April 17, 2024

කොරෝනා දෙවැනි රැල්ලේ චෝදනා ගැන බ‍්‍රැන්ඩික්ස් කතා කරයි Featured

සැලකිය යුතු මට්ටමින් කොරෝනා වසංගතය පාලනය වී තිබූ තත්ත්වයක යළිත් කොරෝනා රැල්ලක් හටගැනීම සහ ඊට බලපෑ හේතු පිළිබඳ රජයේ පාර්ශ්වයෙන් සහ විපක්ෂයෙන් ද විවිධ මත පළ වෙමින් තිබේ. මේ සියලූ වාද-විවාද මධ්‍යයේ නව රැල්ලට පාදක වූවා යැයි ප‍්‍රධාන වශයෙන් ඇඟිල්ල දිගු වූයේ මෙරට ප‍්‍රමුඛත ම ඇඟලූම් සමාගමක් වන බ‍්‍රැන්ඩික්ස් සමාගමටයි.

ඒ අතර ප‍්‍රධානම චෝදනාවක් වූයේ තම දේශපාලන සහ මූල්ය බලය යොදවාගෙන නිරෝධායන පිළිවෙත් මගහැර ඉන්දියාවේ සිට මෙරටට කාර්යමණ්ඩල සාමාජිකයන් ගෙන්වා ගත් බවය.

එම චෝදනාව ඇතුළු ඔවුන්ට විවිධ පාර්ශ්වවලින් එල්ල වූ චෝදනා රැසක් පිළිබඳ බ‍්‍රැන්ඩික්ස් සමාගමේ කළමනාකාරීත්වය වෙනුවෙන් හසිත පේ‍්‍රමරත්න මහතා සමූහ මූල්‍ය අධ්‍යක්ෂක, රජිව් මලලසේකර මහතා ප‍්‍රධාන විධායක නිලධාරී - බ‍්‍රැන්ඩික්ස් ලොන්ජරි පර්ෂදය, ලලිත් බණ්ඩාර ප‍්‍රධාන විධායක නිලධාරී - බ‍්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් පර්ෂදය මෙසේ පැවසූහ.
 
 ඉන්දියාවේ සිට කාර්යමණ්ඩල සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීමේදී ඔබ සමාගම විසින් නිරෝධායන පිළිවෙත් උල්ලංඝනය කළ බවට පළවන වාර්තා පිළිබඳ කීමට ඇත්තේ කුමක්ද?
 
 මුලින්ම අවධාරණයෙන් සඳහන් කරන්න කැමතියි අප විසින් එවැනි කිසිදු නිරෝධායන නීතියක් කඩකර නොමැති බවට. මේ එල්ලවන චෝදනා පිළිබඳව දෙයාකාරයකින් විස්තර කරන්න පුළුවන්. පළමුව මේ පිරිස ගෙන්වා ගැනීමට අනුමැතිය ලබා ගැනීමේ ක‍්‍රියාවලිය ගැන පැහැදිලි කරන්නම්. සමස්තයක් විදියට පසුගිය මාස හයක කාලය තුළ 45,000 කට අධික පිරිසක් රජය විසින් මෙරටට ගෙන්වාගෙන තිබෙනවා. ඒ අතරින් අපගේ පිරිස 341 ක් වැනි ඉතාම සුළු පිරිසක්. අප ඔවුන්ව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළේ, ඉන්දියාවේ වසංගත තත්ත්වය ඉතාම දරුණු අතට පත්වෙමින් තිබුණු නිසයි. කුඩා දරුවන් සිටි පිරිස් වගේම පවුල්වල නොවැළැක්විය හැකි ගැටලූ මතුවූ පිරිස් ද අපගෙන් ඉල්ලීමක් කළා හැකි ඉක්මනින් ඔවුන්ව මෙරටට ගෙන්වා ගන්නා ලෙස.
 
 ඉතාමත් සංවේදී ඉල්ලීම් නිසාම අපි මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට ඉල්ලීමක් කළා මේ තත්ත්වය පිළිබඳව. නමුත්, රජය විසින් ගුවන් යානා යොමු කරන්නේ රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ සලකා බැලීමෙන් අනතුරුව නිසා, අපට අවශ්‍ය දිනවලදී ගුවන් යානා වෙන්කරවා ගැනීමේ අපහසුතාවක් ද ඇති වුණා.
 
 මෙම තත්ත්වය යටතේ අපි අපගේ සාමාජික සාමාජිකාවන්ගේ ඉල්ලීම් ලෙස මානුෂීය මට්ටමකින් බලා විදේශ අමාත්‍යාංශයට දැනුම් දුන්නා, අපගේ සාමාජික සාමාජිකාවන් රජයේ අනුමත නීතිවලට යටත්ව අතිරේක ගුවන් යානා මගින් මෙරටට ගෙන්වා
 
 ගැනීමටත්, රජයේ නිර්දේශිත නිරෝධායන මධ්‍යස්ථානවල ඔවුන්ව නිසි අධීක්ෂණය යටතේ නිරෝධායනය සිදු කිරීමටත් සහ ඒ සඳහා වැය වන පිරිවැය අප විසින් දැරීමට සූදානම් බවත්. රජය අපට විශේෂ ගුවන් වාර ලබාදීමට තීරණය කළේ ඉන් පසුවයි. මෙම අනුමැති ක‍්‍රියාවලියට අදාළ සියලූ ලියැකියවිලි අප සතුව තිබෙන අතර අදාළ පාර්ශ්වයන්ට අපි ඒවා ඉදිරිපත් කරලා තිබෙනවා. සියලූම නිරෝධායන අදියර අධීක්ෂණය කරනු ලබන්නේ යුද හමුදාව විසින්. අප අපගේ කාර්යමණ්ඩලයේ පිරිස් නිරෝධායනයට යොමු කිරීමට පහසු වීම සඳහා ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගෙන්වන ලෙස රජයෙන් ඉල්ලා සිටියත්, ගුවන්තොටුපළවල පිරිස් ගැවසීම කළමනාකරණය කළ යුතු වූ බැවින් මත්තල ගුවන්තොටුපළට මගීන් ගොඩ බැස්සවීමට රජය තීරණය කළා. ඕනෑම රටක සිට පැමිණෙන පිරිස් යුද හමුදාවේ අධීක්ෂණය යටතේ ගුවන් තොටුපළේදීම විෂබීජහරණයට ලක් කර PCR පරීක්ෂණවලට ලක් කරනවා. ඉන් පසුව සියලූ දෙනාම අනිවාර්ය නිරෝධායනයට යොමු කරනවා. එම දින 14 ක කාලයෙන් පසුව අදාළ පොලිස් ස්ථානයේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සියලූ දෙනා තවත් දින 14 ක් ස්වයං නිරෝධායනට ලක්වුණා. එම නිරෝධායන අදියර සම්පූර්ණ කළ පසුව යුද හමුදාපතිතුමාගේත්, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්තුමාගේත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේත් අත්සනින් නිකුත් කරන සහතික ද අප සතුව තිබෙනවා. ඒවා දැනටමත් මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
 
 මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔබගේ කාර්යමණ්ඩල සාමාජිකයන් අධීක්ෂණය නොකළ බවට ප‍්‍රකාශ කර තිබුණා?
 
 පළමුවැනි ගුවන් යානයේ ගෙන්වූ පිරිස මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සාර්ථකව නිරෝධායන කාලසීමාව නිම කළා. මේ ගැටලූව ගොඩක්ම මතු වුණේ අවසාන කණ්ඩායම පිළිබඳවයි. ඔවුන් සියලූ දෙනාම හමුදාවේ අධීක්ෂණය යටතේ අනිවාර්ය නිරෝධායන දින 14 අවසන් කර ස්වයං නිරෝධායනය සඳහා ඔක්තෝබර් මස 6 වැනිදා පිටත්ව ගිය අතර, ඔක්තෝබර් මස 7වැනි දින, ඔවුන් සියලූ දෙනාම රජයේ නිර්දේශය අනුව තමන්ට අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යටතේ ස්වයං නිරෝධනය සඳහා ලියාපදිංචිව තිබෙනවා. එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවා සඳහන් කර තිබුණා, ඔවුන් ඒ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව දන්නා නමුත්, ඔවුන් බ‍්‍රැන්ඩික්ස් සමාගමේ සේවය කළ බව තමන් දැන නොසිටි බව.
 
 කොහොම නමුත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ මොහොතේ දැවැන්ත කාර්යභාරයක් ඉටුකරන මෙවන් මොහොතක මෙවැනි සන්නිවේදන අක‍්‍රමිකතාවයක් සිදුවීම සම්බන්ධව ඔවුන්ට ඇඟිල්ල දිගු කිරීම යුතු නැති බවයි මගේ හැඟීම. මොකද, මේ මොහොතේ අපට සමාගමක් ලෙස දැනෙන පීඩනය, ඔවුන්ට ද එලෙසින්ම දැනෙන බව අප දන්නා නිසා.
 
 ඔබගේ සමාගම විසින් පුද්ගලික ආයතනයක් හරහා PCR පරීක්ෂණ සිදුකළ බවත් ඒ පිළිබඳ තමන්ට සැකයක් පවතින බවත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය සඳහන් කර තිබුණා. එහි සත්‍ය - අසත්‍යතාව කුමක්ද?
 
 කිසිම කෙනකුට තමන්ගේ අභිමතය පරිදි රෝහලක් හෝ ආයතනයක් හරහා PCR පරීක්ෂණ සිදුකළ නොහැකියි. එම රෝහල අනිවාර්යයෙන්ම PCR පරීක්ෂණ සිදුකිරීම සඳහා රජයේ රසායනාගාර අනුමැතිය හිමි ආයතනයක් විය යුතුයි. යුද හමුදාවේ අධීක්ෂණය යටතේ පවතින, රජය විසින් PCR පරීක්ෂණ සිදුකිරීම සඳහා අනුමැතිය ලබා දී තිබූ මෙරට ප‍්‍රධාන පෙළේ පුද්ගලික රෝහලක් මගින් තමා අපි PCR පරීක්ෂණ සිදුකරනු ලැබුවේ.
 
 අසනීප තත්ත්වයක් තිබියදී පවා තමන්ට සේවයට වාර්තා කරන ලෙස කළමනාකාරීත්වය බලපෑම් කළ බවට සාමාජිකාවක් චෝදනා කර තිබුණා. එහි සත්‍යතාවක් තිබෙනවාද?
 
 අපේ සමාගමේ මානව සම්පත් අංශයක් තිබෙනවා. ඊට අමතරව, සෑම කර්මාන්තශාලාවකම සේවක මණ්ඩලයක් පිහිටුවා තිබෙනවා. එහිදී සාමාජික-සාමාජිකාවන්ට තිබෙන ඕනෑම ගැටලූවක් ඉදිරිපත් කළ හැකියි. සැප්තැම්බර් මාසයේ මැද පැවති සේවක මණ්ඩල රැස්වීමේදී පවා මෙවැනි ගැටලූවක් ඉදිරිපත් වී තිබුණේ නැහැ. කෙසේ වෙතත්, මේ පිළිබඳ මාධ්‍ය හරහා යම් යම් චෝදනා එල්ල වූ නිසා අප විසින් වෘත්තීයවේදීන්ගෙන් සමන්විත ස්වාධීන ත‍්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා.
 
 තවමත් මිනුවන්ගොඩ කර්මාන්තශාලාව මුළුමනින්ම වසාදමා තිබෙන අතරම, එහි සාමාජික සාමාජිකාවන් රෝහල්වල මෙන්ම නිරෝධයන මධ්‍යස්ථානවල සිටිනා නිසා තොරතුරු කඩිනමින් ලබාගැනීමේ අභියෝගයක් ඇති වී තිබෙනවා. කෙසේ වෙතත්, හැකි ඉක්මනින් මෙම විමර්ශන කටයුතු අවසන් කිරීමට අපි කටයුතු කරනවා. එමෙන්ම මීට සමගාමීව රජය විසින් සිදුකරනා සියලූම විමර්ශන කටයුතු සඳහා ද අපගේ උපරීම සහයෝගය ලබා දෙනවා. අපගේ ස්වාධීන විමර්ශන මගින් ලැබෙන තොරතුරු අනුව ඒවාට නිසි ක‍්‍රියාමාර්ග විනිවිදභාවයක් ඇතිව ගන්නා බවටත් අපි තරයේ සහතික වෙනවා.
 
 ඔබ ඒ වන විට ක‍්‍රියාත්මක කර තිබූ සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රමවේද මොනවාද?
 
 අපගේ සියලූම පරිශ‍්‍ර තුළ උෂ්ණත්වය පරීක්ෂා කිරීම, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑම සහ මුඛ ආවරණ පැළඳීම ඇතුළු දැඩි සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කළා. අපගේ සෑම පරිශ‍්‍රයකම සිටින සෞඛ්‍ය ආරක්ෂණ නිලධාරීන් නිරන්තරයෙන් පරිශ‍්‍රයේ වාතාවරණය පිළිබඳ කළමනාකාරීත්වය දැනුවත් කරනවා. ඊට අමතරව සති දෙකකට වරක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයන් අපගේ කර්මාන්තශාලාවල සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් නිරීක්‍ෂණයට පැමිණෙනවා.
 
 තවද, නිසි සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට අවශ්‍ය නිසා විශාල පිරිසක් සේවයට කැඳවීමෙන් තොරව මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑමට අප කටයුතු කළා. රජයේ නිර්දේශවලට අනුව අපගේ ඇණවුම් පෙර පරිදිම සිදු කිරීම අභියෝගයක් වූ නිසා අපගේ ඇණවුම් වෙනත් දේශීය සමාගම් මගින් සිදුකර ගැනීමට පවා කටයුතු කළා. දැනටත් එවැනි සමාගම් රැසක් අපගේ ඇණවුම් සඳහා නිෂ්පාදන සිදුකරනවා.
 
 ඔබ සමාගම මෙරටට විශාලතම විදේශ විනිමය හිමිකර දෙන සහ ලොව පුරා ප‍්‍රකට සන්නාම රැසකට නිෂ්පාදන සපයන සමාගමක්. පවතින තත්ත්වය හමුවේ ඔබගේ කීර්තිනාමයට සහ ඇණවුම්වලට සිදු වී ඇති බලපෑම කෙබඳුද?
 
 ඇත්ත වශයෙන්ම, අපේ සේවාලාභීන් අප සමග කටයුතු කරන්නේ අප සතු කීර්ති නාමය නිසයි. ඔවුන් අපගේ අනුකූලතා මට්ටම් (compliance standard) පිළිබඳ ඉතා හොඳින් දන්නවා. එම නිසා ඔවුන් සහ අප අතර තිබෙන සබඳතාවයේ කිසිදු පළුදුවීමක් සිදුවී නැති බව විශ්වාසයෙන් කිව හැකියි.

Rate this item
(1 Vote)