March 19, 2024

"මම හිටියේ පුදුමාකාර මානසික පීඩනයකින් - මට කාටවත් කියාගන්න විදිහක් තිබුණේ නැහැ" - පූජිත් ජයසුන්දර

September 25, 2020

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව වනවිට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් දැඩි මානසීක පීඩනයකට ලක්ව සිටි බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද (24) පැවසීය.

පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ඊයේ තුන්වන දිනටත් සාක්ෂි විමසනු ලැබීය.

එහිදි ඔහු කියා සිටියේ 2018 වර්ෂයේ මුල් භාගය වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉස්ලාම් අන්තවාදය පිළිබඳ පොලීසියට විවෘත පරීක්ෂණ සිදු නොකරන ලෙස උපදෙස් දී තිබුණද, වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතනය, මාවනැල්ල බුදුපිළිම කැඩීම සහ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් පරික්ෂණ කරන්නැයි තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවය.

එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ඒ අනුව ඔබ ජනාධිපතිවරයාගේ නියෝගවලට පිටුපා තිබුණා නොවේද යන්නය.

“ඔව් මම පිටුපෑවා. ඇතිව තිබු තත්ත්වය මත මම ගොඩාක් අසරණ වෙලා හිටියේ. මොකද මම මගේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට කියන්නද, ජනාධිපතිවරයා මෙහෙම උපදෙස් දුන්නා කියලා. ඒ නිසා කිසිම කෙනෙක්ගෙන් උපදෙස් ගන්නත් බැහැ. සාකච්ඡා කරන්නත් බැරි තරමට මම අසරණ වෙලා හිටියේ " යනුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පිළිතුරු ලබාදුනි.

එහිදී පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළේය.

“පොලිස් මලල ක්‍රීඩා උත්සවයක් තිබ්බා. ඒකට පොලිස් නිලධාරින් 6000ක්, 7000ක් සහභාගී වෙනවා.  මම ඒකට සහභාගිවෙන්න කියලා එවකට ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කළා, මට බැහැ. මට බණ්ඩාරවෙල යන්න තියෙනවා. ලේකම්තුමා එක්ක කථාකරගන්න කිව්වා“ යනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.  

“පස්සේ මම ආරක්ෂක ලේකම්තුමාට කථා කළා. එතුමාත් මුලදි අදිමදි කරලා අන්තිමට උත්සවයට ආවේ පරක්කු වෙලා. පස්සේ එදා උත්සවය දවසේ ආරක්ෂක ලේකම්තුමාට Call එකක් ආවා. එතුමා මට කිව්වා ජනාධිපතිතුමා දැන් කථාකරයි කියලා. පස්සේ මටත් Call එකක් ආවා, තමුසේ කාගෙන් අහලද ඕවා කරන්නේ, තමුසේ කොහොමද ඔච්වර නිලධාරින් ගෙනල්ලා ඕවා කරන්නේ, ඔය මොකක්ද කියලා ජනාධිපතිතුමා මගෙන් ඇහුවා. මම කිව්වා සර් පොලිස් මලල ක්‍රීඩා උළෙල කියලා.“

"තමුසේ කාත් එක්කද, ඕවා තියන්නේ " කියලා ඇහුවා. සර් මම ලේකම්තුමාට කිව්වා කියලා පිළිතුරු දුන්නා.“කොහොමද ලේකම් ගේන්නේ ? ඇයි තමුසේ දන්නේ නැද්ද මට කියන්න ඕනේ කියලා යැයි ගොඩාක්  කේන්තියෙන් මගෙන් ප්‍රශ්න කළා.

මම “සමාවෙන්න සර්, මම සර්ට ආරාධනා කළානේ, සර් බැහැයි කියපු නිසානේ පරක්කුවෙලා හරි ආරක්ෂක ලේකම්තුමාව ගෙන්නගත්තේ කියලා බොහොම හෙමින් පිළිතුරු දුන්නා. කෙහෙල් මල කොහෙද මට කිව්වේ, මම බලාගන්නම්කෝ ලේකම්තුමා එක්ක, තමුසේ කරගන්නවාකෝ ඕවා කියලා ජනාධිපතිතුමා ෆෝන් එක කට් කළා“ යැයි පූජිත් ජයසුන්දර මහතා සාක්ෂි ලබාදුනි.

ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂිදෙමින් කියා සිටියේය. 

"මෙවැනි සිදුවීම් නිසා මම පුදුමාකාර මානසික පීඩනයකින් ස්වාමිනි හිටියේ, මට කාටවත් කියාගන්න විදිහක් තිබුණේ නැහැ. පාස්කු ප්‍රහාරය එල්ල වෙලා ජනාධිපතිවරයා මේකට වගකියන්න ඕනේ පොලිස්පතියි, ආරක්ෂක ලේකම් කියද්දි, එක දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙද්දිත් මම මාධ්‍යයට මුකුත් කිව්වේ නැහැ. අඩුම තරමේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලවාවත් මම මුකුත් කිව්වේ නැහැ. මොකද ඔහු රටේ විධායක ජනාධිපතිවරයා වගේම මගේ අමාත්‍යංශය භාර අමාත්‍යවරයා නිසා. විනයානුකූල නිලධාරියෙක් ලෙස මම කිසිම ප්‍රකාශයක් කළේ නැහැ. පළමු පාරට කතා කළේ පාර්ලිමේන්තු තේරිම්කාරක සභාවේදි, එත් අවසරය ඇතුව " යැයි පැවසූ හිටපු පොලිස්පතිවරයා ජනාධිපති කොමිසම හමුවේ හැගීම්බර වුණි.

අනතුරුව පූජිත් ජයසුන්දර මහතා මෙලෙස අදහස් පළ කළා.

"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ කොමිසම මේ වෙද්දි යම් කරුණු අනාවරණයක් කරගෙන තිබුණත්, හෙළිදරව් නොවූ බොහෝ කරුණු තියෙනවා මා සතුව කියන්න. මෙච්චර ප්‍රහාරයක් වෙලා මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රටේ ප්‍රධානියා කිව්වේ මොකක්ද..? මම දන්නේ නැහැ, මට කිව්වේ නැහැ, මම වගකියන්නේ නැහැ. වගකියන්න ඕනේ පොලිස්පති, ආරක්ෂක ලේකම් කියලා."

"ඉතිහාසයේ කිසිම අවස්ථාවක බුද්ධි තොරතුරු ගැන පොලිස්පති ජනාධිපති දැනුවත් කිරීමේ සම්ප්‍රදායක් තිබිලා නැහැ. ඊළගට බුද්ධි අංශ මෙතන සාක්ෂි දෙද්දි මම හිටියනේ. එයා කිව්වා රාජ්‍ය බුද්ධි අංශයට නිලධාරින් මදි, පහසුකම් මදි කියලා. නමුත් ආරක්ෂක අමාත්‍යංශයෙන් පුර්ණ පහසුකම්, වරප්‍රසාද ලැබුණේ රාජ්‍ය බුද්ධි අංශයට. අනිත් අයට වඩා පඩි වැඩි වුණෙත් එයාලට. නමුත් එක විෂය ක්ෂේත්‍රයයි ආවරණය කරන්න තිබ්බේ. ආරක්ෂක අමාත්‍යංශය කොයිතරම් නම් රාජ්‍ය බුද්ධි සේවයට රහසිගතව මුදල් දෙනවද ? විගණනයකටවත් ලක්වෙන්නේ නැහැ. කිසිම සීමාවක් නැහැ."  යනුවෙන් ඒ මහතා සාක්ෂිදුනි.

Rate this item
(1 Vote)