April 27, 2024

PHI සභාපතිගේ ප්‍රකාශයෙන් බ්‍රැන්ඩික්ස් ගොඩ යන ලකුණු Featured

මෙරට වත්මන් කොරෝනා වෛරස් ව්‍යාප්තිය ඇරඹුණේ බ්‍රැන්ඩික්ස් පොකුරට පෙරද යන්න සම්බන්ධයෙන් යම් යම් සාධක මේ වනවිට අනාවරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ  සභාපති උපුල් රෝහණ මහතා පවසයි. සෞඛ්‍ය පද්ධතියේ ගැටළු මෙන්ම රට පවතින තත්වය පිළිබඳව ද ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ඒ මහතා අනාවරණය කළේය. 

උපුල් රෝහණ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් සමඟ සම්බන්ධ වෙමිනි. 

"පසුගිය 2 වෙනිදා රාත්‍රියේ ආරම්භ වෙච්ච මේ ආසාදනය මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශ දෙක ආශ්‍රිතව තමයි වාර්තා වුණේ. නමුත් මේ වෙද්දි ඒකෙන් බිහිවෙච්ච අනු පොකුරු 4ක් ඊයෙ රාත්‍රිය වෙද්දි ලංකාවේ වාර්තා වෙමින් තියෙනවා, සක්‍රියව තියෙනවා. 

විශේෂයෙන්ම කුලියාපිටිය ප්‍රදේශය, ඒවගේම කටුනායක වෙළඳ කලාපය ආශ්‍රිතව කර්මාන්තශාලා 11ක රෝගීන් වාර්තා වෙනවා, ඒවගේම මතුගම ආශ්‍රිතව රෝගීන් අනු පොකුරක් වාර්තා වෙනවා, ඒවගේම ඊයෙ දිනයෙදි වාර්තා වුණා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතව. 

දැන් තවදුරටත් ප්‍රධාන පොකුරෙන් බැහැරව මෙවැනි අනු පොකුරු කිහිපයක් වාර්තා වෙමින් තියෙනවා. ඒවගේම ඉදිරියේදී මෙවැනි තවත් අනු පොකුරු වාර්තා වීමේ අවදානමක් තියෙනවා. ඒනිසා ලංකාවේ ඕනෑම තැනක ඕනෑම මොහොතක මෙවැනි පොකුරක් වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඒනිසා අවදානම ඉතාම ඉහළින් ලංකාවෙ මේ වනවිට පවතිනවා කියන එක තමයි අපේ මතය"

වෛරසය සමාජගත වීමේ අවදානමක් පවතීද යන්න විමසීමේදී ඒ මහතා පැවසුවේ "ඇත්තටම දැන් මේ මොහොතේදී අපි සමාජගත වීමේ අවදානමේ එළිපත්තේ ඉන්නෙ. ඊයෙ සවස් භාගයේදී පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් වාර්තා වෙච්චි රෝගීන් එක්ක අපට යම් යම් කරුණු සහ අනාවැකි පහළ වෙමින් තියෙනවා මේක සමාජගත වෙමින් තියෙනවා කියන එකට. විශේෂයෙන්ම මේ වෙද්දි අපට රෝගීන් කිහිපදෙනෙක් වාර්තා වෙනවා, දැන් ඊයෙ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතව අහඹු සාම්පල් ලබාගැනීමෙන් තමයි මෙවැනි රෝගීන් ගණනක් වාර්තා වෙන්නෙ. කෙසේවෙතත් ඒ අහඹු සාම්පල් ලබාගැනීමට හේතුවුණේ බ්‍රැන්ඩික්ස් පොකුරේ යම් ආසාදිතයින්ගේ සංචරණය පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන්. 

කොහොමවුණත් මේ  රෝගීන් වාර්තා වුණේ කොහොමද ආසාදනය වුණේ කොහොමද ඒවගේම බ්‍රැන්ඩික්ස් පොකුරට කලින් යම් යම් සාධක තිබුණා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතව රෝගීන් වාර්තා වෙන්න. ඒවගේම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් සැක සහිතව මීට සති කිහිපයකට කලින් අපි අපේ ග්‍රහණයට අරගෙන තිබුණා, නමුත් ඔහුව රෝහල්ගත කිරීමේ හැකියාවක් ලැබුණෙ නෑ අපට ප්‍රවාහන පහසුකම් පිළිබඳ ප්‍රශ්නයක් නිසා. ඉතිං මේ නිසා අපට යම් සැකයක් උපදවා ගන්න පුළුවන් මේ මොහොතේ අපට හමුවන රෝගීන්ගේ මූලාශ්‍රයන් සොයාගැනීමට අපහසුතාවක් මතුවීමත් එක්කම සමාජයේ යම් තරමකට රෝගීන් පැතිර යමින් තියෙනවා කියලා" යනුවෙනි. 

ප්‍රශ්නය - ඔබතුමා ප්‍රකාශ කරන්නේ මේ බ්‍රැන්ඩික්ස් පොකුරටත් කලින් මේ සාධක සමාජයේ තැන් තැන්වල තිබුණා කියලාද ? 

"ඔව්, අපි දැන් කුලියාපිටිය ප්‍රදේශයේ මේ වෙද්දි පැතිරයමින් තියෙන අනුපොකුර සම්බන්ධව සලකා බැලුවොත් මේකෙදි වාර්තා වෙන්නෙ ප්‍රධාන වශයෙන් යම් ආගමික කටයුත්තක් සහ විවාහ මංගල උත්සවයක්. මේ ආගමික කටයුත්තට සහභාගී වෙච්ච 65%කට ආසන්න සංඛ්‍යාවක් ආසාදිතයො විදියට වාර්තා වෙනවා. ඉතිං මේ ආසාදිතයො වාර්තා වෙන්නෙ අපට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර වාර්තා වීමට කලින් තමයි මේ ආගමික කටයුත්ත පැවතිලා තියෙන්නෙ. ඒ හින්දා යම් තරමකට මේ තත්වය බ්‍රැන්ඩික්ස් පොකුරේ පුපුරා ගිහිල්ලා අනාවරණය වෙන්න කලින් යම් යම් ස්ථානවල පැවතුණාද කියලා සැක සහිත කරුණු මේ වෙද්දි අනාවරණය වෙමින් තියෙනවා"

පෑලියගොඩ තත්වය සහ අහඹු ලෙස පරීක්ෂණවලින් විශාල ප්‍රතිශතයක් රෝගීන් ලෙස හමුවීම පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ "අහඹු ලෙස සිදුකළ පීසීආර් පරීක්ෂණ 105කින් 49ක් ආසාදිතයින් ලෙස හමුවීම කියන්නෙ අපි ඒක නිවැරදිව අර්ථ දක්වා ගත්තොත් ඉතාම බරපතළ භයානක තත්වයක්. ඒ වගේම මේ පෑලියගොඩ ආශ්‍රිතව ලංකාවේ ධීවර වෙළඳසැල් සහ ධීවර වරායවල් සෘජු සම්බන්ධතා පවත්වනවා. ඒ නිසා මේ තත්වය ධීවර වරායවල් වලට සහ රටේ අනෙකුත් ප්‍රදේශවලට පැතිර යන්න පුළුවන්. 

ඒ නිසා ඇත්තටම අහඹු ලෙස ලබාගන්නා සාම්පල් සංඛ්‍යාව ඉහළ දැමිය යුතු වෙනවා තවදුරටත්. නමුත් ගැටළුවක් පවතිනවා මේ වෙද්දි පීසීආර් පරීක්ෂණ වාර්තා විශාල තොගයක් ලැබීමට නියමිතයි. තවදුරටත් ලැබෙමින් පවතිනවා. ඒ එක්කම පීසීආර් පරීක්ෂණ ඉහළ දමලා ලොකු තොගයක වාර්තා පෙන්ඩිං තියාගන්නවා කියන එකත් ප්‍රශ්නයක්. ඒවගේම පීසීආර් පරීක්ෂණ අහඹු ලෙස කිරීම ඉහළ දමාගැනීමේදී අපට ප්‍රායෝගික ගැටළු රාශියක් පහුගිය කාලෙ පැවතුණා, ඒවාට තවමත් විසඳුම් හම්බුවෙනවා කියලා පේන්න නෑ. විශෙෂයෙන්ම යම් යම් වෘත්තීය කණ්ඩායම් අතර තියෙන ගැටුම්, ඒවගේම පීසීආර් සාම්පල් ලබාගැනීමේ බිමේ තියෙන සම්පත් ප්‍රශ්නය, විශේෂයෙන්ම පුහුණු නිලධාරීන් නොමැතිවීම වැනි ගැටළු රාශියක් තවදුරටත් පවතිනවා. කෙසේවෙතත් අහඹු සාම්පල විශාල සංඛ්‍යාවක් ලබාගත යුතුව තිබෙනවා. ඊයෙ අපි පෑලියගොඩ 105ට වැඩි සාම්පල ගත්තා නම් විශාල පිරිසක් ආසාදිතයින් වශයෙන් හඳුනාගැනීමේ 99%ක ඉඩකඩ තියෙනවා. ඒවගේම එයින් තවදුරටත් පැතිරයාම පාලනය කරගන්න ප්‍රායෝගික වශයෙන් ඉවහල් වෙනවා" ලෙසිනි. 

කොරෝනා පාලනයට මුල් අවස්ථාවේ එක්ව සිටි යම් යම් අංශ අතර මේ වනවිට බිඳීමක් ඇතිව තිබීම මීට හේතුවන්නේදැයි විමසූ විට "ඔව්, පැහැදිලිවම අපි පළවෙනි රැල්ල පාලනය කරගන්න යොදපු ශක්තිය විශේෂයෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් සහ ප්‍රාදේශීය බලධාරීන් මේ තත්වය අර්ථ දැක්වූයේ අපි ඒ සීමාවලට වඩා එහා ගිහිල්ලා යම් යම් කටයුතු කරනවා කියලා. නමුත් මේ මොහොතේ දැන් පැහැදිලියි අපි සීමාවලට එහා ගියා නෙවෙයි අපි ඒ තත්වය දැඩිව රට තුළ පවත්වා ගත්තා නම් මහජනතාව සහ විශේෂයෙන් දේශපාලන අධිකාරියේ සියලුම දෙනා එකතුවෙලා මේ මොහොතේ අපි අත්විඳින දේ මෙතරම් දරුණුවට අත් නොවිඳින්න ඉඩ තිබුණා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

"බොහෝ පරස්පරතා මේ වෙද්දි පැන නඟිමින් තියෙනවා. විශෙෂයෙන් මේ ක්‍රියාවලිය ආරම්භයේදී වසංගත රෝග විද්‍යා අංශය සහ බිම්මට්ටමේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර තිබිච්ච සන්නිවේදන ක්‍රියාවලිය යම් යම් ස්ථනවලින් මේ වෙද්දි බිඳවැටෙමින් යනවා. අපට අවම වශයෙන් බොහෝ අවස්ථාවලදි නිරෝධායන කඳවුරුවලින් නිවෙස් කරා නිදහස් කරන ආසාදිතයෝ එහෙම නැත්නම් නිරෝධායනය කරන අයගේ තොරතුරු පවා මේ වෙද්දි නිවැරදිව ලැබෙන්නෙ නෑ. ඒවගේම අපට බිම්මට්ටමට ලැබෙන උපදෙස් මහජන සෞඛ්‍ය සේවයේ පරස්පරව උපදෙස් ලැබෙනවා. ඒවගේම ප්‍රායෝගික නොවූ උපදෙස් ලැබෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අපහසුතාවකට පත්වෙනවා මේ සම්බන්ධීකරණ කටයුත්තේ දුර්වලතාවය නිසා. 

ඒවගේම පහුගිය දින කිහිපයේම අපි විශේෂයෙන්ම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමියට සහ අමාත්‍යාංශ බලධාරීන්ට පෙන්වා දුන්නා මේ තත්වය වර්ධනය කිරීම සඳහ අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒවගේම ආරක්ෂක අංශ සහ බිමේ සෞඛ්‍ය අංශ අතර පවතින පරස්පර විරෝධී අදහස් හුවමාරුවීම් සහ විශේෂයෙන්ම සන්නිවේදන ක්‍රියාවලිය ඉතාමත්ම ඉක්මනින්ම ඒක නිවැරදි කරන්න කියලා අපි ඉල්ලුවා. හමුදාපතිතුමා අපට පේන්න තියෙනවා ඒ සම්බන්ධයෙන් සාධනීය කැපවීමක් කරනවා. කෙසේවෙතත් සෞඛ්‍ය බලධාරීන් මේ සම්බන්ධ කඩිනමින් ක්‍රියාමාර්ග නොගත්තොත් මේ පවතින සන්නිවේදන ගැටළුව තවදුරටත් ගැටළුකාරී තත්වයක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා" යනුවෙනුයි කොරෝනා සම්බන්ධ තොරතුරු හුවමාරුවේ ඇති ගැටළු පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේය. 

Rate this item
(0 votes)