April 25, 2024

ගම්මන්පිලගේ පදය වෙනස් වෙයි - ඇමරිකාව සමඟ පුද්ගලික කෝන්තරයක් නැහැලු

ඇමරිකාව සමඟ පෞද්ගලික තරහක් නොමැති අතර විරුද්ධ වූයේ MCC ගිවිසුමේ තිබූ ඇතැම් වගන්තිවලට බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

අපේ  ආණ්ඩුව සමයේ MCC ප්‍රදානයක් ගැන කියා තිබූ අතර ඒ සම්බන්ධයෙන් සාකච්ජා කරන බවක් පමණක් කියා  තිබුණු නමුත් පසුගිය පාලන සමයේ එය අත්සන් කිරීමට ඇමරිකාව මෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුවද කැමැත්තෙන් පසු වූ බව ගම්මන්පිල මහතා කියා සිටියේය. 

රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන ආකාරයේ ව්‍යාපෘතියකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ යෝජනා නොවූ බව හෙතෙම  පැවසුවේය. 

''මම එදත් කිව්වා අත්පුඩි ගහන්න අත්දෙකම ඕනේ. ඇමරිකාවට කෙතරම් ඕන වුණත් ලංකා ආණ්ඩුවට MCC ගිවිසුම අත්සන් කිරීමට වුවමනාවක් නැහැ. පසුගිය ආණ්ඩුව සමයේ අපි අතිශය බය වුණා මොකද  ඇමරිකාවටත් MCC සහ සෝෆා ඕනේ ලංකා ආණ්ඩුවටත් ඒක අත්සන් කරන්න කැමැත්ත තියෙනවා. අත්දෙකම එකතු වෙලා තිබුණේ අත්පුඩිය වදී කියලා අපි බය වුණා. අපි ලංකාව කියන අතේ එල්ලිලා අත පහුරු ගාපු නිසා එදා අත්පුඩිය ගහන එක වැලැක් වුණා.''

කෙසේවෙතත් මේ වන විට ඒ අත්පුඩිය ගහන්න ලංකා ආණ්ඩුවට අවශ්‍යතාවක් නැති අතර ඇමරිකාවට තනි අතින් අත්පුඩි ගහන්නත්  නොහැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී. 

Rate this item
(0 votes)