March 29, 2024

විස්සට බරපතළ සංශෝධන කිහිපයක් කළ යුතුයි - පිවිතුරු හෙළ උරුමය ජනපතිට ලිඛිතව දන්වයි

ප්‍රතිපත්තියක් ලෙස සිය පක්ෂය 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ නමුත් එහි බරපතළ සංශෝධන කිහිපයකට ලක් කළ යුතු බව සිය පක්ෂයේ ස්ථාවරය බව පිවිතුරු හෙළ උරුමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් අදාළ ලිපිය යවා තිබේ.

පසුගිය ආණ්ඩුව අසාර්ථකවීමට බලපෑ ප්‍රධානතම කරුණ වූයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කළ හැකි ජනවරමක් ඉල්ලා සිටියේ එම නිසා බවත් එම ලිපියේ සඳහන් වේ.

1.   හදිසි පනත් සම්මත කිරීම

ගැසට් මගින් පනත් කෙටුම්පත් ප්‍රසිද්ධ නොකර හදිසි පනත් සම්මත කිරීමට විධිවිධාන යෝජනා කිරීම මහජනතාවට එකී පනත් කෙටුම්පත් පිළිබඳ අදහස් දැක්වීමට අවස්ථාව අහිමි කිරීමක් පමණක් නොව එහි අඩංගු ව්‍යවස්ථා විරෝධි විධිවිධාන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ද අවස්ථාව අහිමි කිරීමකි.  ජේ ආර් ජයර්වධන ජනපතිතුමා 1987 දී දැවැන්ත ජනතා විරෝධයක් මැද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ ද චන්ද්‍රිකා ජනාධිපතිතුමිය විසින් 2000 දී පෙඩරල් ව්‍යවස්ථාව ගෙන ආවේ ද මෙම වගන්තියට මුවා වෙමිනි. ජාතියට තීරණාත්මක පනත් කෙටුම්පත් හදිසි පනත් ලෙස ගෙනැවිත් ජනතාවට ඒ පිළිබඳ අදහස් දැක්වීමට ඇති අවස්ථාව අහිමි කිරීමේ අප්‍රසන්න ඉතිහාසයක් ඇති බව මෙහි දී සිහිපත් කළ යුතුය.

2. රාජ්‍ය සමාගම් විගණනය කිරීමට විගණකාධිපති සතු බලතල අහෝසි කිරීම

ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමාගම විසින් අවස්ථා ගණනාවක දී එයාර් බස් මිළ දී ගැනීමේ දී ප්‍රකෝටි ගණනක වංචාවක් සිදු වී ඇති බව පාර්්ලිමේන්තු කෝප් කමිටුව ඉදිරියේ හෙලිදරව් වූයේ විගණකාධිපතිගේ විගණනය මගිනි.  එබැවින් මහජන මුදල් 50%ට වඩා යොදවා ඇති ඕනෑම ආයතනයක් විගණනය කිරීමේ බලය විගණකාධිපති සතු විය යුතුය.  එය කොමිෂන් සභා සම්බන්ධයෙන් ද අදාළය.

3. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ජනාධිපති වීමට අවස්ථාව සැලසීම

ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 97%ක් සැකසී ඇත්තේ පසුගිය වසර 200 තුල එරටට සංක්‍රමණය වුණු ජනතාවගෙනි.  නමුත් එරට පවා ද්විත්ව පුරවැසියන්ට දේශපාලන තනතුරු දැරීමට අවස්ථාවක් ලබා නොදෙයි.  ලොව බොහෝ රටවල ද එම නීතිමය සීමාව දැකිය හැක.  එකී නීතිය පසුගිය ආණ්ඩුව ගෙන ආවේ රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන ද්වේශ සහගත චේතනාවෙන් වුවද එය සාධනීය පියවරක් ලෙස අපි දකිමු.  යම් ජනාධිපතිවරයෙකුගේ හෝ ඇමතිවරයෙකුගේ පක්ෂපාතිත්වය රටවල් දෙකක් අතර බෙදී ඇත්නම් එකී රට සමග ගනුදෙනු කිරීමේ දී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් අවංකව පෙනී සිටීදැයි යන සාධාරණ සැකයක් ජනතාවට ඇති වනු ඇත.

4. ඇමතිවරුන් ගණනට ඇති සීමාව ඉවත් කිරීම

නිදහසින් පසු ක්‍රමයෙන් ඇමතිවරුන් ගණන වැඩි වී අවසානයේ දී ඇමතිවරු ගණන 94 දක්වා ඉහළ නැගුණු බව ඔබතුමා ද දනියි.  මේ පිළිබඳ සමාජයේ මතු වුණු දැවැන්ත විරෝධය හේතුවෙන් 19 වන සංශෝධනය මගින් ඇමති මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 30කට ද සහ ඇමති මණ්ඩල සාමාජිකයින් නොවන ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ගණන 40කට ද සීමා කරන ලදී.  එකී සීමාව ඉවත් කිරීම මගින් මහජන මුදල් නාස්තියක් මෙන්ම තමන්ව ඇමති මණ්ඩලයට පත් කරන මෙන් ඇමති මණ්ඩලයේ නොසිටින මැති ඇමතිවරුන්ගෙන් ඔබතුමාට පීඩනයක් ඇති කිරීම ද සිදුවිය හැක.

ඔබතුමාට ඇමතිවරුන් 30ක් පත් කිරීමට අවස්ථාව තිබිය දී පළමු අවස්ථාවේ දී ඇමති මණ්ඩලය 16කට ද දෙවන අවස්ථාවේ 28කට ද සීමා කිරීමෙන් ජාතියට මහඟු ආදර්ශයක් ලබා දී ඇත.  නමුත් මෙකී ව්‍යවස්ථාමය විධිවිධාන ඔබතුමාගේ කාලයෙන් අවසන් නොවේ.  ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාව වසර 119ක් ද ඇමෙරිකානු එක්සත් ජනපද ව්‍යවස්ථාව වසර 231ක් ද තිස්සේ පවතින බව මෙහි ලා සිහිපත් කිරීමට කැමැත්තෙමු.

"ඉහත කරුණු පිළිබඳ ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කර 69 ලක්ෂයේ ජන වරමට ගරු කරනු වස් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වඩාත් ජනතා හිතකාමි කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු," එම ලිපියෙහි වැඩිදුරටත් දැක්වේ.

Rate this item
(0 votes)