March 19, 2024

මාව ආරක්ෂක කවුන්සිලයෙන් එලියට දැම්මේ ළඳ බොළඳ හේතූන් මත

පාස්කු ඉරුදින අවාසනාවන්ත සිදුවීමෙන් පසු හුදෙක් පොලිස්පතිවරයා පමණක් එයට වගකිවයුතු බවට වන නිගමනයට අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියද කොමිසමේදී තමාගෙන් ප්‍රශ්න ඇසීම සිදුකරන බව පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.

එසේම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් තමන්ට වගවීමක් තිබුණද කිසිදු අවස්ථාවක වගකීම් පැහැර හැරීමක් සිදු නොකළ බවද හිටපු පොලිස්පතිවරයා කොමිසම හමුවේ සඳහන් කළේය.

අ.සො.ජ.- ප්‍රහාරයට පෙර දින රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් එවන ලද මේ ලේඛනයේ සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයන් රැසකගේ තොරතුරු විස්තරාත්මකව සඳහන් වෙනවා නේද ?

පූජිත් ජයසුන්දර- මම පිළිගන්නවා රාජ්‍ය බුද්ධි සේවය විසින් මීට පෙර එවන ලද සෑම බුද්ධි තොරතුරු ඇතුළත් ලේඛනයකටම වඩා මේ ලේඛනය තුළ ත්‍රස්තවාදින් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් වෙනවා සහරාන් ගැන. ඔහුගේ සහෝදරයන් වුණ රිල්වාන් සහ ෂෙයිනි ගැන.

මාවනැල්ල බුදු පිළිම කැඩීමට සම්බන්ධ වුණු සාදික් සහ ෂාහිඩ් සොහොයුරන් ගැන වගේම සිනමන් ග්‍රැන්ඩ් සහ ෂැන්ග්‍රීලා හෝටල් වලදී මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගත් දෙමටගොඩ ඊබ්‍රාහිම් සහෝදරයන් ගැනත් මේ ලේඛනයේ පැහැදිලි තොරතුරු තියෙනවා.

නමුත් මට ප්‍රශ්නයක් මෙච්චර සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලේඛනයක් ඇයි අන්තිම මොහොතෙම මට එව්වේ කියලා. මොකද මෙච්චර දවසක් වරින් වර රාජ්‍ය බුද්ධි සේවය මට එවපු තොරතුරුවල මෙච්චර සවිස්තරාත්මක තොරතුරු අන්තර්ගත වුණේ නැහැ. නමුත් මේක ඉතාමත් සුවිශේෂි ලේඛනයක් ලෙස මගේ අවධානයට යොමු වුණා. මොකද මෙච්චර දවසක් රාජ්‍ය බුද්ධි සේවය එවපු ලේඛනවල නොදැක්වුණ විදිහට පැහැදිලිව සෑම තොරතුරක්ම එකිනෙකට ගලපා තිබුණා.

අ.සො.ජ. – ඉතිං ඔබ ඕක සුවිශේෂි බුද්ධි ලේඛනයක් කියලා අවධානය යොමුකළා නම් ඒ සම්බන්ධයෙන් ගත්තු ක්‍රියාමාර්ගය මොකක්ද?

පූජිත් ජයසුන්දර – තොරතුරු කොච්චර සවිස්තරාත්මක වුණත් මේ 20 සවස එවපු ලේඛනයෙත් පැහැදිලිව සඳහන් වෙනවා වාර්තා වී ඇති බුද්ධි තොරතුරු පිළිබඳ තවදුරටත් විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා කියලා. ඒ කියන්නේ ඒ වෙද්දිත් රාජ්‍ය බුද්ධි සේවයට ස්ථිරතාවක් තිබුණේ නැහැ ප්‍රහාරයක් සිදුවෙන බවට විදෙස් බුද්ධි අංශයකින් කර තිබු පෙර දැනුවත් කිරීම ගැන.

අ.සො.ජ. – ඒ වුණාට ජයසුන්දර මහත්මයා 20 දහවල් ඔය බුද්ධි තොරතුරු ඇතුළත් ලේඛනය ඔබට එව්වාට පස්සේ සවස නිලන්ත ජයවර්ධන ඔබට කතා කරලා කිව්වා නේද හෙට හෝ ඊට පෙර ප්‍රහාරයක් වෙනවා කියලා?

පූජිත් ජයසුන්දර – ඔව් කතා කළානම් තමයි. ඒ වෙලාවේ කිව්වේ ‘‘ටුමාරෝ විල් බි ඩේන්ජර්ස් එනිතින්ග් විල් හැපන්ඩ්’’ (Tomorrow will be Dangerous. Anything will happened) කියලා. මම ඇහුවා මේක ඔයාට ලැබුණු තොරතුරක්ද නැත්තම් අර කලින් දැනුවත් කිරීමක් කරපු විදෙස් බුද්ධි අංශයෙන්ම ලැබුණු එකක්ද කියලා. එතකොට කිව්වා සර් මේක කලින් විදෙස් බුද්ධි තොරතුරු එකෙන්මයි ලැබුණේ කියලා. මම ආයෙත් ඇහුවා මේ ගැන ඔයාට මොකද හිතෙන්නේ කියලා. එතකොට කිව්වෙත් නැහැ සර් මේක විදෙස් බුද්ධි අංශයෙන් ලැබුණු ඩිවලොප්මන්ට් එකක් කියලා. ඒ කියන්නේ ඒ වෙද්දිත් රාජ්‍ය බුද්ධි සේවය ළඟ මේ තොරතුරු ස්ථීර කරන්න එයාලගේ කියලා බුද්ධි තොරතුරු තිබුණේ නැහැ. විදෙස් බුද්ධි තොරතුර විතරයි. අන්න ඒ නිසයි මම නිලන්තට කිව්වේ හරි නිලන්ත ඔයා නන්දනට කියන්න. මමත් බලන්නම් කියලා.

අ.සො.ජ. – මම ඔබට යෝජනා කළොත් ශ්‍රී ලංකා පොලිසියේ දුර්වලතාවන් නිසා මේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිද්ධ වුණා කියලා ?

පූජිත් ජයසුන්දර – පාස්කු ඉරුදින මේ අවාසනාවන්ත සිදුවීමෙන් පස්සේ හුදෙක් පොලිස්පතිවරයා පමණක් වගකිවයුතුයි කියලා ආපු නිගමනයක් තියෙනවා. මට හිතෙන විදිහට ඔබතුමියගේ ප්‍රශ්න ඇසීම සිදුවන්නෙත් ඒ අනුවයි. ඇත්ත මේ සිද්ධිය වෙද්දී රටේ හිටපු පොලිස්පතිවරයා හැටියට මට වගවීමක් තියෙනවා. මම කිසිම වෙලාවක මේ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ කියලා නැහැ. කියන්නෙත් නැහැ. නමුත් වගවීමක් තියෙන එකම තැනැත්තා මම නෙමේ. පොලිසියේ දුර්වලතාවක් නිසා මේ සිද්ධිය සිද්ධ වුණා කියන එක මම පිළිගන්නේ නැහැ. පොලිසියට තිබ්බ දුෂ්කරතා ගොඩක් මැද්දේ පොලිස් නිලධාරීන් පැහැදිලිව රාජකාරිය ඉෂ්ට කළා.

නමුත් ඒක මේ ප්‍රහාරය වළක්වා ගන්න ප්‍රමාණවත් වුණේ නැහැ. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ අපි හිතාමතා රාජකාරිය පැහැර හැරියා කියලා. මේ ප්‍රහාරය වලක්වා ගන්න බැරිවෙන්න බොහෝ අබිරහස් හේතු තිබ්බා. උදව් කළ පුද්ගලයන් අනිත් පැත්ත ගහපු හැටි, කරමින් තිබුණු පරීක්ෂණ අනිත් පැත්ත ගහපුවා, පැවති දේශපාලන වාතාවරණය, විදේශ මුදල් ලැබීම්, ඔත්තුකරුවෝ අනිත් පැත්ත ගහපුවා ඔන්න ඔය වගේ රහසිගත සහ අතීශයින් රහසිගත හේතු ගොඩාක් තිබ්බා. තාමත් හෙළිදරව් නොවුණ ඒවා තියෙනවා. මගේ සාක්ෂි විමසීම අවසානයේ මට අවස්ථාවක් ලැබුණම ඒ ගැන කියන්නම්.

ඇයි අපිට විධිමත්ව තොරතුරු දුන්නේ නැත්තේ. ඇයි ලද බොළඳ හේතුන් මත පොලිස්පතිවරයා ආරක්ෂක කවුන්සලයෙන් නෙරපා හැරියේ, මගෙන් පස්සේ ආරක්ෂක කවුන්සලයට ගෙන්නගත්තේ ජ්‍යෙෂ්ඨතම දෙවැනි නිලධාරියා නෙමේ. අනික ඔහුටත් රහසින් උපදෙස් දීලා තිබුණා කතාවුණ දේවල් මට කියන්න එපා කියලා. ඉතිං මම කොහොමද තොරතුරු දැනගන්නේ. මේන්න මේ දේවල් ගැනත් සොයා බලන්න.

Rate this item
(0 votes)