April 19, 2024

බස් රථ රියදුරෙකුට පාතාලයෙන් මරණ තර්ජන - අංගොඩ ලොක්කාට අයත් මගී බස් රථ 6ක් සොයාගනී

ඉන්දියාවේදී ඝාතනයට ලක්වූ බව කියන අංගොඩ ලොක්කාට අයත් මගී ප්‍රවාහන බස් රථ හයක් සොයා ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත එම බස් රථ කොළඹ අවට මාර්ග වල ධාවනය වන බවට සොයා ගෙන ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පැවසීය.

තවද අංගොඩ ලොක්කා සමග ඉන්දියාවට පැනගිය අතුරුගිරිය ලඩියාට අයත් මගී බස් රථ තුනක්ද අතුරුගිරිය පොලිසිය මගින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රූපවාහිනී වැඩසටහනකට සහභාගීවෙනමින් පැවසූවේ තමා බස් රථ රියදුරෙකු හමුවීමට පැමිණ බවත් ඔහු බොරැල්ල සිට කඩුවෙල දක්වා ධාවනය කරන බස් රථයක රියදුරෙකු යම් තොරතුරක් ලබා දුන් බවත්ය.

බස් රථයක් ඉස්සර කරන විට තමන්ගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආ බවත් ඉදිරියෙන් යන බස් රථය පසු කර ගියොත් මරණ බවට තර්ජනය කරන බවට එම ඇමතුම දුන් පුද්ගලයා ප්‍රකාශ කළ බවත් එම ඇමතුම ලබා දී තිබුණේ බන්ධනාගාර ගත ව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

ඒ අනුව එම සිද්ධියට අදාල තොරතුරු සොයා ගත් බවත් ඉන්දියාවේදී ඝාතනයට ලක්වූ බව කියන අංගොඩ ලොක්කාට අයත් මගී ප්‍රවාහන බස් රථ හයක් සොයා ගත් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

Rate this item
(0 votes)