May 02, 2024

මුරලිගේ ජීවිත කතාව රැගත් චිත්‍රපටයට ඊළාම් බෙදුම්වාදීන්ගෙන් චෝදනා

දමිළ සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන විජේයි සේතුපති රංගනයෙන් දායක වන ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකාවේ බිහි වූ සුපිරිතම දඟ පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව රැගත් චිත්‍රපටයේ පළමු පෝස්ටරය ඊයේ (08) දිනයේ දී එළි දැක්වීම සිදු කෙරුණි.

මෙම පෝස්ටරය ප්‍රධාන රංගන ශිල්පී විජේයි සේතුපති ඔහුගේ ට්විටර් ගිනුමේ සහ ෆේස්බුක් ගිනුමේ පළ කිරීමත් සමඟ විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් එයට හිමි වී තිබෙන ආකාරය දැකීමට හැකි විය.

නමුත් ඒ ප්‍රතිචාරයන් අතර ඊළාම් බෙදුම්වාදී අදහස් දරන්නන්ගේ ද ප්‍රකාශයන් දක්නට තිබුණි.

එහිදී සමහර පිරිසක් අදහස් දක්වා තිබුණේ මුරලිදරන් යනු රාජපක්ෂ හිතවාදියෙකු බවත්, රාජපක්ෂවරුන් යනු කවුරුන්දැයි කියා දිය යුතු නැති බවයි. 

එමෙන්ම තවත් පිරිසක් කියා සිටියේ යුද්ධය පැවති සමයේ දී ඊළාම් යුද්ධයට එරෙහිව ශ්‍රී ලංකා රජය ගෙන ගිය යුද්ධය සාධාරණය වන සිදුවීමක් තිබුණහොත් එය විජේයි සේතුපති විසින් දමිල ජනතාවට එරෙහිව කරන ලොකුම පාවා දීම බවයි.

දෙමළ ප්‍රජාවගේ ඉතා ගෞරවයට පාත්‍ර වූ විජේ සේතුපති ඊළමට එරෙහිව සිටි මුරලිදරන් ඔසවා තැබීමේ කාර්යභාරය ඉටු කරමින් සිටින බවද චිත්‍රපටයේ පෝස්ටරය පළ කරමින් විජේයි තබා තිබූ ට්විටර් සටහනට බෙදුම්වාදී අදහස් දරන්නන් ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණි.

තවත් පිරිසක් විජේයි සේතුපතිට මෙම චරිතය කිරීමෙන් ඉවත් වෙන ලෙසද පවසා තිබුණි.

මුත්තයියා මුරලිදරන්ගේ චිත්‍රපටය “800” නමින් නම් කර ඇති අතර එය ඔහු විසින් ලබා ගත් ටෙස්ට් කඩුුළු 800 අර්ථ ගැන්වෙන ලෙස යොදා ගෙන ඇත. චිත්‍රපටය තිරගත කරන දිනයක් පිළිබඳව තවමත් ප්‍රකාශයට පත්කොට නොමැත.

Rate this item
(0 votes)