April 26, 2024

හොරණ හිවල් උවදුර උග්‍ර අතට - දුරකථන අංකයක් හඳුන්වා දුන්නත් ප්‍රතිචාර නෑ

හොරණ මුවපට්ටිය සහ ඕවිටියාගල ප්‍රදේශවල ජනතාවට තවදුරටත් හිවලුන්ගෙන් තර්ජන එල්ල වෙමින් පවතී.

එම ජනතාව තවදුරටත් ඉන් පීඩාවට පත්ව ඇති බවට ආසන්නතම සිදුවීම පෙරේදා (24) වාර්තා වූයේ හිවලෙකු ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් අල්ලා ගැනීමත් සමඟ ය.

හොරණ මහඋඩුව ප්‍රදේශයේ සැරිසරමින් ප්‍රදේශවාසීන්ට හානි කිරීමට තැත්කළ හිවලෙකු ප්‍රදේශවාසීන් විසින් මෙලෙස අල්ලා වනජීවී නිලධාරීන්ට භාරදීමට කටයුතු කර තිබුණි.

එලෙස අල්ලාගත් හිවලා තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයෙන් ගසක ගැටගසා තිබුණි.

මෙම හිවලා පසුගිය දින කිහිපය පුරා ප්‍රදේශයේ සැරිසරමින් ප්‍රදේශවාසීන් සපාකෑමට තැත්කළ බව ප්‍රදේශවාසීන් පවසයි.

පසුව ප්‍රදේශවාසීන්ගේ දැනුවත් කිරීම මත එහි පැමිණි බෙල්ලන්විල වනජීවී කාර්යාලයේ නිලධාරීන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ හිවලා රැගෙනයාමට කටයුතුකර තිබේ.

කෙසේවෙතත් පවතින හිවල් උවදුර සම්බන්ධයෙන් දැනුම්දීමට දුරකථන අංකයක් හඳුන්වාදී තිබුණද ඉන් අවශ්‍ය අවස්ථාවල ප්‍රතිචාරයක් නොමැති බවට ගම්වාසීන් චෝදනා කරයි.

Rate this item
(0 votes)