October 20, 2020

ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින්, පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළිව ප්‍රතික්ෂේප කරන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයාගේ, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ, අග්‍රාමාත්‍යවරයාගේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්ගේ සහ වෙනත් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නියෝගයක් බව සඳහන් කොට පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස බලපෑම් කරමින් විදුහල්පතිවරුන් වෙත ලිපි යොමු කිරීමට ඇතැම්දෙනා පෙළඹී සිටිනි බව ජනාධිපති මාධ්‍ය අංශ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ සමහර අවස්ථාවල රජයේ නිලධාරීන් ද මෙවැනි ලිපි යවන බව නිරීක්ෂණය කර වී ඇති බවය.

විදුහල්පතිවරුන් තම පාසලට ළමයින් ඇතුළත් කර ගැනීමේ දී එබඳු කිසිදු ලිපියක් පදනම් කර නොගත යුතු බවත් ළමයින් පාසල්වලට ඇතුළත් කළ යුත්තේ සම්මත රෙගුලාසි සහ පරිපාටිය අනුවම පමණක් බවත් ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මේ නියමය කඩකරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති ලේකම්වරයා සියලු විදුහල්පතිවරුනට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට තිබෙන වාහන තොග තවත් වසර දෙකහමාරකට ප්‍රමාණවත් බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසූන්දර මහතා පවසයි.

වාහන ආනයන කර්මාන්තය බොහෝ සෙයින් විදේශ විනිමය රටින් පිටතට ගෙන යන කර්මාන්තයක් වන බව ද මේ වන විට රජය ආනයනය සීමා කර ඇත්තේ අනවශ්‍ය භාණ්ඩ පමණක් බව ද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (24) දෙරණ රූපවාහිනී වැඩසටහන සමග එක්වෙමිනි.

ජනාධිපති ලේකම්වරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ,

“ආනයනය සීමා කරලා තියෙන්නේ ඕනේ නැති ඒවා. උදාහරණයක් හැටියට මෝටර් රථ. ලංකාවට ගෙනල්ලා තියෙනවා 2019 දක්වා අවුරුද්දකට ඩොලර් මිලියන 1,000 ත් 1,200 ත් අතර ප්‍රමාණයක්. නැව් පිටින් එන්නේ. එහෙම ඇවිල්ලා 2015-2019 කාලවල රටේ ගොඩගැහිලා තියෙන වාහන ස්ටොක් එක අවුරුදු දෙකහමාරකට ප්‍රමාණවත්. ඔබට දැන් අවශ්‍ය නම් දැන් ගිහිං හොඳම වර්ගයේ වාහනයක් මිල දී ගන්න පුළුවන්. ගාණ වැඩිවෙන එක වෙනම ප්‍රශ්නයක්. ඒ තරම් වාහන තොග තිබෙනවා.

එතකොට අපි තවත් විදේශ විනිමය අර්බුදයකුත් තියාගෙන ආනයනය වැඩියි කිය කියා ඉන්නවා. මොනවා ද මේ ගෙන්නන්නේ. වාහනයක් ගෙන්නලා රීකන්ඩිෂන් කරලා එක්ස්පෝර්ට් කළා නම් ඒකේ ලොජික් එකක් තියෙනවා. මේක එහෙම එකක් නෙමෙයි. ඩොලර් බිලියන 1.2 ක් අරන්, ඊට පස්සේ ඒකට තෙල්, ස්පෙයාර් පාර්ට්ස් ගේන්න ඕනේ, සර්විස් ෆීස්, රෝයල්ටීස් ගෙවන්න ඕනේ. තනිකරම විදේශ විනිමය පිටතට යන කර්මාන්තයක්. තෙල්මිල වැඩි කාලෙට ලෝක වෙළෙඳ පොළේ තෙල්මිල වැඩි කියනවා. ඒත් තෙලුත් එහෙන්. වාහනත් පිටරටින් ගෙන්වන්නේ. එතකොට මුළු රටම දෘෂ්ට චක්‍රයක ආර්ථික වශයෙන් හැසිරෙනවා. එය රිවස් කරන්න නිර්භිතකමක් තියෙන්න ඕනේ. ස්ථීර ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. තීන්දු ඉක්මනින් ගන්න ඕනේ. ගැනෙන තීන්දුව ඉක්මනින් ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. “ යැයිද ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය.