April 16, 2024

"බ්‍රැන්ඩික්ස් එක මට අයිති නැහැ " - විමල් වීරවංශ

අද (20) දිනයේ පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න අසන අවස්ථාවේ විපක්ෂය නියෝජනය කරන තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා යොමු කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කර සිටියේ බ්‍රැන්ඩික්ස් ආයතනය තම අමාත්‍යංශයට අයත් නොවන බවයි.

මෙහිදී තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා අසා සිටියේ කර්මාන්ත අමාත්‍යංශය යටතේ තිබෙන බ්‍රැන්ඩික්ස් ආයතනයට නිරෝධායන නීතිවලට පටහැනිව ඉන්දියානුවන් පිරිසක් පැමිණීම නිසා මෙරට කොරෝනා වෛරසය නැවත ව්‍යාප්ත වූ බවට තමන් පිළිගන්නවාද යන්නයි.

එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ බ්‍රැන්ඩික්ස් ආයතනය ආයෝජන මණ්ඩලයට අයත් ආයතනයක් බවත් කර්මාන්ත අමාත්‍යංශයේ විෂය පථයට BOI යටතේ ලියාපදිංචි ආයතනයන් අයත් නොවන බවයි. 

තමන් එම ප්‍රශ්නයට පිළිතුරු දීමට බැඳී නැති නමුත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තමන්ගේ දැන ගැනීම පිනිස මෙම ගැටලුව පිළිබඳව සොයා බැලීමක් සිදු කළ බවයි.

එහිදී විදේශීය ශ්‍රමිකයෙකු හෝ තාක්ෂණ ශිල්පියෙකු මෙරටට පැමිණීමේ දී එම පැමිණෙන ආයතනය කර්මාන්ත අමාත්‍යංශයේ ලියාපදිංචි ආයතනයක් නම් කර්මාන්ත අමාත්‍යංශයෙන් ද, BOI යටතේ ලියාපදිංචි ආයතනයක් නම් ආයෝජන මණ්ඩලයේ ද අනුමැතිය ලබා ගත යුතුව බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

කොරෝනා ව්‍යාප්තිය නැවත ඇති වීමත් සමඟ කිසිදු විදේශ ශ්‍රමිකයෙකු හෝ තාක්ෂණ ශිල්පියෙකු කර්මාන්ත අමාත්‍යංශයේ යටතේ ඇති ආයතනයන් සඳහා පැමිණීම සඳහා අවසර ඉල්ලා නොමැති බවත්, ඒ සඳහා අවසර ලබා දී නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ තමන් විසින් තමන්ගේ දැන ගැනීම පිණිස ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළ බවයි.

කොවිඩ්-19 සිදුවීමෙන් පසුව කිසිදු ඉන්දීයානු ශ්‍රමිකයෙකු හට මෙරටට පැමිණීම සඳහා අනුමැතිය ලබා නොදුන් බව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා කළ සොයා බැලීමකින් පසුව තමන්ට පැවසූ බව අමාත්‍යවරයා පැවසුවේ ය.

තවදුරටත් අමාත්‍යවරයා විසින් මේ පිළිබඳව සඳහන් කරමින් පවසා සිටියේ තමන් විසින් ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන්ද විමසීමක් කළ බවත් එහිදී ඔවුන් ද තමාට සනාථ කරමින් පවසා සිටියේ කොවිඩ්-19 සිදුවීමෙන් පසුව කිසිදු ඉන්දියානු ජාතිකයෙකුට පැමිණීමට ඉඩ ලබා දී නොමැති බවයි.

මෙම ප්‍රශ්නය තමන්ගෙන් නොව ආගමන විගමනය භාර අමාත්‍යවරයාගෙන් හෝ ආයෝජනය මණ්ඩලය භාර අමාත්‍යවරයාගෙන් විමසන ලෙසද විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 20 October 2020 12:12