October 20, 2020

දිවයින් පුරා සියලු පාසල්වලට හෙට (05) සිට දෙවන පාසල් වාර නිවාඩුව ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මීට පෙර දෙවැනි පාසල් වාර නිවාඩුව ලබන ඔක්තෝම්බර් 09වැනිදා ලබා දීමට තීරණය කර තිබිණි. කෙසේ වෙතත් හෙට සිට ක්‍රියාත්මක වන පරිදි දෙවැනි පාසල් වාර නිවාඩුව දිවයිනේ සියලු පාසල් සඳහා ලබා දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.

රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසැල් සහ පෞද්ගලික උපකාරක පංති හෙට (05) සිට වසා දැමිණි. 

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසැල් සහ පෞද්ගලික උපකාරක පංති හෙට (05) සිට වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පැවසීය.

ඒ අනුව එළඹෙන සිකුරාදා දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් සහ උපකාරක පංති වසා තැබීමට තීරණය කර තිබේ.

දිවයින පුරා පාසල්වල ගුරු පුරප්පාඩු 15,000 ක් පමණ පවතින බව ලංකා ගුරු සංගමය පවසයි.

පාසල් ‍ළමුන් සහ ස්ථාන මාරුවීම් අපේක්ෂාවෙන් සිටින ගුරුවරුන් ද මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කරමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසූවේ, 

“මේ පුරප්පාඩු නිසා පැහැදිලිවම ළමයට ගුරුවරයෙක් නෑ වගේම, ගුරු මාරු අපේක්ෂා කරන දුෂ්කර සේවාවල යෙදෙන ගුරුවරුන්ට අනුප්‍රාප්තිකයෙක් නොමැතිකමින්  ස්ථාන මාරු නිර්දේශ වී තිබුණත් ඔවුන්ට ස්ථානමාරු වීම් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. මෙය බරපතළ අර්බුදකාරී තත්ත්වයක්. දැනටමත් ජාතික අධ්‍යාපන පීඨ 19 න් ගුරුවරු 5000කට ආසන්න ප්‍රමාණයක් එළියට ඇවිත් තියෙනවා. ඒ අය පාඨමාලා අවසන් කර තිබුණත් ඔවුන්ට පත්වීම් දීලා නැහැ. පාසල් උපදේශන සඳහා ගුරුවරු බඳවා ගන්න සම්මුඛ පරීක්ෂණ තියලා විභාග තියලා සුදානම් කරලා නාමලේඛන තියලා 2000කට වැඩි පිරිසක් ඉන්නවා. ඒ අයටත් පත්වීම් දීලා නැහැ. ඒ නිසා රජයෙන් ඉල්ලනවා වහාම ගුරු පුරප්පාඩු පියවන්න කියලා.“ යනුවෙන් පැවසීය. 

පාසල් ළමුන්ට ලබන වසරේ සිට නිල ඇඳුම් සඳහා වවුචර්පත් වෙනුවට පෙර පරිදි රෙදි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 

එම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)  පැවති කැබිනට් මණ්ඩලය රැස්වීමේදීය.

මේ අතර ලබන වසරේ සිට පාසල් ළමුන්ට සහ ආරක්ෂක හමුදා සාමාජිකයින්ගේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්වී තිබේ.

ජනාධිපතිවරයා ඊයේ (28) දින රෙදි නිෂ්පාදනය සිදුකරනු ලබන කර්මාන්ත ශාලා කිහිපයක නිරීක්ෂණ චාරිකාවක යෙදුනේය.

සුළු සහ මහා පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

දංකොටුව, කර්මාන්තපුරයේ Dankotuwa Textile Mill (Pvt.) Ltd, කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial  (Pvt) Ltd සහ වත්තල Creative Textile Mill (Pvt) Ltd ආයතන නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා මේ බව පැවසීය.

පාසල් නිල ඇඳුම් සඳහා ක්‍රියාත්මක කළ කූපන් ක්‍රමයත් සමග විශාල ප්‍රාග්ධනයක් වැයකර ආරම්භ කළ ආයතන කිහිපයක් වසා දැමීමට සිදුවූ බව කර්මාන්තකරුවෝ පවසන අතර ඒ හේතුවෙන් විශාල පිරිසකට රැකියා අහිමි වූ බව ඔවුන් සඳහන් කරන ලදී.

දංකොටුව කර්මාන්තයේ පුරයේ පිහිටුවා ඇති Creative Textile Mill  (Pvt) Ltd ආයතනය ප්‍රථමයෙන් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරිණි.

රුපියල් මිලියන 2,000ක ආයෝජනයකින් ස්ථාපිත කළ එම කර්මාන්ත ශාලාව 2015 වසරේ සිට වසා තබා තිබූ අතර කිසිදු ආදායමක් නොලැබුණ ද වසරකට රුපියල් මිලියන 8ක බැංකු පොළීයක් ගෙවීමට හිමිකරුට සිදුව තිබේ.

Creative Textile ආයතනය ඉන්දියාව, පාකිස්තානය සහ චීනය යන රටවලින් නූල් ආනයනය කර රෙදි නිෂ්පාදනය කිරීමෙන් 500 දෙනෙකුට රැකියා සපයා ඇත.

එහි නිෂ්පාදන ධාරිතාව දිනකට රෙදි මීටර් ලක්ෂය දක්වා වැඩිකිරීමට අපේක්ෂා කෙරේ.  වාර්ෂික පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව මීටර් මිලියන 11කි.

මාතර හක්මන ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු හා ගුරුවරියක සිය විවාහ මංගල උත්සවයට පෙර ප්‍රී ෂූට් ගැනීමට එම පාසල යොදා ගැනීම ගැන එහි ආදි ශිෂ්‍ය සංගමය හා දෙමාපියන් දැඩි විරෝධය පල කර තිබේ.

මේවන විට එම සිදුවීම පිළිබඳ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර ඇති බව එම විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රසන්න කොඩිකාර මහතා පවසයි.

එම ගුරුවරයාගේ මංගල උත්සවය පෙරේදා(23) පවත්වා තිබෙන අතර එහි ෆී ෂූට් එකේ ඡායාරූප අදාල ඡායාරූප ශිල්පියා විසින් ෆේස්බුක් සමාජ ජාලයට එක්කර තිබේ. ඒ සමඟ මේ පිළිබද දැඩි විරෝධයක් පල කර ඇත.

කෙසේ වෙතත් එම පාසලේ විදුහල්පතිනිය සඳහන් කර ඇත්තේ එය සාමාන්‍ය දෙයක් බවයි.

එම ගුරුවරයා සහ ගුරුවරිය එම ඡායාරූප ගෙන ඇත්තේ පාසල් නිවාඩු දිනයකදීය.  

රුපියල් බිලියන තුනක් වැය කරමින් ජාතික පාසල් හා පළාත් පාසල් සඳහා ටැබ් පරිගණක ලක්ෂය එකවර මිලදී ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙයි.

ටැබ් පරිගණක ලබා ගැනීම සඳහා ලංසු ප්‍රදානය කර ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් 12 වැනිදාය.

ටැබ් පරිගණක ලක්ෂයක් මිලදී ගැනීමට නියමිත අතර මේ වනවිට ටැබ් පරිගණක 96,919ක් නිෂ්පාදනය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

එම හේතුවෙන් ටැබ් පරිගණක එකවර මිලදී ගැනීමට අනුමැතිය ඉල්ලා අධ්‍යාපන අමාත්‍යාංශය ඇමැති මණ්ඩලය වෙත පසුගිය 21 වැනිදා සංදේශයක් ඉදිරිපත් කර තිබුණි.

මේ අතර මීළඟ අයවැයෙන් මුදල් වෙන්කරන තුරු 2019 ආරම්භ කරන ලද පාසල් පරිගණක හා උපාංග සැපයීමේ ප්‍රසම්පාදනය අවලංගු කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

තවද සුහුරු පන්ති කාමර උපකරණ මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය සහ ගුණාත්මක ඉගෙනුම් පරිසරයක් ඇති කිරීම සඳහා පන්ති කාමර ඩෙක්ස්, පුටු සැපයීමද අවලංගු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ අතර 2021 වසරේ ජන හා නිවාස සංගණනය සඳහා දත්ත රැස් කිරීමටද පරිගණක 18000ක් ලබා ගැනීමටද මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින්, පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළිව ප්‍රතික්ෂේප කරන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයාගේ, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ, අග්‍රාමාත්‍යවරයාගේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්ගේ සහ වෙනත් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නියෝගයක් බව සඳහන් කොට පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස බලපෑම් කරමින් විදුහල්පතිවරුන් වෙත ලිපි යොමු කිරීමට ඇතැම්දෙනා පෙළඹී සිටිනි බව ජනාධිපති මාධ්‍ය අංශ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ සමහර අවස්ථාවල රජයේ නිලධාරීන් ද මෙවැනි ලිපි යවන බව නිරීක්ෂණය කර වී ඇති බවය.

විදුහල්පතිවරුන් තම පාසලට ළමයින් ඇතුළත් කර ගැනීමේ දී එබඳු කිසිදු ලිපියක් පදනම් කර නොගත යුතු බවත් ළමයින් පාසල්වලට ඇතුළත් කළ යුත්තේ සම්මත රෙගුලාසි සහ පරිපාටිය අනුවම පමණක් බවත් ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මේ නියමය කඩකරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති ලේකම්වරයා සියලු විදුහල්පතිවරුනට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය අවමවීමත් සමග යළි ආරම්භ වූ පාසල්වල පන්ති පැවැත්වෙන කාලසීමාව යලි සංශෝධනය කර තිබේ.

ඒ අනුව 10 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා සැප්තැම්බර් මස 2වනදා සිට උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

මේ පිළිබදව දිවයිනේ සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් පාලන හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු සියලුම පාසල් විදුහල්පතිවරුන් වෙත උපදෙස් දී ඇත.

සිසුන් 200 වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් දුන් උපදෙස් ලිහිල් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳ අවධානය යොමුකරමින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

දිවයින පුරා පාසල්වල අධ්‍යයන කටයුතු පසුගිය 10 වන දා ආරම්භ කෙරුණු අතර සිසුන් 200ට වැඩි පාසල්වල එක් එක් ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල වෙත කැඳවිය යුතු දින අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබුණි.

ලබාදී ඇති සෞඛ්‍ය සෞඛ්‍ය නිර්දේශ යටතේ පාසල් පවත්වාගෙන යා හැකි නම් සිසුන් සාමාන්‍ය පරිදි ගෙන්වා ගැනීමට බාධාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.