April 24, 2024

එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස ගෙනැවිත් තිබූ අපද්‍රව්‍ය බහාලුම් යළි එංගලන්තයට

ශ්‍රී ලංකාවේ රේගු , පරිසර සහ ආනයනය අපනයන නීති උල්ලංඝනය කරමින් , නීතිවිරෝධී ලෙස 2017 වසරේදී එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබූ අපද්‍රව්‍ය බහාලුම් 242 ක් , යළි ආපසු එංගලන්තය වෙතට ප්‍රති නැව් ගත කරන ලෙස පසුගියදා අභියාචනාධිකරණය දුන් තීන්දුව මත , ඒවා එරටට යැවීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කරමින් සිටින බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

මෙම අපද්‍රව්‍ය බහාලුම් තුළ එරට නිවෙස් තුළින් ඉවතලන  නාගරික අපද්‍රව්‍ය මෙන්ම රෝහල් තුළින් ඉවතලන සායනික අපද්‍රව්‍ය ද ඇති බව ද රේගුව සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී තිබුණි .

මෙම අපද්‍රව්‍ය බහාලුම් 242 ට පරිබාහිරව මෙරටට එංගලන්තයේ සිට ගෙන්වා තිබූ තවත් අපද්‍රව්‍ය බහාලුම් 21 ක් SEA NORWALK (V/039R) නැවෙන් ඉකුත් 2020.09.26 දින කොළඹ වරායෙන් එංගලන්තය බලා නැව් ගත කර තිබේ .

අභියාචනාධිකරණය මගින් විභාග වූ නඩුවට අදාල එංගලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ මෙම අපද්‍රව්‍ය බහාලුම් 242 න් 112 ක් මේ වනවිට කොළඹ වරායේ ගුදම් තුළ ගබඩා කර තිබේ .

ඒවා අතරින් කොළඹ වරායේ ඇති   මෙම අපද්‍රව්‍ය බහාලුම් වලින් 20 ක් 2020.10.30 දින සවස 5.00 ට කොළඹ වරායට ළගාවන Texas Triumph  නැමැති නැවෙන් නෙදර්ලන්තයේ , රොටර්ඩැම් වරාය ඔස්සේ එංගලන්තයට පිටත්  කර හැරීමට රේගුව කටයුතු යොදා තිබේ .

ඊට අමතරව කොළඹ වරායේ ඇති තවත් අපද්‍රව්‍ය බහාලුම් 65 ක් 2020.11.04 දින යළි එංගලන්තය වෙත නැව් ගත කිරීමට නියමිත අතර , ඒ පිළිබඳව මේ වනවිට අදාල නැව් සමාගම් සමග ශ්‍රී ලංකා රේගුව සාකච්ඡා කරමින් සිටිති .

ඉතිරි අපද්‍රව්‍ය බහාලුම් 10 ක් සහ 17 ක් යළි එංගලන්තය වෙත යැවීමට එරට බලධාරීන් සමග ශ්‍රී ලංකා රේගුව මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .

මීට අමතරව මේ ආකාරයට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට එංගලන්තයේ සිට රැගෙන විත් තිබූ අපද්‍රව්‍ය බහාලුම් 242 න් තවත් අපද්‍රව්‍ය බහාලුම් 130 ක් මේ වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ වූ කර්මාන්තශාලා ගුදමක ගබඩා කර ඇති අතර , ඒවා ද යළි එංගලන්තය වෙත ප්‍රති නැව් ගත කිරීමට එළඹෙන නොවැම්බර් මාසය තුළ දී අවශ්‍ය පියවර ගන්නා බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

ඒ සමගම මෙසේ නීතිවිරෝධී ලෙස අපද්‍රව්‍ය බහාලුම් එංගලන්තයේ සිට මෙරටට ගෙන්වූ පාර්ශවකරුවන් පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණයක් සිදු කර , ඊට අදාළ දඩුවම් පැමිණවීමට ද ශ්‍රී ලංකා රේගුව මේ වනවිට කටයුතු කරමින් සිටින බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය .

මෙම ප්‍රති නැව් ගත කිරීම් සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සහ අධීක්ෂණ කටයුතු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජී.වී.රවිප්‍රිය , රේගු අධ්‍යක්ෂ (සමාජ ආර්ක්ෂණ ) එස්.පී.අයි. බාලසූරිය , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ලාල් ගජධීර , රේගු අධිකාරී අෂොරොෆ් සම්සුදීන් , සහකාර රේගු අධිකාරීවරුන් වන තිළිණි ජයසුන්දර ,  කේ.කේ.එම්.සලීම් , පී.ජී.ගගන යන නිලධාරීන් විසින් සිදු කරති .

 

Rate this item
(0 votes)