April 25, 2024

පාස්කු ප්‍රහාරය ගැන 15,000ක් පමණ දැන සිටියා - නිලන්ත ජයවර්ධන කළ අනාවරණයෙන් ජනපති කොමිසම පුදුම වෙයි

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ විදෙස් බුද්ධි අංශයකින් ලබාදුන් තොරතුර පිළිබඳව ප්‍රහාරය එල්ලවීමට පෙර සිටම මෙරට ආරක්ෂක අංශ ඇතුළු 15,000ක පමණ පිරිසක් දැනුවත්ව සිටියේ යැයි තමා විශ්වාසකරන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (19) ජනාධිපති කොමිසමට අනාවරණය කළේය. 

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජනය කරන ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වෙත කොමිසමේදී හරස් ප්‍රශ්න කිහිපයක් ඊයේ යොමුකළේය.

ඔහු ජයවර්ධන මහතාගෙන් විමසා සිටියේ, "සහරාන් ත්‍රස්තවාදියෙකු යැයි ඔබ විසින් ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුවත් නොකළ බවට කිසිවකු කොමිසම හමුවේ සාක්ෂි දී ඇත්නම් ඔබ එය පිළිගන්නේද?" යන්නය.

"ස්වාමිනි ත්‍රස්තවාදියෙක් කියන වචනෙන් කියලා නම් නැහැ. නමුත් සහරාන් අයි.එස් මතවාදය දරනවා. අනුගාමිකයන් අභිප්‍රේරණය කරමින් ඉන්නවා කියන මම ජාතික ආරක්ෂක කවුන්සිලයට දැනුම් දී තිබුණා," යැයි ජයවර්ධන මහතා පිළිතුරු දුන්නේය.

ජනාධිපති නීතිඥවරයා පසුව විමසුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 වසරේ ජනවාරි මස පැවති ජාතික ආරක්ෂක කවුන්සිලයේදී සහරාන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කළේද යන්නය.

"නියෝගයක් නිකුත් කළේ නැහැ ස්වාමිනි. සහරාන් ගැන සඳහන් වුණාම, ඇයි ඒ මනුස්සයාව තාම අත්අඩංගුවට ගන්න බැරි වුණේ කියලා ඇහුවා. කොහොමත් ඒ වෙද්දි පූජිත් ජයසුන්දර මහතා ජාතික ආරක්ෂක කවුන්සිලයේ හිටියේ නැහැ. හේමසිරි මහත්මයායි, රවී සෙනෙවිරත්න මහත්මයයි තමයි හිටියේ," යැයි සාක්ෂිකරු එහිදී පැවසීය.

"සහරාන් හෂීම් මෙරට විවිධ ස්ථානවල පුහුණු කඳවුරු 07 කුත්, වැඩමුළු මධ්‍යස්ථාන 02 කුත් පවත්වාගෙන ගිය බව ජාතික ආරක්ෂක කවුන්සිලය දැනසිටියා," දැයි යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්නයක් යොමුකළේය.

"රාජ්‍ය බුද්ධි සේවය විදිහට අපි දැනගෙන හිටියා නුවරඑළිය බ්ලැක්පූල් පුහුණු කඳවුර පිළිබඳව. වෙන පුහුණු කඳවුරු ගැන රාජ්‍ය බුද්ධි සේවය සතුව තොරතුරු තිබුණේ නැහැ. ඒ නිසා නිලධාරින් ආවේෂණ රාජකාරිවලට යෙදෙව්වෙත් නැහැ," යැයි ජයවර්ධන මහතා පැවසීය.

ජනාධිපති නීතිඥවරයා අසා සිටියේ, "ඔබ ප්‍රහාරයට පෙර අප්‍රේල් 18 සහ 19 යන දෙදින තුළ එවක පොලිස්පතිවරයාට යොමු කළ බුද්ධි ලේඛනවල අප්‍රේල් 04 විදෙස් බුද්ධි අංශයකින් ලද පුර්ව දැනුවත් කිරීම ගැන සඳහන් නොකළේ මන්ද?, යනුවෙනි.

"ස්වාමිනි මම උදාහරණයකින් පිළිතුරු දෙන්නම්, අපිට තොරතුරක් ලැබෙනවා සිමියොන් මෙන්න මේ දවසේ මේ ස්ථානයේ අපරාධයක් කරනවා කියලා. ඒකට සිමියොන් තුවක්කුවක් මිලදී අරන් කියන තොරතුරත් අපිට ලැබෙනවා. ඔය කියන සිද්ධියට අපි ක්‍රියාත්මකවීමේදි තුවක්කුව ගත්තු තැන සොයන්නවත්, අපරාධය සිද්ධවෙන තැන සොයන්නවත් මූලික අවධානය දෙන්නෙ නැහැ. අපි කෙළින්ම ඉලක්ක කරන්නේ අපරාධකාරයා වන සිමියොන්ව. අන්න ඒ වගේ තමයි අප්‍රේල් 04 තොරතුරේ සහරාන්ගේ නම සඳහන් වෙනවා. ඒ නම මම අප්‍රේල් 18, 19 බුද්ධි ලේඛනවලත් දක්වලා තියෙනවා. අපි 2017 ඉඳලම කිව්වේ සහරාන්ව නීශ්ක්‍රීය කරන්න කියලා.සහරාන්ව අල්ලගෙන සමාජයෙන් අයින් කරන්න කියලා. අනික ඔය අප්‍රේල් 04 විදෙස් බුද්ධි අංශයකින් කරන ලද පෙර දැනුවත්කිරීම ගැන අප්‍රේල් 11 වෙද්දි 10,000 ක විතර පිරිසක් දැනගෙන ඉන්න ඇති," යැයි ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශයත් සමග කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා ක්ෂණිකව විමසා සිටියේ, "ජයවර්ධන මහත්මයා ඔබ කිව්වා අප්‍රේල් 04 පුර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර ගැන අප්‍රේල් 11 වෙද්දි 10,000 ක විතර පිරිසක් දැනගෙන සිටියා කියලා. ඔබ ඒ කළේ හරිම බැරෑරුම් ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය ඔබ වගකීමෙන්ද කළේ," යනුවෙනි.

"ස්වාමිනි, මම වගකීමෙන් ඒ ප්‍රකාශය කළේ. හිටපු පොලිස්පති ජයසුන්දර මහතා පසුගියදා කොමිසම හමුවේ කිව්වා මේ අප්‍රේල් 04 මට විදෙස් බුද්ධි අංශයකින් ලැබුණු පුර්ව දැනුවත් කිරීමේ තොරතුර අප්‍රේල් 09 මම එතුමාට යවපුවාම එතුමා ඒක පොලිස් විශේෂ කාර්යය බළකායට යැව්වා කියලා. මම දන්න විදිහට දිවයින පුරා පොලිස් විශේෂ කාර්යය බලකායේ සිටින භට ප්‍රමාණය 5000 ක් විතර. ඊළඟට ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයට හිටපු පොලිස්පතිවරයා මේ තොරතුර දුන්නා කියනවා. පාර්ලිමේන්තුවේ ඉන්න එක මන්ත්‍රී කෙනෙක්ට පෞද්ගලික ආරක්ෂකයින් දෙදෙනෙක් ගානේ ගත්තොත් පෞද්ගලික ආරක්ෂකයින් 450 ක් විතර මේ තොරතුර ගැන දැනගන්න ඕනේ. සමහර ඇමතිවරුන්ට පෞද්ගලික ආරක්ෂකයින් 7 -10 ඉන්නවා. එහෙම බැලුවොත් පෞද්ගලික ආරක්ෂකයින් 800 ක් වත් මේ ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ. හැබැයි දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ම දන්නේ නැහැ කියනවා. ස්වාමිනි මගේ පෞද්ගලික ආරක්ෂකයෙකුට මේ වගේ තොරතුරක් ආපුවම මමනම් දැනුවත් නොවී ඉන්නේ නැහැ. ඊළගට හිටපු පොලිස්පතිවරයා කියනවා මේ අප්‍රේල් 04 පෙර දැනුවත් කිරීමේ විදෙස් බුද්ධි තොරතුර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යැව්වා කියලා. ඒ කියන්නේ බස්නාහිර පළාතේ ඉන්න 8000 ක් විතර පොලින් නිලධාරින් මේ ගැන දැනුවත් වෙන්න ඕනේ. ඊළගට 20 උදේ තානාපති කාර්යාල මගෙන් අහනවා. ඔය කළින් එවපු තොරතුරමද කියලා. ඒ කියන්නේ තනාපති කාර්යාලත් දැනුවත්ව ඉදලා. මෙහෙම බලද්දි විදෙස් බුද්ධි අංශයකින් රහසිගතව එවපු තොරතුරක් වුණාට මේ තොරතුර ගැන සහරානුත් දැනන් ඉන්න ඇති. ඔක්කෝම එකතු කරපුවාම 10,000 ක් නෙමේ 15,000 ක් විතර මේ පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර ගැන දැනගෙන ඉදලා තියෙන්න ඕනේ," යැයි නිලන්ත ජයවර්ධන මහතා දිර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.

මෙහිදි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ, "දැන් හැමෝම එකතුවෙලා මට වරද පටවන්න හදනවා අප්‍රේල් 09 බුද්ධි සම්බන්ධිකරණ රැස්වීමේ මගේ අවස්ථාවේ මම මේ අප්‍රේල් 04 ලැබී තිබු විදෙස් බුද්ධි තොරතුර සාකච්ඡාවට ලක්කළේ නැහැ කියලා. මම මේ බුද්ධි තොරතුර ගැන අප්‍රේල් 07 ජාතික බුද්ධි ප්‍රධානියාව දැනුවත් කළා. ඔහු මට එවපු ලේඛනයක සහරාන්ට ඉන්දියාවට පළා යාමට රිෂාඩ් බදියුදින්ගේ මල්ලි උදව්කරලා තියෙනවා කියන එක සඳහන් වෙලා තිබ්බම මම කිව්වා මේක දේශපාලන ප්‍රශ්නයක් වෙයි කියලා. දැන් අවුරුද්දකට පස්සේ ඒකත් සැබෑවෙලා තියෙනවා. මම මේ කොමිසමේ සාක්ෂි අසා සිටියදි දැනගත්තේ එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කියලා තියෙනවා ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාට නිලන්තට 09 වෙනිදා රැස්වීමෙදි ඔය තොරතුර සාකච්ඡාවට ගන්න කියන්න කියලා. එහෙම කිව්වනම් මට ඒක සාකච්ඡාවට බඳුන් කරන එක අමාරු දෙයක් නෙමේ. නමුත් ජාතික බුද්ධි ප්‍රධානියා මට එහෙම දැනුම් දුන්නේ නැහැ. මට පරිචිත්ත විඥානය නැහැ නොකිව්ව දේවල් මවාගන්න. එක නිසා මේ ප්‍රහාරට වළක්වා නොගැනීම සම්බන්ධයෙන් මම වගකීමක් ගන්නවානම් ගන්නේ අප්‍රේල් 07 වෙනිදා මං ළඟ තොරතුර තිබ්බ දවස වෙනකන් විතරයි," යැයි සදහන් කළේය.

"ඔබ වගකිවයුතු අංශ වෙත තොරතුරු යැව්වා කියලා අත සෝදගන්න හදනවා නේදැයි," කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා මෙහිදි ප්‍රශ්න කළේය.

"මම කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. හිටපු පොලිස්පති වැරදියි, ආරක්ෂක ලේකම් වැරදියි කියලා මම ඇඟිල්ල දික් කරන්නේ නැහැ. එහෙම කියන්න මට අයිතියක් නැහැ. මම අත සෝදාගන්නවා නෙමේ. හැබැයි මම වැරදියි, කවුද වැරදි කියන එකත්, මම දඩුවම් ලැබිය යුතුද, හුරේ යන්න ඕනෙද කියන එකත් මේ කොමිසමත්, පසුව එන නෛතික ක්‍රියාවලියත් තීරණය කරයි," යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)