March 28, 2024

සියදිවි නසා ගත්ත ඇන්ටෝනියෝ සීසර් මැරුවේ කොහොමද? - රෝම ඉතිහාසය අලුතින් ලිව්ව ඩයනා

පසුගිය 22 වැනිදා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය 2/3ක බහුතරයකින් සම්මත විය. එම සම්මත වීම වන අවස්ථාවේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකුද තමන්ගේ සහාය ආණ්ඩු පක්ෂය වෙත ලබා දීම කැපී පෙනුණි.

මේ අතරින් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක වන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශයට පත් කිරීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණි. 

එවන් අවස්ථාවක ඇය විිසින් ඊයේ (24) පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ පැවති විවාදයේ දී කතා කරමින් ඇය ආණ්ඩු පක්ෂයට ඡන්දය දීමට හේතු වු කාරණාව පවසා සිටියේ රෝම ඉතිහාසයේ කතාවක්ද පවසමිනි.

ඩයනා ගමගේ මහත්මිය ඇයගේ කතාවේ දී සඳහන් කර සිටියේ ඇන්ටෝනියෝ රෝමයේ සීසර්ව මරපු බවත්, එම ඝාතනයෙන් අනතුරුව ඔහු එම පිහිය රැගෙන විත් රෝමයේ ජනතාවට "මම සීසර්ව මැරුවා" ලෙස පැවසූ බවත්, අන්තෝනියෝ යනු සීසර්ගේ ළඟින්ම සිටි වඩාත් ඇසුරු කළ පුද්ගලයා බවයි.

එම අවස්ථාවේ අන්තෝනියෝගෙන් සීසර්ව ඝාතනය කළ හේතුව රටේ ජනතාව විමසූ බවත් පවසන ඇය තව දුරටත් කියා සිටියේ අන්තෝනියෝ එම අවස්ථාවේ දී පවසා සිටියේ තමන් සීසර්ට ආදරය කළ බවත්, ඊටත් වඩා තමන් රෝමයට ආදරය කළ බවෙයි.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය එම කතාව තමන්ට ආදේශ කරගනිමින් පැවසූවේ තමනුත් තමන්ගේ රට ආදරය කරන බවයි.

නමුත් රෝම ඉතිහාසය තුළ සඳහන් වන පරිදි ජූලියස් සීසර්ව ඝාතනය කරන්නේ ඔහුගේ සෙනට් මණ්ඩලයේ සමාජිකයන් විසිනි. එහිදී එම ඝාතනයට මූලිකත්වය ගන්නේ මාකස් ජූනියස් බෘටස් විසිනි. ක්‍රි.පූ 44 මාර්තු 15 වැනිදා සෙනට් සභාවේ සැසිවාරයක් අතර සීසර්ගේ සෙනට් සභාවේ සමාජිකයන් පිරිසක් විසින් පිහිවලින් ඇන සීසර්ව ඝාතනය කළේය. එහිදී සීසර්ට කඩු කිනිසි පහරවල් 23ක් එල්ල කර ඝාතනය කළ බවද ඉතිහාසයේ සඳහන් වෙයි.

ඇන්ටෝනීයෝ නැතහොත් මාර්ක් ඇන්ටනි යනු සීසර් විසින් ඊජිත්තුවට යවන ලද සිය නියෝජිතයා වන අතර එහිදී ඇන්ටෝනියෝ විසින් සුරූපි ඊජිත්තු රැජින ක්ලියෝප්‍රැට්රා සමඟ පෙමෙන් බැඳෙන අතර පසු කළෙක සිදු වූ දේශපාලන කුමන්ත්‍රණ හමුවේ මාර්ක් ඇන්ටෝනියෝ සිය කඩුවෙන් ඇනගෙන සියදිවි නසා ගන්න බව ඉතිහාස මුලාශ්‍රයන්වල සඳහන් වෙයි.

එසේ සියදිවි නසා ගත් මාර්ක් ඇන්ටෝනීයෝ සීසර්ව ඝාතනය කළ බවක් කිසිදු ඉතිහාස මුලාශ්‍රයක සඳහන් වන්නේ නැත. ඩයනා ගමගේ මහත්මිය සිය දේශපාලන කරණම සාධාරණීයකරණය කිරීමට රෝම ඉතිහාසයද එලෙස අලුතින්ම ලියන්නටද කටයුතු කළාය.

සජිත් ප්‍රේමදාස මහතාට පිහියෙන් ඇන රට තෝරාගත් බවට ඇය ගෙන හැර දැක් වූ උදාහරණය හමුවේ මේ වන විට ඇයට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ අදහස් පළ වෙමින් තිබේ.

Rate this item
(9 votes)
Last modified on Saturday, 24 October 2020 11:25

Related items