April 26, 2024

"නිලන්ත ඒකට තුන් ගුණයක් වගකියන්න ඕනේ" පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීමෙන් කොටසක් හේමසිරි ප්‍රනාන්දු බාරගනී

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් තමන් වගකීමෙන් පළා නොයන නමුත් සාමූහික වගකීමට අදාළ සියලු පාර්ශව යටත් වන බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව පැවසීය. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන කොමිසම හමුවේ ඊයේ (01) හත් වන දිනටත් සාක්ෂි ලබාදුන්නේය.

හිටපු ජනාධිපතිවරය සහ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරු අතර පැවති සමීප ඇසුර නිසා ආරක්ෂක ලේකම් ලෙස තමන්ට නිලන්ත ජයවර්ධන මහතා අධීක්ෂණය කිරීමට අවස්ථාව නොලැබුණු බව හෙතෙම සඳහන් කළේය.

මෙහිදී කොමිසම හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියේ, පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු පූර්ව අනතුරු ඇඟවීමේ තොරතුර සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දුරකථන ඇමතුමක්වත් ලබාදී දැනුම්වත් නොකිරීමට හේතුව කුමක්ද යන්නය.

ඊට පිළිතුරු ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ,

"ඇමතුමක් ගත්තේ නැහැ ස්වාමීනි. මට ඒකට හේතුව පැහැදිලි කරන්න ඕනේ. මම ආරක්ෂක ලේකම්ධූරය භාරගෙන දින 2 කට පස්සේ ජනාධිපතිතුමාව හමුවෙන්න ගියා අත්සන් වගයක් ගන්න. ඒ වෙද්දී මට රාජ්‍ය බුද්ධි සේවයෙන් පළමුවරට බුද්ධි තොරතුරක් ලැබුණා. මම ඒ ගැන ජනාධිපතිවරයාට කිව්වා. එතකොට එතුමා මගේ දිහා කාරුණිකව බලලා 'ආ ඒක හරි. මට ඕක ගැන නිලන්ත කිව්වා කියලා," ඊට පස්සෙ තව අවස්ථාවකදී මට නිලන්ත බුද්ධි තොරතුරක් දුන්නා. ඒ ගැනත් මම ජනාධිපතිව හමුවෙලා තොරතුර ගැන කියන්න ගියාම එතකොටත් මට කිව්වා, "නිලන්ත මට ඔය ගැන කිව්වා."මම මේ ගැන නිලන්ත හමුවෙලා ඇහුවා ‘මොකක්ද නිලන්ත මේ ක්‍රමවේදය,‘ එතකොට නිලන්ත මට කිව්වා 'මම සාමාන්‍යයෙන් හැම තොරතුරක්ම ජනාධිපතිට කියනවා. ඒවගේම ආරක්ෂක ලේකම්ටත් කියනවා‘ඉතින් ස්වාමීනි මේ ප්‍රහාරය ගැන තොරතුරත් නිලන්ත ජනාධිපතිට කියන්න ඇති කියල මම හිතුවේ ඒ නිසයි." යනුවෙනි.

"ප්‍රහාරයට පස්සේ මම ලේකම් ධූරයෙන් අස්වෙනවා කියලා දැනුම්දෙන්න ජනාධිපතිතුමා හමුවෙන්න ගියා ඒ වෙලාවේ එතුමා පත්තරය බලන ගමන් හිටියේ මම ඇහුවා 'සර් නිලන්ත හැම තොරතුරක්ම කියන එකේ මේ තොරතුර දැනුම් දුන්නේ නැත්ද..?' කියලා. එතකොට ජනාධිපතිතුමා මම අහපු දේට මුකුත් නොකියා පත්තරේ බලබල හිටියා ඔන්න ඕකයි තත්ත්වේ." යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි ලබා දෙමින් සඳහන් කළේය.

අනතුරුව කොමිසමේ සභාපති විනිසුරු හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන්. "ඔබට අප්‍රේල් 20 වෙනිදා නිලන්ත තොරතුරක් දුන් අවස්ථාවේ ඇහුවෙ නැත්ද මේක ජනාධිපතිට කිව්වද කියලා?" යනුවෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා, "නැහැ ස්වාමීනි. මම අහන්න ගියේ නැහැ. හිතාගෙන හිටියේ ඒක දැනුම් දෙන්න ඇති කියලා, නැත්නම් නිලන්තට තිබුණා ඒ වෙලාවෙ මට කියන්න ජනාධිපතිටත් කියන්න කියලා. අනිත් එක මේ වගේ ප්‍රශ්නයක් පිටරටක වුණානම් මෙහෙම Whatsapp Massege එවන්නේ නැහැ. බුද්ධි අංශ නිලධාරීන් ඇවිල්ලා හමුවෙලා කථා කරනවා," යනුවෙන් ප්‍රකාශ කළේය.

"අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජනාධිපතිවරයා දැනුම්වත් කිරීම ඔබේ වගකීම නේද..?" රජයේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියාය.

"ඔව් මගේ වගකීම වෙන්න පුළුවන්, ඒත් මා එක්ක තිබුණ විරසකය නිසා උනන්දුවක් දැක්වුයේ නෑ" යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

"ඔබ අවස්ථා ගණනකදී කිව්වා ඔය විරසකය ගැන. නමුත් සිංහල අවුරුද්දට ජනාධිපතිවරයාට සුබ පතන්න ඔබ දියතලාවෙ ඉදන් ආවා නේද ? බුලත් දීලා තරහ මරහා නැති කරගන්න එක සිරිතනේ. එතනදීවත් මේ විදෙස් තොරතුර ගැන කිව්වේ නැත්ද?" ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදි හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු ලබාදුන් හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, "මගේ අමනාපයක් නැහැ, මම ගිහින් බුලත් අතකුත් දුන්නා. දැන් නිලන්ත ජයවර්ධන හැමතැනකම කියල තිබුණනේ 'මේක ලෙඩක්' කියලා. මටත් කිව්වා නම් ඕක ලෙඩක් කියලා, මම අඩගහලා අහනවනේ ලෙඩේට මොකක්ද කරන්නේ කියලා. මම කියන්නේ මේකට මම වගකියන්නවා නම් නිලන්ත ඒකට තුන්ගුණයක් වගකියන්න ඕනේ ජනාධිපතිවරයා දැනුවත් නොකිරීම ගැන," යනුවෙන් කියා සිටියේය.

"ඒ කියන්නේ ඔබ පිළිගන්නවාද ආරක්ෂක ලේකම් ලෙස ඔබත් වගකියන්න ඕනේ කියලා..?" යැයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසීය. 

''මම කිසිලෙසකින් කියන්නේ නැහැ මට මේකට වගකීමක් නැහැ කියලා. මෙතෙන සාමූහික වගකීමක් තියෙන්නේ. මේකට අදාළ තවත් පාර්ශව ඉන්නවා. හැමදේම ආරක්ෂක ලේකම්ට කරන්න පුළුවන් නම් මේ රටට පොලිස්පතිවරයෙක්, බුද්ධි අංශ, හමුදාපතිවරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කෙනෙක්, ආරක්ෂක ඇමතිවරයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ආරක්ෂක ලේකම් හිටියහම ඇති ස්වාමීනි'' යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි ලබාදුන්නේය.

Rate this item
(1 Vote)