorrow will be Dangerous. Anything will happened) කියලා. මම ඇහුවා මේක ඔයාට ලැබුණු තොරතුරක්ද නැත්තම් අර කලින් දැනුවත් කිරීමක් කරපු විදෙස් බුද්ධි අංශයෙන්ම ලැබුණු එකක්ද කියලා. එතකොට කිව්වා සර් මේක කලින් විදෙස් බුද්ධි තොරතුරු එකෙන්මයි ලැබුණේ කියලා. මම ආයෙත් ඇහුවා මේ ගැන ඔයාට මොකද හිතෙන්නේ කියලා. එතකොට කිව්වෙත් නැහැ සර් මේක විදෙස් බුද්ධි අංශයෙන් ලැබුණු ඩිවලොප්මන්ට් එකක් කියලා. ඒ කියන්නේ ඒ වෙද්දිත් රාජ්‍ය බුද්ධි සේවය ළඟ මේ තොරතුරු ස්ථීර කරන්න එයාලගේ කියලා බුද්ධි තොරතුරු තිබුණේ නැහැ. විදෙස් බුද්ධි තොරතුර විතරයි. අන්න ඒ නිසයි මම නිලන්තට කිව්වේ හරි නිලන්ත ඔයා නන්දනට කියන්න. මමත් බලන්නම් කියලා.

අ.සො.ජ. – මම ඔබට යෝජනා කළොත් ශ්‍රී ලංකා පොලිසියේ දුර්වලතාවන් නිසා මේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිද්ධ වුණා කියලා ?

පූජිත් ජයසුන්දර – පාස්කු ඉරුදින මේ අවාසනාවන්ත සිදුවීමෙන් පස්සේ හුදෙක් පොලිස්පතිවරයා පමණක් වගකිවයුතුයි කියලා ආපු නිගමනයක් තියෙනවා. මට හිතෙන විදිහට ඔබතුමියගේ ප්‍රශ්න ඇසීම සිදුවන්නෙත් ඒ අනුවයි. ඇත්ත මේ සිද්ධිය වෙද්දී රටේ හිටපු පොලිස්පතිවරයා හැටියට මට වගවීමක් තියෙනවා. මම කිසිම වෙලාවක මේ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ කියලා නැහැ. කියන්නෙත් නැහැ. නමුත් වගවීමක් තියෙන එකම තැනැත්තා මම නෙමේ. පොලිසියේ දුර්වලතාවක් නිසා මේ සිද්ධිය සිද්ධ වුණා කියන එක මම පිළිගන්නේ නැහැ. පොලිසියට තිබ්බ දුෂ්කරතා ගොඩක් මැද්දේ පොලිස් නිලධාරීන් පැහැදිලිව රාජකාරිය ඉෂ්ට කළා.

නමුත් ඒක මේ ප්‍රහාරය වළක්වා ගන්න ප්‍රමාණවත් වුණේ නැහැ. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ අපි හිතාමතා රාජකාරිය පැහැර හැරියා කියලා. මේ ප්‍රහාරය වලක්වා ගන්න බැරිවෙන්න බොහෝ අබිරහස් හේතු තිබ්බා. උදව් කළ පුද්ගලයන් අනිත් පැත්ත ගහපු හැටි, කරමින් තිබුණු පරීක්ෂණ අනිත් පැත්ත ගහපුවා, පැවති දේශපාලන වාතාවරණය, විදේශ මුදල් ලැබීම්, ඔත්තුකරුවෝ අනිත් පැත්ත ගහපුවා ඔන්න ඔය වගේ රහසිගත සහ අතීශයින් රහසිගත හේතු ගොඩාක් තිබ්බා. තාමත් හෙළිදරව් නොවුණ ඒවා තියෙනවා. මගේ සාක්ෂි විමසීම අවසානයේ මට අවස්ථාවක් ලැබුණම ඒ ගැන කියන්නම්.

ඇයි අපිට විධිමත්ව තොරතුරු දුන්නේ නැත්තේ. ඇයි ලද බොළඳ හේතුන් මත පොලිස්පතිවරයා ආරක්ෂක කවුන්සලයෙන් නෙරපා හැරියේ, මගෙන් පස්සේ ආරක්ෂක කවුන්සලයට ගෙන්නගත්තේ ජ්‍යෙෂ්ඨතම දෙවැනි නිලධාරියා නෙමේ. අනික ඔහුටත් රහසින් උපදෙස් දීලා තිබුණා කතාවුණ දේවල් මට කියන්න එපා කියලා. ඉතිං මම කොහොමද තොරතුරු දැනගන්නේ. මේන්න මේ දේවල් ගැනත් සොයා බලන්න.

මීට ටික දිනකට පෙර අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් සාක්ෂි නැතැයි පවසමින් නිදහස් කළ රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් හට ඉන්දියාවට පැන යාමට උපකාර කළ බව හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කර තිබෙන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ කරුණු අනාවරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් තොරතුරු තමාට යුද හමුදා බුද්ධි අංශ විසින් 2018 වර්ෂයේ දී ලබා දුන් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

තමා යාපනයේ සිටිද්දී යුද හමුදා බුද්ධි අංශ විසින් සහරාන් හෂීම් පිළිබඳව තොරතුරු ලබා දුන් බව පවසන සේනානායක මහතා අයි.එස් සංවිධානය සමඟ සබඳතා පවත්වන පුද්ගලයින් සොයා ගැනීමේ හැකියාව හමුදා බුද්ධි අංශ වලට තිබුණ මුත් ඊට අවස්ථාව ලබා නොදුන් බව ද සඳහන් කොට තිබේ.

ඒ එවකට තිබූ රජය පොලිසිය හා යුද හමුදාව අතර ප්‍රශ්න ඇති කර තිබු නිසා බව ද සේනානායක මහතා මෙම කොමිසම හමුවේ ප්‍රකාශ කොට තිබේ.

රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා පාස්කු ඉරු දින ත්‍රස්තවාදී සිද්ධියට ඍජුවම සම්බන්ධයක් නොමැති බැවින් ඔහුව නිදහස් කළ බව නීතිය හා සාමය කටයුතු පිළිබඳ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

රියාජ් බදියුදීන් නිදහස් කළා යැයි සඳහන් කළාට සිදුව තිබෙන්නේ ඔහුව මුදා හැරීමක් පමණක් බව ද ඒ පිළිබඳ විමර්ශන තවදුරටත් සිදු කරන බවද අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ඒ අනුව ඉදිරියේදී මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබෙන බවද රාජපක්ෂ මහතා සඳහන් කරන ලදී.

රියාජ් බදියුදීන් මහතා මානව හිමිකම් නඩුවක් පැවරූ වේ නම් මේ වන විටත් ඔහු ඇප ලබා ගෙන තිබෙන බවද ඇමැතිවරයා පෙන්වා දෙන ලදී.

කෙසේ වෙතත් රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පත්කර තිබෙන නව නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ විමර්ශන සිදුකරන බවද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන ලදී.

චමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දීම සඳහා මීට සුළු මොහොතකට පෙර පාස්කු කොමිසමට පැමිණ තිබේ.

ඊයේ දිනයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 07කට ආසන්න කාලයක් කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්නේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා අද දින (05) පාස්කු කොමිසමට සාක්ෂි දීම සඳහා පැමිණියේ පළමු වතාවටයි. ඒ අද දින (05) පැමිණෙන ලෙස පසුගිය සැප්තැම්බර් 22 වනදා ඔහුට කළ දැනුම් දීමට අනූවයි.

කෙසේ වෙතත් ඒ මහතා, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සාක්ෂි දෙනවිට ඊට සවන්දීම සඳහා මීට පෙර වාර කිහිපයක් පාස්කු කොමිසට පැමිණියේය.

මේ අතර, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දීම සඳහා හෙට (06) දින පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමට පැමිණීමට නියමිතය.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් තමන් වගකීමෙන් පළා නොයන නමුත් සාමූහික වගකීමට අදාළ සියලු පාර්ශව යටත් වන බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව පැවසීය. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන කොමිසම හමුවේ ඊයේ (01) හත් වන දිනටත් සාක්ෂි ලබාදුන්නේය.

හිටපු ජනාධිපතිවරය සහ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරු අතර පැවති සමීප ඇසුර නිසා ආරක්ෂක ලේකම් ලෙස තමන්ට නිලන්ත ජයවර්ධන මහතා අධීක්ෂණය කිරීමට අවස්ථාව නොලැබුණු බව හෙතෙම සඳහන් කළේය.

මෙහිදී කොමිසම හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියේ, පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු පූර්ව අනතුරු ඇඟවීමේ තොරතුර සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දුරකථන ඇමතුමක්වත් ලබාදී දැනුම්වත් නොකිරීමට හේතුව කුමක්ද යන්නය.

ඊට පිළිතුරු ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ,

"ඇමතුමක් ගත්තේ නැහැ ස්වාමීනි. මට ඒකට හේතුව පැහැදිලි කරන්න ඕනේ. මම ආරක්ෂක ලේකම්ධූරය භාරගෙන දින 2 කට පස්සේ ජනාධිපතිතුමාව හමුවෙන්න ගියා අත්සන් වගයක් ගන්න. ඒ වෙද්දී මට රාජ්‍ය බුද්ධි සේවයෙන් පළමුවරට බුද්ධි තොරතුරක් ලැබුණා. මම ඒ ගැන ජනාධිපතිවරයාට කිව්වා. එතකොට එතුමා මගේ දිහා කාරුණිකව බලලා 'ආ ඒක හරි. මට ඕක ගැන නිලන්ත කිව්වා කියලා," ඊට පස්සෙ තව අවස්ථාවකදී මට නිලන්ත බුද්ධි තොරතුරක් දුන්නා. ඒ ගැනත් මම ජනාධිපතිව හමුවෙලා තොරතුර ගැන කියන්න ගියාම එතකොටත් මට කිව්වා, "නිලන්ත මට ඔය ගැන කිව්වා."මම මේ ගැන නිලන්ත හමුවෙලා ඇහුවා ‘මොකක්ද නිලන්ත මේ ක්‍රමවේදය,‘ එතකොට නිලන්ත මට කිව්වා 'මම සාමාන්‍යයෙන් හැම තොරතුරක්ම ජනාධිපතිට කියනවා. ඒවගේම ආරක්ෂක ලේකම්ටත් කියනවා‘ඉතින් ස්වාමීනි මේ ප්‍රහාරය ගැන තොරතුරත් නිලන්ත ජනාධිපතිට කියන්න ඇති කියල මම හිතුවේ ඒ නිසයි." යනුවෙනි.

"ප්‍රහාරයට පස්සේ මම ලේකම් ධූරයෙන් අස්වෙනවා කියලා දැනුම්දෙන්න ජනාධිපතිතුමා හමුවෙන්න ගියා ඒ වෙලාවේ එතුමා පත්තරය බලන ගමන් හිටියේ මම ඇහුවා 'සර් නිලන්ත හැම තොරතුරක්ම කියන එකේ මේ තොරතුර දැනුම් දුන්නේ නැත්ද..?' කියලා. එතකොට ජනාධිපතිතුමා මම අහපු දේට මුකුත් නොකියා පත්තරේ බලබල හිටියා ඔන්න ඕකයි තත්ත්වේ." යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි ලබා දෙමින් සඳහන් කළේය.

අනතුරුව කොමිසමේ සභාපති විනිසුරු හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන්. "ඔබට අප්‍රේල් 20 වෙනිදා නිලන්ත තොරතුරක් දුන් අවස්ථාවේ ඇහුවෙ නැත්ද මේක ජනාධිපතිට කිව්වද කියලා?" යනුවෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා, "නැහැ ස්වාමීනි. මම අහන්න ගියේ නැහැ. හිතාගෙන හිටියේ ඒක දැනුම් දෙන්න ඇති කියලා, නැත්නම් නිලන්තට තිබුණා ඒ වෙලාවෙ මට කියන්න ජනාධිපතිටත් කියන්න කියලා. අනිත් එක මේ වගේ ප්‍රශ්නයක් පිටරටක වුණානම් මෙහෙම Whatsapp Massege එවන්නේ නැහැ. බුද්ධි අංශ නිලධාරීන් ඇවිල්ලා හමුවෙලා කථා කරනවා," යනුවෙන් ප්‍රකාශ කළේය.

"අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජනාධිපතිවරයා දැනුම්වත් කිරීම ඔබේ වගකීම නේද..?" රජයේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියාය.

"ඔව් මගේ වගකීම වෙන්න පුළුවන්, ඒත් මා එක්ක තිබුණ විරසකය නිසා උනන්දුවක් දැක්වුයේ නෑ" යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

"ඔබ අවස්ථා ගණනකදී කිව්වා ඔය විරසකය ගැන. නමුත් සිංහල අවුරුද්දට ජනාධිපතිවරයාට සුබ පතන්න ඔබ දියතලාවෙ ඉදන් ආවා නේද ? බුලත් දීලා තරහ මරහා නැති කරගන්න එක සිරිතනේ. එතනදීවත් මේ විදෙස් තොරතුර ගැන කිව්වේ නැත්ද?" ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදි හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු ලබාදුන් හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, "මගේ අමනාපයක් නැහැ, මම ගිහින් බුලත් අතකුත් දුන්නා. දැන් නිලන්ත ජයවර්ධන හැමතැනකම කියල තිබුණනේ 'මේක ලෙඩක්' කියලා. මටත් කිව්වා නම් ඕක ලෙඩක් කියලා, මම අඩගහලා අහනවනේ ලෙඩේට මොකක්ද කරන්නේ කියලා. මම කියන්නේ මේකට මම වගකියන්නවා නම් නිලන්ත ඒකට තුන්ගුණයක් වගකියන්න ඕනේ ජනාධිපතිවරයා දැනුවත් නොකිරීම ගැන," යනුවෙන් කියා සිටියේය.

"ඒ කියන්නේ ඔබ පිළිගන්නවාද ආරක්ෂක ලේකම් ලෙස ඔබත් වගකියන්න ඕනේ කියලා..?" යැයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසීය. 

''මම කිසිලෙසකින් කියන්නේ නැහැ මට මේකට වගකීමක් නැහැ කියලා. මෙතෙන සාමූහික වගකීමක් තියෙන්නේ. මේකට අදාළ තවත් පාර්ශව ඉන්නවා. හැමදේම ආරක්ෂක ලේකම්ට කරන්න පුළුවන් නම් මේ රටට පොලිස්පතිවරයෙක්, බුද්ධි අංශ, හමුදාපතිවරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කෙනෙක්, ආරක්ෂක ඇමතිවරයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ආරක්ෂක ලේකම් හිටියහම ඇති ස්වාමීනි'' යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි ලබාදුන්නේය.

පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියේය.

“පාස්කු ප්‍රහාරය ගැන කථා කරනවා නම් ඒකේ වගකීම ගන්න ඕනේ, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ. කැබිනට් එකේ හිටියා කියලා, අනිත් අයට බෑනේ ඒවට ඇඟිලි ගහන්න. ඒ දෙන්නට තමයි ඒක මෙහෙයවන්න වගකීම තිබ්බේ. අසාර්ථකභාවයක් තිබ්බානම් ඒකේ සම්පූර්ණ වගකීම ඒ දෙන්නා ගන්න ඕනේ. රටේ ආරක්ෂාව කියන එක රටේ ඉන්න හැමෝටම ඇඟිලි ගහන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ.“ යනුවෙන් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පැවසීය.

සහරාන් හෂීම්ට නිදහසේ මෙරට තුළ ක්‍රියාත්මක වීමට පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නොසැළකිලිමත් ක්‍රියාකලාපයන් හේතු වු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ජනාධිපති කොමිසම හමුවේ පිළිගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයට පෙර සහාරාන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන “ආමි මොහිදින්“ අත්අඩංගුවට ගැනීමට හැකියාවක් උදාවු අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම අත්අඩංගුවට ගැනීම සිදුකළේ නම් පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමටද ඉඩ තිබු බව එහිදි වැඩිදුරටත් සාක්ෂිදෙමින් ඔහු කියා සිටියේය.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සාක්ෂි ලබාදීම සඳහා ඊයේ (28) ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ සිව්වන දිනටය.

එහිදී, රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ 2017 මාර්තු මස 10 වන දින කාන්තන්කුඩි ආලියාර් මංසන්ධියේ ඇතිවු ගැටුම සම්බන්ධයෙන් සහරාන් හෂීම් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබියදිත් පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළේ මන්ද යන්නය.

එයට පිළිතුරු දෙමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ අදාළ සැකකරුවන් ඒ වනවිට එම ප්‍රදේශයෙන් පළාගොස් බවත් ඔවුන් පදිංචි ස්ථිර ලිපිනයක් පිළිබඳ නොදැන සිටීම සහ ඇතැම් පුද්ගලයින් එම සැකකරුවන් සඟවාගෙන සිටීම මෙම අත්අඩංගුවට නොගැනීමට හේතු වූ බවත් ය.

එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ සහරාන් සමග සබඳතා පැවැත්වු ආමි මොහිදින් නැමැත්තා සැඟව සිටින ස්ථානය රාජ්‍ය බුද්ධි සේවය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩයස් නම් නිලධාරියාට පෙන්වා දී තිබියදීත් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර නොමැත්තේ මන්ද යන්නය.

"මේක හරි ව්‍යාකූල තත්ත්වයක්. ඔවුන් ඒ අවස්ථාවේ වහාම වරෙන්තුකරුව අත්අඩංගුවට ගත යුතුව තිබුණා. අත්අඩංගුවට ගැනීමෙන් පසු නීති කෘත්‍යයන් ඉටුකර ඔහුව තොරතුරුකරුවෙකු ලෙස භාවිතා කිරීම ගැටලුවක් නැහැ. නමුත් ඔවුන් ආමි මොහිදින් නැමැත්තාව තොරතුරුකරුවෙකු ලෙස භාවිතා කළායැයි වාර්තාවෙන්නේ සැකකරු අත්අඩංගුවට නොගත් පසුබිමක," යැයි පූජිත් ජයසුන්දර මහතා සක්ෂි ලබාදුන්නේය.

එහිදී, ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා විමසා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලද අවස්ථාවේ ආමි මොහිදින් අත්අඩංගුවට ගත්තානම් ඔහුගෙන් සහරාන් හෂිම්ගේ ත්‍රස්ත ජාලය පිළිබඳ  තොරතුරු අනාවරණය කරගෙන මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබුණා නොවේද යන්නය.

"ඔව් ස්වාමිනි, මට දැන් එහෙම හිතෙනවා. ආමි මොහිදින් සහරාන් සමග පවත්වා ඇති සම්බන්ධතාවය බලද්දි ඔහු අත්අඩංගුවට ගත්තානම් බොහෝ කරුණු හෙළිදරව් කරගන්න තිබ්බා. එහෙම හෙළිදරව් වුණානම් ඒ ඔස්සේ සහරාන් ඇතුළු අනිකුත් සැකකරුවන්වත් අත්අඩංගුවට ගෙන මෙවැනි ප්‍රහාරයක් සිදුවීම වළක්වා ගන්න තිබුණා," යැයි ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී, ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා පෙරළා විමසා සිටියේ සහරාන්ට නිදහසේ කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ නොසැලකිත්මත් ක්‍රියාකලාපය හේතුවුණා කියන එක ඔබ පිළිගන්නවාද යන්නය.

"ඔව් ස්වාමිනි, මම එක පිළිගන්නවා. සහරාන්ට නිදහසේ කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවුණා කියන එක," යැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පිළිතුරු ලබාදුන්නේය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ අප්‍රේල් 09 දින රාජ්‍ය බුද්ධි සේවයෙන් සහ ජාතික බුද්ධි ප්‍රධානියා ඔබ වෙත යොමුකරන ලද ප්‍රහාරයක් පිළිබද පුර්ව දැනුවත් කිරීමේ විදෙස් බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ඔබ කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ ද යන්නය.

"ස්වාමිනි, මම ඒ ලිපියට FNA කියලා දාලා, මගේ යටතේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 04 දෙනෙක්ට යැව්වා. ඒ යැව්වෙත් පණිවුඩකරුවන් සිව්දෙනෙක්ගේ අතේ. මම එක නිශ්චිත වැදගත් තොරතුරක් ලෙස සැලකුවා. එකයි එහෙම කළේ, " යැයි පූජිත් ජයසුන්දර මහතා පිළිතුරු ලබාදුනි.

"ඇයි ඔබ FNA කියලා දැම්මේ. ඔබ පොලිස්පතිවරයා ලෙස ඊට වඩා වැඩියමක් සදහන් කළ යුතුව තිබුණා නේද..? ඇයි කළයුතු දේ පිළිබඳ උපදෙස් දීමක් සිදු නොකළේ," යැයි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදි විමසා සිටියේය.

"ස්වාමිනි, FNA කියන්නේ For Necessary Action කියන එක. නමුත් සමහර අය මේක For No Action හැටියට අපහාසාත්මකවත් අරන් තිබ්බා. මේක නිශ්චිත තොරතුරක් විදේශ බුද්ධි අංශයකින් එවපු. නමුත් මීට අදාළව කිසිම තොරතුරක් අපේ රාජ්‍ය බුද්ධි සේවයෙන් සොයාගෙන තිබුණේ නැහැ. ඔවුන් මේක වගකීම් සහගත විදිහට නෙමෙයි එවලා තිබ්බේ. මොකද, ඉහත සඳහන් තොරතුර පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කරනවා," යැයි මේකේ සදහන් වෙනවා. ඒ කියන්නේ අවසානයක් නැහැ. නිලන්ත ජයවර්ධන ප්‍රමුඛ රාජ්‍ය බුද්ධි සේවයට තියෙන පහසුකම් හා වරප්‍රසාද එක්ක බලද්දි ඔවුන්ට නිරතවෙන්න තියෙන එකම වෘත්තීමය ක්ෂේත්‍රය තමයි බුද්ධි තොරතුරු කියන්නේ. එහෙම වටපිටාවක් තුළත් ඔවුන් මේකට කිසිවක් එකතු කර තිබුණේ  නැහැ. විදෙස් බුද්ධි තොරතුර විතරයි. නමුත් ඒ තොරතුර වැදගත්. මේක මට එද්දි Top Secret Eyes Only කියන එක ගහලා තිබ්බේ. Eyes Only කියන්නේ මගේ අවධානයට විතරයි කියන එක. නමුත් එක මගේ අවධානයට විතරක් යොමුවෙලා මදි නිසා තමයි ක්‍රියාත්මක විය හැකි මගේ යටතේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරින් 04 දෙනාට යැව්වේ. මෙවැනි දෙයකට ක්‍රියාත්මක විය යුතු ආකාරය ඔවුන් දන්නවා," යැයි පූජිත් ජයසුන්දර මහතා පැහැදිලි කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, "මට ස්වාමිනී ඒ වෙද්දි විස්තරාත්මකව උපදෙස් දීමට හැකියාවක් තිබුණේ නැහැ. ඒ වෙද්දි තිබ්බ දේශපාලන වටපිටාවත් එක්ක කතා කළේම සංහිදියාව ගැන. මට දේශපාලනිකව පීඩා ආවා. වැඩේ කෙරෙන්නත් ඕනේ. හැබැයි අනිත් පැත්තට චෝදනා එන්නත් පුළුවන්. ඒ නිසයි මම මේ ලිපිය මේ විදිහට මගේ පහළ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට යොමු කළේ. අනික මම මේ වෙලාව වෙද්දි රටේ නායකයා මාත් එක්ක තිබ්බ අමනාපකම් සහ ගැටලු ගොඩකින් පීඩා විඳලා හිටියේ. නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ මම රාජකාරිය පැහැර හැරියා කියලා. මොකද රාජ්‍ය බුද්ධි සේවය හෝ කවුරුන් හෝ මට ත්‍රස්තවාදි ක්‍රියා ගැන තොරතුරු දිලා තිබුණේ නැහැ. කියලා තිබුණේ අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයින් අභිප්‍රේරණය කරනවා කියලා විතරයි," යනුවෙන් ජයසුන්දර මහතා වැඩිදුරටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව වනවිට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් දැඩි මානසීක පීඩනයකට ලක්ව සිටි බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද (24) පැවසීය.

පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ඊයේ තුන්වන දිනටත් සාක්ෂි විමසනු ලැබීය.

එහිදි ඔහු කියා සිටියේ 2018 වර්ෂයේ මුල් භාගය වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉස්ලාම් අන්තවාදය පිළිබඳ පොලීසියට විවෘත පරීක්ෂණ සිදු නොකරන ලෙස උපදෙස් දී තිබුණද, වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතනය, මාවනැල්ල බුදුපිළිම කැඩීම සහ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් පරික්ෂණ කරන්නැයි තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවය.

එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ඒ අනුව ඔබ ජනාධිපතිවරයාගේ නියෝගවලට පිටුපා තිබුණා නොවේද යන්නය.

“ඔව් මම පිටුපෑවා. ඇතිව තිබු තත්ත්වය මත මම ගොඩාක් අසරණ වෙලා හිටියේ. මොකද මම මගේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට කියන්නද, ජනාධිපතිවරයා මෙහෙම උපදෙස් දුන්නා කියලා. ඒ නිසා කිසිම කෙනෙක්ගෙන් උපදෙස් ගන්නත් බැහැ. සාකච්ඡා කරන්නත් බැරි තරමට මම අසරණ වෙලා හිටියේ " යනුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පිළිතුරු ලබාදුනි.

එහිදී පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළේය.

“පොලිස් මලල ක්‍රීඩා උත්සවයක් තිබ්බා. ඒකට පොලිස් නිලධාරින් 6000ක්, 7000ක් සහභාගී වෙනවා.  මම ඒකට සහභාගිවෙන්න කියලා එවකට ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කළා, මට බැහැ. මට බණ්ඩාරවෙල යන්න තියෙනවා. ලේකම්තුමා එක්ක කථාකරගන්න කිව්වා“ යනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.  

“පස්සේ මම ආරක්ෂක ලේකම්තුමාට කථා කළා. එතුමාත් මුලදි අදිමදි කරලා අන්තිමට උත්සවයට ආවේ පරක්කු වෙලා. පස්සේ එදා උත්සවය දවසේ ආරක්ෂක ලේකම්තුමාට Call එකක් ආවා. එතුමා මට කිව්වා ජනාධිපතිතුමා දැන් කථාකරයි කියලා. පස්සේ මටත් Call එකක් ආවා, තමුසේ කාගෙන් අහලද ඕවා කරන්නේ, තමුසේ කොහොමද ඔච්වර නිලධාරින් ගෙනල්ලා ඕවා කරන්නේ, ඔය මොකක්ද කියලා ජනාධිපතිතුමා මගෙන් ඇහුවා. මම කිව්වා සර් පොලිස් මලල ක්‍රීඩා උළෙල කියලා.“

"තමුසේ කාත් එක්කද, ඕවා තියන්නේ " කියලා ඇහුවා. සර් මම ලේකම්තුමාට කිව්වා කියලා පිළිතුරු දුන්නා.“කොහොමද ලේකම් ගේන්නේ ? ඇයි තමුසේ දන්නේ නැද්ද මට කියන්න ඕනේ කියලා යැයි ගොඩාක්  කේන්තියෙන් මගෙන් ප්‍රශ්න කළා.

මම “සමාවෙන්න සර්, මම සර්ට ආරාධනා කළානේ, සර් බැහැයි කියපු නිසානේ පරක්කුවෙලා හරි ආරක්ෂක ලේකම්තුමාව ගෙන්නගත්තේ කියලා බොහොම හෙමින් පිළිතුරු දුන්නා. කෙහෙල් මල කොහෙද මට කිව්වේ, මම බලාගන්නම්කෝ ලේකම්තුමා එක්ක, තමුසේ කරගන්නවාකෝ ඕවා කියලා ජනාධිපතිතුමා ෆෝන් එක කට් කළා“ යැයි පූජිත් ජයසුන්දර මහතා සාක්ෂි ලබාදුනි.

ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂිදෙමින් කියා සිටියේය. 

"මෙවැනි සිදුවීම් නිසා මම පුදුමාකාර මානසික පීඩනයකින් ස්වාමිනි හිටියේ, මට කාටවත් කියාගන්න විදිහක් තිබුණේ නැහැ. පාස්කු ප්‍රහාරය එල්ල වෙලා ජනාධිපතිවරයා මේකට වගකියන්න ඕනේ පොලිස්පතියි, ආරක්ෂක ලේකම් කියද්දි, එක දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙද්දිත් මම මාධ්‍යයට මුකුත් කිව්වේ නැහැ. අඩුම තරමේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලවාවත් මම මුකුත් කිව්වේ නැහැ. මොකද ඔහු රටේ විධායක ජනාධිපතිවරයා වගේම මගේ අමාත්‍යංශය භාර අමාත්‍යවරයා නිසා. විනයානුකූල නිලධාරියෙක් ලෙස මම කිසිම ප්‍රකාශයක් කළේ නැහැ. පළමු පාරට කතා කළේ පාර්ලිමේන්තු තේරිම්කාරක සභාවේදි, එත් අවසරය ඇතුව " යැයි පැවසූ හිටපු පොලිස්පතිවරයා ජනාධිපති කොමිසම හමුවේ හැගීම්බර වුණි.

අනතුරුව පූජිත් ජයසුන්දර මහතා මෙලෙස අදහස් පළ කළා.

"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ කොමිසම මේ වෙද්දි යම් කරුණු අනාවරණයක් කරගෙන තිබුණත්, හෙළිදරව් නොවූ බොහෝ කරුණු තියෙනවා මා සතුව කියන්න. මෙච්චර ප්‍රහාරයක් වෙලා මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රටේ ප්‍රධානියා කිව්වේ මොකක්ද..? මම දන්නේ නැහැ, මට කිව්වේ නැහැ, මම වගකියන්නේ නැහැ. වගකියන්න ඕනේ පොලිස්පති, ආරක්ෂක ලේකම් කියලා."

"ඉතිහාසයේ කිසිම අවස්ථාවක බුද්ධි තොරතුරු ගැන පොලිස්පති ජනාධිපති දැනුවත් කිරීමේ සම්ප්‍රදායක් තිබිලා නැහැ. ඊළගට බුද්ධි අංශ මෙතන සාක්ෂි දෙද්දි මම හිටියනේ. එයා කිව්වා රාජ්‍ය බුද්ධි අංශයට නිලධාරින් මදි, පහසුකම් මදි කියලා. නමුත් ආරක්ෂක අමාත්‍යංශයෙන් පුර්ණ පහසුකම්, වරප්‍රසාද ලැබුණේ රාජ්‍ය බුද්ධි අංශයට. අනිත් අයට වඩා පඩි වැඩි වුණෙත් එයාලට. නමුත් එක විෂය ක්ෂේත්‍රයයි ආවරණය කරන්න තිබ්බේ. ආරක්ෂක අමාත්‍යංශය කොයිතරම් නම් රාජ්‍ය බුද්ධි සේවයට රහසිගතව මුදල් දෙනවද ? විගණනයකටවත් ලක්වෙන්නේ නැහැ. කිසිම සීමාවක් නැහැ."  යනුවෙන් ඒ මහතා සාක්ෂිදුනි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමේ වගකීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැහැර හැරිය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට පෙර විදේශගත විමෙන් සිය වගකීම පැහැරහැරි බවය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (25) සාක්ෂි ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කියනේ නිලතලයක් විතරයි, මට ලබා දී තිබුණ ආයතන, ගැසට් එකෙන් වෙනම අමාත්‍යාංශයක් හැටියට තමයි වැඩකටයුතු කළේ. මගේ අමාත්‍යාංශයේ තිබුණේ. මම භාරව හිටියේ රණවිරු අධිකාරිය, ආරක්ෂක පාසල, ආරක්ෂක මාණ්ඩලික විද්‍යාලය,“ බව ඒ මහතා සඳහන් කළේය.

“පොලීසිය, බුද්ධි අංශය, ත්‍රිවිධ හමුදාව යන සියල්ල මගේ යටතේ ආවේ නැහැ, ඉතින් මට කියන්නට බැහැ රටේ ආරක්ෂාව මගේ අතේ, මම දෙවනියා හැටියට හිටියයි කියලා. මේ විෂයන් ගත්විට ආරක්ෂක ඇමතිවරයාට තමයි ඒ විෂයන් සියල්ලම තිබුණේ. ජාතික ආරක්ෂව තිබුණේ එවකට හිටපු ජනාධිපතිතුමාගේ අතේ. එතුමා ඒ අවස්ථාවේ දී විදේශගත වෙලා එතුමාගේ රාජකාරිය හරියට කළේ නැහැ කියලා මම හිතන්නේ,“ යනුවෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජෙවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

Page 1 of 2