October 20, 2020

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් කාන්තාවක් පොලිස් අත්අඩංගුවේදී මියගිය බවට චෝදනා කරමින් ඇයගේ ඥාතීන් පිරිසක් ඊයේ (16) හික්කඩුව පොලීසිය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇති වූ අසනීප තත්ත්වයක් මත කරාපිටිය රෝහලට ඇතුළත්කර සිටියදී ඇය මියගොස් තිබේ.

හික්කඩුව කලුපේ ප්‍රදේශයේ 52 හැවිරිදි කාන්තාවක් පසුගිය 13 වැනිදින හික්කඩුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට අදාළවය.

පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම් අතරතුරදී අදාළ සැකකාරියට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය කාරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර එම කාන්තාව ඊයේ පස්වරුවේ මියගොස් ඇති බව වාර්තා විය.

සිද්ධිය සැළවීමත් සමඟ මියගිය කාන්තාවගේ පවුලේ ඥාතීන් විසින් හික්කඩුව පොලිස් ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවූයේ පොලීසිය සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇය මිය ගිය බවට චෝදනා කරමිනි.

ඇයගේ මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති අතර සිද්ධිය පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකය.

පොලීසිය සමග වෙඩි හුවමාරුවෙන් මියගිය “රත්මලානේ රොහා“ නැමැත්තාගේ සමීපතමයින් සිවු දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (03) පස්වරුවේ සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී රත්මලාන ගොනාකෝවිල ප්‍රදේශයේ වළදමා තිබූ වෙඩි උණ්ඩ තොගයක්ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

ටී 56 වර්ගයේ උණ්ඩ 255 ක් , මිලිමිටර් 9 වර්ගයේ උණ්ඩ 4, මිලිමීටර 8 වර්ගයේ උණ්ඩ 3ක් මෙහිදී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් “රත්මලානේ රොහා“ සමග නුවරඑළිය ප්‍රදේශයේ පැවති සාදයකටද සහභාගී වී ඇති බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවක් අනුව පසුගිය 28 වෙනිදා දින දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයේදී දුම්රිය ගේට්ටුව වසා තිබියදී දුම්රිය මාර්ගය හරහා ධාවනය වූ අළුත්ගම සිට කොළඹ දක්වා ධාවනය වූ සුඛෝපභෝගී පුද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ රියදුරු සහ කොන්දොස්තරවරයා අද දිනයේදී කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

.

පොලිස් වෙඩි පහරින් මියගිය අපරාධකරුවෙකු වන ගොනාකෝවිලේ රොහාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (26) සිදුකෙරුණි. 

ඝාතන සිද්ධි රැසකට පොලිසීයට අවශ්‍යයව සිටි හැරල්ඩ් රෝහණ ද සිල්වා හෙවත් “ගොනාකෝවිලේ රොහා“ මීගමුව කොච්චිකඩේ පෝරුතොට කම්මල් මෝය පාර වෙරළ තීරය හරහා ඉන්දියාවට පැනයාමට උත්සහ කිරීමේදී පොලිස් වෙඩි පහරකින් මියගියේ පසුගිය 24 වනදාය. 

මියගිය රොහාගේ දේහය අඟුලාන පොදුජන මාවතේ පිහිටි ඔහුගේ නිවසේ අද දහවල් වනතුරු තැන්පත් කර තිබුණි. 

ඉන් අනතුරුව මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු අගුලාන කතෝලික පොදු සුසාන භුමියේදී  සිදුකෙරුණි.

එම වීඩියෝව පහතින්,

ගතවූ පැය 24ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවි‍ධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 400කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරින් පුද්ගලයින් 330 දෙනෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා අත්අඩංගුවට ගෙන ඇත.

වෙනත් වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 72 කු ද අත්අඩංගුවට පත්ව තිබේ.

එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 143 දෙනෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 108 යි මිලිග්‍රෑම් 48 ක් පොලිස් භාරයට ගෙන තිබේ. 

මේ අතර බොරැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී කොකේන් ග්‍රෑම් 36 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ලග්ගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න මහතා ඇතුළු 08 දෙනෙකු සූදු ක‍්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී ඊයේ(15) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය ලග්ගල ලේල්ඔය ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදීය සභාපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතරින් 07 දෙනෙකු පොලිස් ඇප මත මුදා හැර ඇත.

ඔවුන්ට එළඹෙන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පොලිසිය දැනුම් දී තිබේ. 

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 01 යි මිලිග‍්‍රෑම් 220 ක් සොයාගෙන තිබේ. එම සැකකරු පොලිස් ඇප මත මුදා හැර නොමැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යයාලය පැවසීය.

අදාළ සැකකරු ලග්ගල, විල්ගමුව ආදී ප‍්‍රදේශවලට හෙරොයින් සහ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත ”යකා” නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙකි. 

බණ්ඩාරගම, අටළුගම, මාරව ප්‍රදේශයේ ගංජා ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ජාවාරම්කරුවන් පහරදී තිබිණි.

එහිදී පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු, සැරයන්වරියක් හා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලැබීය.

“ගොටුකොළ රිෆායි“ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බණ්ඩාරගම, අටළුගම, මාරව, ඉජිතුමා මාවත ප්‍රදේශයේ නිවසක ගංජා ජාවාරමක් සිදුකරන බවට බණ්ඩාරගම පොලීසියට තොරතුරු ලැබී තිබූ අතර ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට ගොස් වැටලීමක් සිදු කර තිබේ. 

එහිදී නිවැසියන් පිරිසක් විසින් පොලිස් නිලධාරීන්ට බාධා කර තිබිණි. පසුව ගංජා ජාවාරම සිදුකරන නිවසේ සිටි කාන්තාවන් පිරිසක් පොලිස් කාන්තාවන් දෙදෙනෙකුට කෙස්වැටියෙන් ඇද පහරදී තිබේ.

එම අවස්ථාවේ දී එක් කාන්තාවක් පොලිස් කාන්තාවකට පා පහරක් ද එල්ල කර ඇති අතර පොලිස් අත්අඩංගුවට පත් වූ පුද්ගලයෙකු නිදහස් කර ගැනීමට එම කාන්තාවන් පිරිස උත්සාහ දරා තිබිණි.

මේ අතරතුර දී ගංජා ජාවාරමේ යෙදෙන බවට පැවසෙන තවත් පුද්ගලයෙකු පිහියක් ද රැගෙන විත් පොලීසියට පහරදීමට උත්සාහ කර ඇත.

පසුව සැකකරුවන් ජීවත් වූ නිවස පොලිස් නිල සුනඛයන් ද යොදාගනිමින් පරීක්ෂා කළ අතර එහිදී නිවස තුළ තිබී කේරල ගංජා ග්‍රෑම් 500 ක් සොයා ගනු ලැබීය.

කෙසේ වෙතත්, පහරදීම සිදුකළ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත් අතර, ඒ අතර 15 හැවිරිදි දැරියක් ද සිටින බව පොලීසිය පවසයි. 

සැකකරුවන් සියලු දෙනා එකම පවුලේ ඥාතීන් වන අතර, පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි. 

රුපියල් 60,000ක අල්ලසක් ලබා ගැනීමේ දී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු භෝජනාගාරයේ සැපයුම් අංශයට අනුයුක්ත භාණ්ඩ භාරගැනීමේ නිලධාරියෙකු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් කඩුවෙල ප්‍රදේශයේ පදිංචි අංජන මාලිංග නැමැති පුද්ගලයා අද (04) අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු භෝජනාගාරය සඳහා සැපයුම්කරුවෙකු විසින් සපයනු ලබන පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින පලතුරු තොග ප්‍රතික්ෂේප නොකොට බාර ගැනීම සඳහා මෙම සැකකරු විසින් මාසිකව අල්ලස් වශයෙන් රුපියල් 30000ක් බැගින් මුදල් ඉල්ලා ඇති බව හෙළිවී තිබේ.

ඒ අනුව ඊට අදාළව අල්ලස් වශයෙන් රුපියල් 60,000 ක මුදලක් ලබා ගත් අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට තිබුණි.

විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවට අල්ලස් කොමිසම විසින් සිදුකළ දැනුම්දීම පිළිගත් මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.