March 29, 2024

ජනපති කොමිසමේ සාක්ෂි දෙමින් හිටපු අගමැති රනිල් ඇතැම් චෝදනා පිලිගනී

පසුගිය රජය සමයේ ස්ථාපනය කළ නව දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ වියදම් සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් රුපියල් මිලියන 33.7කට අධික මුදලක් වියදම් කර ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගෙන තිබේ.

ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමිනි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ සිදු කළ පැමිණිල්ලකට අදාළව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(15) ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දී තිබේ.

එහිදි කොමිසම සදහන් කළේ එම කාර්යාලයේ නිලධාරීන්  44 දෙනෙකුට වැටුප් සහ දීමනා ලබාදීම සඳහා එම මුදල වැය කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී ඇති බවයි. එය එසේ විය හැකි බව ඊට පිළිතුරු දුන් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. 

දූෂණ මර්දන කමිටු කාර්යාලයේ නීති උපදේශක ලෙස කටයුතු කළ අතිරේක සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේට අදාළ කාලය තුළ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් රුපියල් දෙලක්ෂ හැට දහසකට අධික මුදලක් ගෙවා ඇති බව ද කොමිසම එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් අතර එයද හිටපු අග්‍රාමාත්‍යවරයා පිළිගෙන තිබේ.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ නෛතික භාවය පිළිබඳ ජනාධිපති කොමිසම එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කර ඇති අතර ඊට පිළිතුරු දුන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ කමිටුව පිහිටුවීම නීති විරෝධී නොවන නමුත් කමිටුව ක්‍රියාත්මක වීමේදී නිත්‍යනුකූලව කටයුතු කළ යුතු බවයි.

දුෂණ විරෝධි කමිටුවට නීති උපදෙස් ලබා දීම සදහා පුද්ගලයින් තෝරා ගැනීමේදී එය තමන් සිදු නොකළ බවත් එය නීතිපතිවරයාගේ කර්තව්‍යයක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති කොමිසම එහිදී ප්‍රශ්න කළේ අදාළ පත්කිරීම් සිදු කළේ නීතිපතිවරයා ද යන්නයි.

තමන් ඒ පිළිබඳව නොදන්නා බව රනිල් වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරු ලබා දෙමින් සඳහන් කර ඇත.

Rate this item
(0 votes)