April 26, 2024

කවුද මේ මාකඳුරේ මධූෂ්

පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මදූෂ් නැමැත්තා මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේදී අද (20) අළුයම ඇතිවූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ.

මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාසයේ හෙරොයින් කිලෝග්‍රෑම් 42ක් සඟවා ඇතැයි ලැබූ තොරතුරකට අනුව, කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් 16දෙනෙකු එම ස්ථානය වැටලීමට ගිය අවස්ථාවේදී, අලුයම 3.08ට පමණ මෙම සිදුවීම වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේය.

තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමග ඇතිවූ වෙඩි හුවමාරුවකට මැදිව මධුෂ් මරුමුවට පත්වී ඇති බවත් මෙම අවස්ථාවේදී, අත් බෝම්බයක් පිපිරී සහ වෙඩි ප්‍රහාර දෙකක් නිකුත් වී ඇති අතර ඒ හේතුවෙන් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ඒ සමඟ, ගිනි අවි 2ක් සහ හෙරොයින්  මත් කුඩු  කිලෝ 22ක් ද  සගවා තිබී හමුවූ බව පොලිසිය කියයි.

වසර 1 1/2කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි මාකඳුරේ මධුෂ් පසුගිය සිකුරාදා (16)  වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දුනි. ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාකඳුරේ මධුෂ් ලබාදුන් තොරතුරකට අනුව කොටිකාවත්ත ප්‍රදේශයේ සඟවා තිබූ හෙරොයින් කිලෝ 10ක් සොයා ගැණුනි.

වසර ගණනාවක් ඩුබායිහි රැඳී සිටි මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි මෙහෙයුමකින් අනතුරුව පසුගිය වසරේ දී මෙරටට රැගෙන එන ලදි.

එම කාලසීමාවේදී රටම කතාබහට ලක් කළ මාකඳුරේ මධුෂ්ගේ යටගියාව ගැන සොයා බැලුවා. ඇත්තටම මාකඳුරේ මධුෂ් කියන්නේ කවුද?

මෙරට සිදුවන මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු අපරාධ බොහෝමයකට සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මාකඳුරේ මධුෂ් නමැත්තා බොහෝ දෙනකු හඳුන්වන්නේ පාතාලයේ ගෝඩ් ෆාදර් යන අන්වර්ථ නාමයෙනි. ඩුබායි රටේ සැඟව සිට මෙරට පාතාලය සහ අපරාධ මෙහෙයවූ මාකඳුරේ මධුෂ් සහ ඔහුගේ තවත් පාතාල සගයෝ පිරිසක් පසුගිය වසරේදී ඩුබායිහි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට පත්වූහ. ඒ සමග මාකඳුරේ මධුෂ් නමැත්තා නැවත වරක් මෙරට බොහෝ දෙනකුගේ අවධානයට ලක්විය.

ඔහු එතෙක් කළ මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්කුඩු ජාවාරම්, කොල්ලකෑම් ඇතුළු අපරාධ ප්‍රමාණය මෙතෙකැයි කිව නොහැකි තරම්ය. සෑම අපරාධයක්, සෑම මිනීමැරුමක් අවසානයේම මධුෂ්ගේ නම ඒවාට ඈඳී තිබිණි. එය කවුරුත් දන්නා කරුණකි. ඒ තරමට ඔහුගේ නම මෙරට පාතාල ලෝකය තුළ මුල් බැසගෙන තිබිණි.

සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත නොහොත්, මාකඳුරේ මධුෂ්, කඹුරුපිටියේ මධුෂ් නමැත්තා කඹුරුපිටියේ දී උපත ලැබීය. ඔහුට බාල සහෝදරයෙක් සිටියේය. ඔහු පාතාලයකු වන්නේ උපතින්ම නොවේ. මධුෂ් ඉපදුනේ ඉතාමත් අගහිඟකම්වලින් පිරී තිබූ පවුලකය. අගහිඟකම් තිබුණත් එම පවුල සතුටින් කාලය ගත කළේය.

කඹුරුපිටිය, ගතාරේ 1979 පෙබරවාරි 21 දා සමරසිංහ පවුලට දාව උපන් මොහු රටක් හොල්ලනු ඇතැයි කවුරුත් සිතන්නට නැතිව ඇති. 1989 භීෂණ සමයේදී පොලිසිය හා ජනතා විමුක්ති පෙරමුණ අතර වෙඩි හුවමාරුවකින් මාලනි සමරසිංහ නමැති මදූෂ්ගේ මව මියැදීමත් සමඟ ආච්චි හා පුංචි අම්මා ළඟ මධුෂ් හැදී වැඩුණේය. පියා වන සමරසිංහ ආරච්චිගේ ලක්ෂ්මන් ඒ වන විටත් මවගෙන් වෙන් වී වෙනත් විවාහයක් කරගෙන තිබිණි. නාරන්දෙණිය මධ්‍ය මහා විදුහලෙන් අධ්‍යාපනය හැදැරූ මදූෂ්  මවුපිය උණුසුම නොමැතිව හැදී වැඩිණි. පසුව ඔහු අම්පාරේ ගරාජයක සේවය කරන්නට යන්නේ මුල්ම රැකියාව ලෙසය. එහිදී දෙමළ භාෂාව හොඳින් ඉගෙන ගන්නට මධුෂ්ට හැකියාව ලැබුණේය. යළිත් ගමට පැමිණෙන මධුෂ් අපරාධ ලෝකයට පා තබන්නේ අත් බෝම්බයක් හා බෝර දොළහේ තුවක්කුවක් ළඟ තබා ගැනීමේ වරදට මාවරල පොලිසියට කොටුවීමත් සමඟය. ඒ 1999 ඔක්තෝබර් 28දාය. මාතර මහාධිකරණයේ විභාග වූ නඩු විභාගයෙන් ඔහුට වසර දහයකට අත්හිටුවූ සිරදඬුවමක් නියම වන්නේය. එතැනින් පසුව බන්ධනාගාරගතව සිටියදී අපරාධ ලෝකය ගැන හදාරා සමාජයට පිවිසෙන්නේ සමාජයත් සමඟ ඇති වෛරයත් සමඟය. අපරාධකරුවන්ගේ ලෝකයේ නිදහස ලබා ආවද අපරාධ කරන්නට මධුෂ්ට ඇවැසි නිදහසක් තිබුණේය. ඒ ඔහුව බලා කියා ගන්නට කෙනකු නොමැතිකම නිසාය. මාකඳුරේ මාවරල පදිංචි ගමගේ ගයාත්‍රි මුතුමාලි හා විවාහ වන්නේ ඉන් පසුවය.

2001 නොවැම්බර් 29 දා මධුෂ් තම පළමු මිනිස් ඝාතනය සිදුකරන්නේ සාක්ෂිවත් ඉතිරි නොකරය. ආඩසංගවත්තේ පදිංචි ඒ.පී. කුසුමදාසව වෙඩි තබා මරා දමන්නේය. එම ඝාතනය අධිකරණයේදී ඔප්පු කරගත නොහැකි වූයෙන් මාස දහ අටක් හිරබත් කා ඔහු නිදහස් වූයේය. මාතර මහ රෝහලේ සනීපාරක්ෂක කම්කරුවකු ලෙස මධුෂ් කටයුතු කරමින් සිටියේය. 2001 වසරේ හිරගෙදරට නියම වනවිටත් මධුෂ් එක් දරු පියකු විය. අලුත උපන් පුතාගේ දරු සුරතල් බලන්නටවත් මධුෂ්ට නිවෙසේ සිටීමට ඉඩ නොවීය. හිරගෙදර බැමි හතරට කොටු වී මාස දහඅටක් එක තැන කල් ගෙවන්නට සිදුවන්නේ කරපු පව්වලටය. හිරෙන් නිදහස් වී පැමිණෙන මධුෂ් තවත් මාස දහසයක් ගත වෙද්දී තවත් ජීවිතයකට වගකියන්නේය. මාකඳුර, අකුරැස්ස පාරේ, මහගෙදරවත්තේ පදිංචිව සිටි ගමගේ උපනන්දට පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කරන්නේ සාක්ෂි නොතබාය. මාවරල පොලිසිය මොරවක මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ පසුව මාකඳුරේ මධුෂ් යළිත් ඇප ලබා පැමිණෙන්නේය. මංකොල්ලකාර චෝදනාවලට යළිත් හිරගෙදර සිටින අතරතුර මධුෂ්ගේ සොහොයුරා නිරෝෂණ ඝාතනය කරන්නේ අබිරහස් අයුරෙන්ය. නිරෝෂණගේ සිරුර දමාගොස් තිබුණේ මාතර වේල්ල මතය.

මීගමුව ප්‍රදේශයේ කොල්ලකෑම් නිසා ඔහු නැවතත් සිරගෙදරට යන්නේය. මීගමුවේ කොල්ලකෑම් දෙකක් මෙහෙය වූ චෝදනාවට මධුෂ් මීගමුව බන්ධනාගාරයේ සිටියදී කලක පටන් පැවැති ඉඩම් ආරවුලක් මුල්කරගෙන රට හොල්ලන ඝාතනයක් සිදු කරන්නේය. ඒ හිටපු පළාත් සභා අමාත්‍යවරයකු හා දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කරමිනි. 2006 ජුනි 11දා ටී - 56 ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදු කරන්නේය. ඇටයා සහ හර්ෂ ඔහු තම අනුගාමිකයන් යවා එම ඝාතනය කරන්නේය.

මධුෂ් කළ ඝාතන රැල්ලත් එමඟින් මාකදුරේ මධුෂ්ගේ අපරාධ රැල්ල යළිත් කරළියට ආවේය. එලෙස අපරාධ රැසකට සම්බන්ධ වූ මදූෂ් ඩුබායි රටට පලා ගොස් එහි සිට මෙරට අපරාධ කල්ලි මෙහෙයවූවේය.

කෙසේ වෙතත් මාකදුරේ මදූෂ්ගේ අපරාධකරුවෙකු ලෙස නොඉපදුණද සමාජයේ අඩුපාඩුකම් නිසා ඔහු අපරාධකරුවෙකු ලෙස වැජඹීමට අවකාශ ලැබීමෙන් රටට මෙන්න සමාජයටම එපා වූ චරිතයක් බවට පත්ව තිබිණි. 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 20 October 2020 10:59